පාට් දැමූ පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම්

පාට් දැමූ පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම්


පාට් දැමූ පොලිස් කොස්තාපලයාගේ වැඩ තහනම්

(06.12.2023 – 15:48 +0530 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන පොලිස් කොස්තාපලයෙකුගේ වීඩියෝවක් පිළිබඳ පොලීසියෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද වෙන්නප්පුව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබුණි.

බීමත් රියදුරෙකුට ඇප ලබාගැනීමට පසුගිය නොවැම්බර් 24 වනදා වෙන්නප්පුව පොලීසිය වෙත පැමිණ සිටි පිරිසකට පොලීසිය ඉදිරිපිටදී එම පොලිස් නිලධාරියා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇත.

එම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කෙරුණි.

ඒ අනුව අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නොවැම්බර් 27 වනදා සිට වහාම ක්‍රියාත්මක වනපරිදි අදාළ නිලධාරියාට වෙන්නප්පුවේ සිට ගිරිබාව පොලීසිය වෙත ස්ථාන මාරුවක් ලබාදී තිබුණි.

ඉන් පසුව විමර්ශන අතරතුර නොවැම්බර් 29 වනදා සිට එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගැනුණි.

+


කඩුගන්නාව රෝහලේ බැම්මක් කඩාවැටී පුද්ගලයෙකු මරුට

(06.12.2023 – 14:52 +0530 – sinhala.adaderana.lk)

කඩුගන්නාව ප්‍රාදේශීය රෝහලේ පැරණි බැම්මක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඩුගන්නාව පරණපට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි වියේ පසුවූ රංජිත් අබේරත්න නමැති අයෙකි.

මෙලෙස කඩාවැටී ඇති පැරණි බැම්ම ඉවත්කර නව බැම්මක් ඉදිකරමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

එහිදී අද (06) දහවල් 12 ට පමණ පැරණි තාප්පය කඩාවැටී ඇති අතර මෙම පුද්ගලයා බැම්ම සමග කඩාවැටුණු පස් කන්දකට යටවී තිබේ.

කෙසේ වෙතත් කඩිනමින් එහි සිටි පිරිස රෝහල් සේවකයින්ගේ සහාය ඇතුව පස් කන්දට යටවූ පුද්ගලයා රෝහල්ගතකිරීමට පියවර ගත්තද ඔහු ඒ වනවිටත් මියගොස් තිබේ.

+


පාසල් දරුවා මරලා එල්ලුවාද ? එල්ලිලා මැරුණාද ?

(06.12.2023 – 14:14 +0530 – sinhala.adaderana.lk)

ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට සැක කෙරෙන පිරිමි දරුවෙකුගේ සිරුරක් සයින්දමරුදු ප්‍රදේශයේ මද්‍රසා පාසලක තිබී සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.එස්. මුෂාබ් නමැති 13 හැවිරිදි සිසුවෙකි.

එම දරුවාගේ මරණය සැක සහිත බව පවසමින් ඊයේ (05) රාත්‍රියේ ප්‍රදේශවාසීන් අදාළ මද්‍රසා පාසල වැටලා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ සයින්දමරුදු පොලීසිය අදාළ මද්‍රසා පාසලේ පාලකවරයාව අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය සඳහන් කරන්නේ මෙම මරණය හේතුවෙන් ජනතාව ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින බවය.

+


දෙහිවල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක අත්බෝම්බයක්

(06.12.2023 – 14:03 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක තිබී අද (06) උදෑසන අත්බෝම්බයක් හමු ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

දෙහිවල පොලිස් වසමේ අංක 124, අනගාරික ධර්මපාල මාවත, දෙහිවල ලිපිනයේ අඩක් ඉදිකර අතහැර දමා ඇති මහල් 11 කින් සමන්විත ගොඩනැගිල්ලේ 05 වැනි මහලේ මෙම අත්බෝම්බය තිබී ඇති බව වාර්තා වේ.

නිල් පැහැති පොලිතින් බෑගයක බහාලන ලද අත්බෝම්බයක් වැනි යමක් ඇති බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් දෙහිවල පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබේ.

ඒ අනුව පොලීසිය විසින් සිදු කළ විමර්ශනයකින් පසු එය අත්බෝම්බයක් බව හෙළි වී ඇත.

පසු ව ඒ සම්බන්ධ ව දෙහිවල පොලිස් ස්ථානය විසින් බෝම්බ නිෂ්ක්‍රීය අංශය දැනුම්වත් කරනු ලැබීමෙන් අනතුරු ව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් අත්බෝම්බය රැගෙන ගොස් ඇති බව වාර්තා වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *