බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමූ හිටපු නගරාධිපතිට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමූ හිටපු නගරාධිපතිට බරපතළ වැඩ සහිත සිර දඬුවම්


බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා දැමූ හිටපු නගරාධිපතිට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

(14.12.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ඓතිහාසික රාජධානියට අයත් බව කියන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව කුරුණෑගල මහාධිකරණය හමුවේ අද (14) විභාගයට ගත් පළමු අවස්ථාවේදීම වරද පිළිගත් කුරුණෑගල හිටපු නගරාධිපති ‘තුෂාර සංජීව විතාරණ’ ඇතුළු වගඋත්තරකරුවන් 05 දෙනෙකුට කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර විසින් වසර 03 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළා.

සිර දඬුවමට අමතරව එක් එක් වගඋත්තරකරුවන් රුපියල් 50,000 බැගින් වූ දඩ මුදලක් ගෙවන ලෙසද විනිසුරුවරයා එහිදී නියම කළා.

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ සමඟ හිටපු නාගරික කොමසාරිස් ප්‍රදීප් තිලකරත්න , හිටපු නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි, වැඩ පරීක්ෂක ඉලාලුඩීන් සුල්ෆිකාර්, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු එස්.පී. ලක්ෂ්මන් ප්‍රියන්ත යන අයට එරෙහිව මෙලෙස නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනුකර තිබුණා.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ‘බුවනෙකබා රාජ සභා මණ්ඩපය’ සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා ගොනුකර තිබෙනවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයන් ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා වලට වරද පිළිගැනීමට සූදානම් බවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ මාධව තෙන්නකෝන් අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන් පිරිස මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිතාසි නිකුත් කර ඇති බැවින් එම නියෝගය මෙහිදී ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම එල්ලකර ඇති අධි චෝදනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වරද පිළිගැනීම ධනාත්මක තත්ත්වයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන අධිකරණ නියමයන් පිළිබඳව තම විරෝධතාවයක් නොමැති බවද රජයේ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව වගඋත්තරකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන බන්ධනාගාර භාරයට පත්කර නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ.

එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගන්නේනම්, නඩුව විභාගයට ගැනීමට එම පුරාවිද්‍යාත්මක ස්ථානයට සිදුව ඇති හානිය පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදී ඇති තක්සේරු වටිනාකම වන රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂයක (1,36,00,000) මුදලක් අධිකරණයෙහි තැම්පත් කළ යුතු බවටද නියම කළ විනිසුරුවරයා ඒ සඳහා කාලය ලබා දෙමින් නඩු විභාගය මඳකට කල් තබනු ලැබුවා.

අනතුරුව වගඋත්තරකාර පාර්ශ්වය විසින් අදාළ මුදල සොයාගෙන විත් අධිකරණයෙහි තැම්පත් කිරීමෙන් පැය දෙකකට (2) පමණ පසුව නඩු විභාගය යලිත් නැවත ආරම්භ කෙරුණා.

මෙහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ මාධව තෙන්නකෝන් පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය ඉතා බරපතළ වන අතර එය සිතා මතා සිදු කරන ලද හානියක් බව මනාව පෙනී යන බවද, ඒ බව ලැබී තිබෙන ජායාරූප වලින් පවා පැහැදිලි වන බවද සඳහන් කළා.

වගඋත්තරකරුවන් පිරිස මෙහිදී කිසිදු වගකීමකින් තොරව කටයුතු කර ඇති බව පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරයා, ඒ අනුව එල්ල කර ඇති චෝදනා වලට වරද පිළිගත්තද, පුරාවිද්‍යා පනතට අනුව ලබා දිය හැකි උපරිම දඬුවමක් වගඋත්තරකරුවන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවට අධිකරණයට ප්‍රකාශ කළා.

ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මෙම සිද්ධිය මුළු රටේම ඉමහත් ආන්දෝලනයකට ලක්වූ සිද්ධියක් බව පෙන්වා දුන් අතර, නගරයේ ප්‍රධාන පුරවැසියා වශයෙන් ජනතාවට ආදර්ශමත්ව කටයුතු කළ යුතු නගරාධිපතිවරයා මෙහිදී හැසිරී ඇත්තේ වගකීම් විරහිතව බවත්, ඒ අනුව වගඋත්තරකරුවන් පිරිස මෙරට වටිනා පුරා විද්‍යා ස්ථානයකට සිදු කර ඇති බරපතළ හානිය සැලකිල්ලට ගෙන මින් ඉදිරියට මෙවැනි හානි සිදු නොකිරීම සඳහා කිසිවෙකු යොමු නොවන ආකාරයට මෙවැනි දඬුවමක් නියම කරන බවට ප්‍රකාශ කළා ෴

++++++++

++++++++++++

+


සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට ජපානය සමග සාකච්ඡා…

(14.12.2023 – 17:30 +0530 – lankacnews.com)

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. කොවිඩි වසංගතය හා ආර්ථික අර්බුදය හේතුවෙන් මේ සදහා වැය වන මුදල මුල් ඇස්තමේන්තුවට වඩා ඉහළ යාම ඊට හේතුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය හා ජපාන රජය සමග පැවති සාකච්ඡා වලදී ගනු ලබන තීරණ අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සදහා මූලික ශඛයතා අධ්‍යයනයක් සිදුකර තිබිණි. එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම් වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සදහා ජාත්‍යන්තර උපදේශණ සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120 කි.

මෙම මූලික කටයුතු 2019 අප්‍රේල් මාසයේදී ආරම්භ කෙරුණු අතර එය අවසන් වීමට තිබුණේ මාස 91 කිනි. කෙසේ වෙතත් මාස 21 ක උපදේශන කාල සීමාවෙන් පසු එනම් 2020 දෙසැම්බර් 31 වන දින වනවිට ව්‍යාපෘතිය අවලංගු කිරීමට රජය තීරණය කර තිබේ. මෙම උපදේශන කටයුතු නතර කරන විට ව්‍යාපෘතියේ මූලික සැලසුම් 60% ක් අවසන්ව තිබුණු අතර විස්තර සැලසුම් 78% ක් අවසන්ව තිබේ. මාළඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව තිබේ.

ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සදහා හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22 කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි. එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැති බවයි.

සැහැල්ලු දුම්රිය සේවාව අවලංගු කිරීම හේතුවෙන් උපදේශන සේවා සදහා පත්කළ සමාගම ඉල්ලා සිටි ආලාභහානි විශ්ලේෂණය කර ගතයුතු පියවර තීරණය කිරීමට ඇමති මණ්ඩලය සාකච්ඡා කමිටුවක් පත් කර ඇති අතර ජයිකා ආයතනය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලැබෙන ණය මුදලින් එය ගෙවීමට එකග වී තිබේ. එහෙත් ලබාගෙන ඇති ණය මුදල සක්‍රීය වී නොමැති නිසා ගෙවීම් සිදු කළ නොහැකි වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දෙයි ෴


සමාජ මාධ්‍ය තුළ සමාජ විරෝධී වැඩකරන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්

(14.12.2023 – 17:02 +0530 – sinhala.adaderana.lk)

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) වයඹ පළාත් ඒකකය අද (14) වාරියපොලදී විවෘත කෙරුණි.

ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙනි.

විනිවිදභාවයක් ඇතිව ජනතා විශ්වාසය ගොඩනගා ගෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට ජනතාවගේ සහාය පොලීසිය වෙත ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු එහිදී පැවසීය.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් කර දැමීමට මහජනතාව පොලීසිය සමග නැගී සිටිය යුතු බවය.

“සමාජ මාධ්‍ය දිහා බලපුවාම පේනවා.. ආගම්වලට අපහාස කරමින්, ජාතීන් අතර වෛරය ඇති කරමින්, එකිනෙකා අතර මරාගන්නා තත්ත්වයක් නිර්මාණය කරමින් ඉතාමත් පහත් ආකාරයේ භාවිතයන් තිබෙනවා කියලා.”

“පහත් දේවල් සමාජ මාධ්‍ය තුළ පළකරන පුද්ගලයින් සම්බන්ධයෙන් ලංකාවේ ඕනෑම කෙනෙකුට තොරතුරු දෙන්න පුළුවන්. ක්ෂණිකව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා.”

“පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම, ප්‍රතිරූප විනාශ කිරීම, මඩ ගැසීම්වලට, ඉතාමත් පහත් ලෙස මේ සමාජ මාධ්‍ය යොදාගන්නවා.”

“ළමා අපචාර සහ අපයෝජන සඳහා අද ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ මේ සමාජ මාධ්‍ය හරහා කරන පෙළඹවීම්. ස්මාර්ට් ෆෝන් එක අද කුඩා දරුවන්ගේ අනාගතය විනාශ කරන තත්ත්වයට පත්වෙලා. මනස විකෘති කරන අසභ්‍ය දේවල් නරඹන්න පුරුදුවෙලා. දරුවන්ගේ විවේක කාලයෙන් 80%ක් වැය කරන්නේ ස්මාර්ට් ෆෝන් එකත් සමග කියලා හෙළිවෙලා තියෙනවා. මොනවා බලනවා ද කියලා දෙමව්පියෝ දන්නෙත් නැහැ. කවුරුත් දන්නෙත් නැහැ. මේ තත්ත්වය වෙනස් කරන්න පොලීසිය ඉදිරි පියවරක් තැබීම තමයි මේ සිදුවන්නේ.”

2024 වසරේ නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු පාසල් දරුවන්, ගුරුවරුන් සහ දෙමව්පියන් දැනුවත් කරමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි ෴


මිහින්තලේට හමුදාව නොදුන්නොත් ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අපි ආපහු අට්ටාල ගහනවා… (14.12.2023)

+


රනිල්ව ජනාධිපති කරන්න අත ඉස්සුවට ඇත්තටම ලැජ්ජයි – රොෂාන් ; එතකොට ඔයා බබා ද ? – සුදත්ත (14.12.2023)

+


සිසුවාට වේවැල් පහර දුන් විදුහල්පතිනිය රුපියල් ලක්ෂ 10 ක් වන්දි ගෙවයි

(15.12.2023 – divaina.lk)

වයස අවුරුදු 15 ක් වූ බාලවයස්කාර දරුවකුගේ භාරකාරත්වය හෝ ආරක්ෂාව දරා සිටිමින් එම දරුවාට වේවැලකින් පහරදීම, අඩන්තේට්ටම් කිරීම, හිංසා කිරීම හා නොසලකා හැරීම යන චෝදනාවලට වරද පිළිගත් විදුහල්පතිනියකට කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එන්. අබේරත්න මහතා රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් එම දරුවාට ගෙවන ලෙස නියම කළ අතර විදුහල්පතිනිය ඊයේ (14) විනිසුරුවරයා ඉදිරියේ එම මුදල ගෙවා දැමුවාය.

ඊට අමතරව රජයේ ගාස්තු වශයෙන් රුපියල් 1500 ක් ගෙවන ලෙසත්, නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් මාස තුනක (3) සුළු වැඩ සහිත සිර දඬුවමක් ද, වන්දි මුදල නොගෙවන්නේ නම් මාස 24 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ දොඩන්ගොඩ නවෝද්‍යා පාසලේ හිටපු විදුහල්පතිනිය වූ ‘සරෝජිනී නිර්මලා කොතලාවල’ නම්වූ අයටය.

2013 ජූනි මස 26 හෝ ඊට ආසන්න දිනයකදී දොඩන්ගොඩ දී එවකට බාලවයස්කාර දරුවකු වූ ‘තොටවත්ත බණ්ඩාරගේ ඉෂාර ජගත්’ නම් වූ සිසුවා කෲරත්වයට පත් කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

දොඩන්ගොඩ පොලිසිය මගින් එම වසරේ (2013) පොසොන් උත්සවය නිමිතිකොට තුඩුගල හංදියේ පහන් කූඩු තරගයක් හා ප්‍රදර්ශනයක් පවත්වා ඇති බවත් දොඩන්ගොඩ නවෝද්‍යා විද්‍යාලය නියෝජනය කරමින් මෙම සිසුවා ඉදිරිපත් කළ බෝතලයක් තුළ කැරකෙන පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

එම වේදිකාවේදී සිසුවා මුදල් චෙක්පත හා සහතික පත්‍රය ලබා ගත් පසු, එය ‘විදුහල නියෝජනය කරමින් ඉදිරිපත් කළ නිර්මාණයක්’ යැයි කියමින් විදුහල්පතිනිය එම තෑගි එම ස්ථානයේදීම ලබාගෙන තිබුණි.

ඉන්පසු එම ජයග්‍රාහී තිළිණ ලබා ගැනීමට තමාට ඉඩ නුදුන් බව පවසමින් විදුහල්පතිනිය සිසුවාට පාසලේදී ප්‍රසිද්ධියේ පහර දී ඇති බවත්, සෙසු ගුරු මහත්ම මහත්මීන් පවා සිසුවා නොසලකා හැර ඇති බවත්, කැමැත්තෙන් සිටි තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට සිසුවාට නොහැකි වූ බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

මෙය දඩ හා සිර දඬුවම් නියම කළ හැකි වරදක් වුවද, චූදිත විදුහල්පතිනිය 2018 වසරේ කළුතර අධ්‍යාපන කලාපයේ හොඳම විදුහල්පතිනිය වීම, 2016 හා 2017 වසරවලදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළ නංවා ගැනීමට දායකවීම හා වසර 29 ක සේවා කාලයක දී සිදු කර ඇති වැඩදායක කරුණු හා මින් ඉදිරියට මෙවන් වැරදි සිදු නොකරන බවට වූ පොරොන්දුව සලකා බලා ඇයට ලිහිල් දඬුවමක් නියම කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

රජයේ අධිනීතිඥ මල්ෂා මඩවලගම මහත්මිය මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ කනිෂ්ක වන්නිඅච්චි මහතා විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටියේය ෴


යාපනයේ, කෝපායී, පුදූර් සෝමස්කන්ද පාසලේ ගුරුවරියක් දැරියකගේ ඇඟිලි දෙකක් තලලා

(15.12.2023 – divaina.lk)

යාපනයේ කුඩා පාසල් ශිෂ්‍යාවකගේ ඇඟිලි තැලෙන ලෙස ගුරුවරියක් පහර දීම නිසා එම සිසුවියගේ ඇඟිල්ලක නිය පොත්තක් යාපනය ශික්ෂණ රෝහලේ දී ගලවා ඉවත් කිරීමට සිදුව තිබේ.

යාපනයේ, කෝපායී, පුදූර් සෝමස්කන්ද පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ ගුරුවරියක් පහරදීම නිසා එම සිසුවියගේ ඇඟිලි දෙකකට (2) හානි සිදුව තිබේ.

ඉන් එක් ඇඟිල්ලක නියපොත්තක් විනාශ වීම නිසා වෛද්‍යවරුන්ට එම නියපොත්ත ගලවා ඉවත් කිරීමට සිදුවුණි. මේ සිද්ධිය පිළිබඳ යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට හෝ වෙනත් ආයතනයකට මේ දක්වා කිසිදු පමිණිල්ලක් ලැබී නොමැති බව මේ පිළිබඳ කළ සොයා බැලීමක දී හෙළි වුණි.

නිය පොත්ත අහිමි වූ පාසල් සිසුවිය ඉතා අසරණ හා දිළිඳු පවුලක අයකු බවත් ඇය වෙනුවෙන් මේ දක්වා කිසිවෙකුත් පෙනී සිට සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් නොවුණු බවත් වාර්තාවේ ෴


කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමින් පොලිස් නිලධාරීන් ලෙස රඟපෑ තිදෙනෙකු (3) අත්අඩංගුවට

(14.12.2023 – 22:26 +0530 – sinhala.adaderana.lk)

පොලීසිය බව හඟවමින් රාත්‍රී කාලයේදී මාර්ග බාධකයක් යොදා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නිරතවී සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබේ.

කැස්බෑව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් අදාළ පුද්ගලයින් මෙම ක්‍රියාව සිදුකර ඇත.

ඒ, කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා ගනිමිනි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව පොලීසිය විසිනි.

එම සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන ඇත.

ත්‍රීරෝද රථයකින් රාත්‍රියේ ජංගම සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) මඩපාත සර්වෝදය මාවතේ කෙළවරට වන්නට පිරිසක් රැඳී සිටින අයුරු දැක තිබුණි.

ඔවුන් එම ස්ථානයට ළඟාවීමත් සමගම එහි සිටි පුද්ගලයින් තිදෙනා (3) පළාගොස් තිබේ.

එහිදී වහා ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරීන් පළායමින් සිටි පුද්ගලයන් තිදෙනා (3) පසුපස හඹාගොස් ඉන් දෙදෙනෙකු (2) ඒ මොහොතේදීම අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

අනතුරුව ඔවුන් දෙදෙනාට (2) අත්මාංචු දමා ඔවුන් සිටි ස්ථානයට රැගෙන ඒමෙන් අනතුරුව ඒ වනවිටත් එහි සිටි පුද්ගලයන් දෙදෙනා (2) පවසා ඇත්තේ,

“මම පෙදරේරුවෙක්. මදුරු දඟර මිලදී ගැනීම සඳහා වෙළඳසැලට යමින් සිටියේ. මේ තිදෙනාගෙන් අයෙකු තමන් කැස්බෑව පොලීසියේ OIC බව කියමින් නවතින කිව්වා. එම විධානයට අනුව මම නැවතුනා. OIC කියූ පුද්ගලයා අනෙක් පුද්ගලයාට කතා කරලා කිව්වා “පී.සී මේ දෙන්නගේ අයි.ඩී. චෙක් කරනවා” කියලා.

ඒ අවස්ථාවේදී තමන් වෙළෙඳසැලට යන නිසා හැඳුනුම්පත රැගෙන පැමිණියේ නොමැති බව දැනුම්දුන් පසුව තමන්ව හොඳින් පරීක්ෂා කරන ලෙස යළිත් පී.සී. කියන පුද්ගලයාට දැනුම්දුන් බවත් පවසා තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් පොලීසියට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කැස්බෑව පොලීසියේ ‘OIC’ ලෙස රඟපෑ සැකකරු අරක්කැමියෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකු බවත් ‘සැරයන්’ ලෙස හැඳින්වූ සැකකරු ත්‍රීරෝද රථ රියදුරකු බවත්, ‘පීසී’ ලෙස හැඳින්වූ සැකකරු රැකියාවක් නොමැති අයෙකු බවත් අනාවරණය වී ඇත.

සැකකරුවන් තිදෙනා (3) ජබුරලිය සහ නිවුන්ගම පදිංචි වයස අවුරුදු 35 සහ 45 යන වයස්වල පසුවන පුද්ගලයන් වෙයි.

සැකකරුවන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


කුරුණෑගල දැරියක් හදපු අරුම පුදුම නව නිපැයුම.. (14.12.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *