රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී

රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී


රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන් දිවි ගමනින් සමුගනී

(04.12.2023 – gossiplankanews.com)

රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) අභාවප්‍රාප්ත වී තිබෙයි. මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.

කලා කීර්ති සුමින්ද සිරිසේන වේදිකාවේ සිනමාවේ හා රූපවාහිනි නළුවෙකු ලෙස රංගන දක්ෂතා දැක්වූවෙකි. බොහෝ සම්මාන උළෙලවල හොඳම නළුවා ලෙසද සම්මානය ලබා ඇත. කලා කීර්ති (2017), කලා භූෂණ (2014) පිදුම් ලබා ඇත.

සුමින්ද සිරිසේන උපන්නේ 1948 ජූලි 04 වැනිදා කෑගල්ලේ පිටිසර ගමක්වූ බොස්සැල්ලේ දී පවුලේ වැඩිමලා ලෙසය. ඔහුගේ පියා සම්ප්‍රදායික ජන නාට්‍ය රඟ දැක්වූ අයෙකු විය. ගමේ පාසල පුස්සැල්ලාව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමෙන් පසු 1963 වසරේ තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ඔහුට හිමි විය. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් (2) සහ සහෝදරියන් දෙදෙනෙක් (2) සිටිති.

සිය පාසල් අධ්‍යාපනයෙන් පසු සිරිසේන කොළඹ ශ්‍රී ලංකා දුම්රිය සේවයට 1969 දී විශේෂ ආධුනිකයෙකු ලෙස පැමිණියේය.

රංග කලාවේ නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන අතරතුර සිරිසේන 1970 දී ඕමානයට ගොස් වසර දෙකක (2) කාලයක් ව්‍යාපෘති තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළේය.

1971 ට පෙර ඔහු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු වූ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන ලද රැස්වීම්වලට නොකඩවා සහභාගි විය. පක්ෂය සන්නද්ධ අරගල ක්‍රියාවලියට අවතීර්ණ වීමත් සමඟ ඔහු දේශපාලනයෙන් ඉවත් විය. සමාජ විද්‍යාව පිළිබඳ BA උපාධියක් ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් MA උපාධිය සම්පූර්ණ කර ඇත.

ඔහු විවාහ වී සිටින්නේ ලීලා සිරිසේන සමඟයි. මෙම යුවළට ප්‍රභාත් සහ නන්දිත යනුවෙන් පුතුන් දෙදෙනෙක් (2) සිටිති.

2012 මැයි මාසයේදී සිරිසේන හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

එතැන් සිට ඔහුට ඇවිදීමේ දුෂ්කරතා ඇති විය. ඔහු පසුව භෞතචිකිත්සක ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඔහුගේ කලා කටයුතු වලට දිගු ඉතිහාසයක් තිබේ. 1967 වසරේ රාජ්‍ය පාසල් නාට්‍ය උළෙලේ අවසන් වටයට තේරී පත් වූ නාට්‍ය පාසලේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට සම්බන්ධ විය. පසුව ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානයේ විසින් ආරම්භ කරන ලද ‘ධම්ම ජාගොඩ ශිල්ප ශාලිකා රංග පාඨමාලාව’ හැදෑරීය. 1969 දී ඔහු ප්‍රථම රංගනය ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යෙය් සනිටුහන් කළේය. ඔහු 1970 දශකයේ බොහෝ වේදිකා නාට්‍යවල රඟපෑවේය.’මීපුර වැසියෝ’ නාට්‍ය යේද ඔහු රඟපෑවේය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු, බවකඩතුරාව, මහාසාර, මනමේ නාට්‍ය වල රගපෑ ඔහු ‘බවකඩතුරාව’ වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ද දිනා ගත්තේය. 2002 දී ඔහු ‘සිවුරංග’ නමින් නාට්‍ය පාසලක් පිහිටුවීය. එම ඇකඩමියෙන් ශිෂ්‍ය කණ්ඩායම් හතරක් (4) බිහි කිරීමට ඔහුට හැකි විය. ඉන්පසුව ඔහු කොළඹ ටවර් හෝල් ඇකඩමියේ උපදේශකවරයෙකු ලෙස සේවය කළේය.

සිරිසේනගේ ප්‍රථම ටෙලිනාට්‍යය වූයේ 1985 වසරේ ‘සිහින නිම්නය’යි . ඔහුගේ දෙවැනි (2) ටෙලිනාට්‍යය වූ ‘කුමාරිහාමි’ හි ‘හිච්චි මහත්තයා’ගේ චරිතයයි . ‘හිරුට මුවාවෙන්’ ටෙලි නාටකයේ ඔහු කළ රංගනය ද අතිශය ප්‍රකට විය.

එතැන් පටන් ඔහු ටෙලි කතාමාලා 40 කට වැඩි ගණනක රඟපා ඇත. ‘චරිත තුනක්’ කතාමාලාවේ ‘ඊසා’ ලෙස ඔහුගේ චරිතය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ මංගල සිනමා රංගනය පැමිණියේ 1976 ‘දුහුළු මලක්’ තුලිනි. ‘සප්ත කන්‍යා’, ‘යකඩ පිහාටු’, ‘උප්පලවන්නා’, ‘සමනල තටු’, ‘ඉර හඳ යට’ ඇතුළු චිත්‍රපටවල රඟපා ඇත.

‘සේපාලිකා’ සහ ‘බොරළු පාර’ ටෙලි නාටක වල රඟපාමින් සිටියදී ඔහුගේ අසනීප තත්ව මතුවූ අතර ඉන් පසු රංගනයට සම්බන්ධවූයේ නැත.

+

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන සූරීන්ගේ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා (07) පස්වරු 5 ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එය බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන බවයි සඳහන් වන්නේ.

මේ වනවිට ඔහුගේ දේහය බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

බොහෝ දෙනෙක් මේ වනවිටත් එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු ඊයේ (04) පෞද්ගලික රෝහලේ දී අභාවප්‍රාප්ත වන විට 75 වැනි වියෙහි පසු වුණා ෴

+

07-12-2023

+


බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට ඇප

(05.12.2023 – 15:45 +0530 – sinhala.adaderana.lk)

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 24 හැවිරිදි කාන්තාවක් ඇප මත මුදාහැර තිබේ.

සැකකාරිය අද (05) අලුත්කඩේ අංක 03 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන සිටියේ අදාළ ව්‍යාජ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අවුරුදු 24 ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණි.

++++++++

+


වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක්

(05.12.2023 – 18:19 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසන්නේ යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් දරුවන්ට අවුරුදු 18 දී විශ්වවිද්‍යාලයට හැකියාවක් පවතින බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමින්.

මෙලෙස යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට හැකියාවක් පවතින බවයි සඳහන් වන්නේ.

පසුගිය වසරට වඩා මෙවර අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 55 ක වැඩිවීමක් සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබෙනවා ෴


රුපියල් මිලියන 43 ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

(05.12.2023 – 18:14 +0530 – hirunews.lk/sinhala)

තැපැල් මාර්ගයෙන් මෙරටට එවන ලද මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 43 කට ආසන්න බවයි තහවුරු වී ඇත්තේ.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරීවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකපිට පාර්සල් 25 ක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.

එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, මහරගම, බත්තරමුල්ල, බොරලැස්ගමුව, පානදුර මොරටුව හා මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපිනයන් වෙත එවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒම ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

එහිදී Methamphetamine අඩංගු Ecstasy නමැති මත්පෙති 2193 ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1740 ක් සහ Amphetamine ග්‍රෑම් 29 ක් එහිදී සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴


ලබන 07 වනදායින් පසු වැසි තත්ත්වයේ අඩු වීමක්

(05.12.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් චණ්ඩ සුළි කුණාටුව මේ වන විට යාපනයට උතුරු දිශාවෙන් කිලෝමීටර 520 ක දුරින් ස්ථාන ගත වී තිබෙනවා.

එය අද (05) ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයට කඩා වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙහි බලපෑම නිසා පැවති වැසි තත්ත්වය ලබන 07 වනදායින් පසු අඩුවනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මෙලෙස අද (05) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර 64 ක් ලැබී ඇත්තේ කලුතර – කුකුලේ ගඟ ආශ්‍රිතවයි ෴

ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද (05) දිනයේ දී නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහා නාය යා හැකි බවට රතු නිවේදනයක් ඊයේ (04) දිනයේ නිකුත් කර තිබුණා.

ජාතික ගොඩනැගිලි ඉදිකිරීම් පර්යේෂණ සංවිධානය පැවසුවේ අද (05) දහවල් 1 දක්වා පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ඒ අනුව රතු නිවේදනයක් නිකුත්කළ බවයි ෴


සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ප්‍රකාශයට පත් කරයි

(05.12.2023 – 17:21 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල සීමාව ගැන අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව 2023 අපොස උසස් පෙළ විභාගය නියමිත පරිදි 2024 ජනවාරි මාසයේදී පවත්වන බවයි මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි මස මැද භාගයේදී පැවැත්වීමට අදහස් කර ඇති බවයි.

ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම අවසන් කිරීම සඳහා සෑම විභාගයක් අතරම මාස තුනක (3) කාල පරතරයක් අවශ්‍ය වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔහු පැවසුවේ 2025 වන විට නියමිත වසර තුළ විභාග පැවැත්වීම සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි ෴


අයියා ඝාතනය කර සිරුර පුලුස්සා දොළකට දැමූ මල්ලී අත්අඩංගුවට

(05.12.2023 – 16:47 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස බලපාත ප්‍රදේශයේ සිය සහෝදරයා ඝාතනය කර පුළුස්සා දොළකට දැමු සහෝදරයකු අත්අඩංගුවට තිබෙනවා.

මිය ගිය පුද්ගලයා දෙහිඅත්තකණ්ඩියේ සිටින සිය බිරිඳ සහ දරුවන් බැලීමට අලු‍යම නිවසෙන් පිටත්ව ගොස් තිබෙන සඳහන් වන්නේ.

එහිදී ඔහුගේ බාල සොහොයුරා විසින් මුගුරකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස හේනේගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි තිදරු පියෙක්.

පොලිසිය ප්‍රකාශ කළේ ඝාතනය කළ සිය සහෝදරයාගේ සිරුර දින 3 ක් පුලු‍ස්සා බලපාත දොළට දැමු බවට සැකකරු පාපොච්ජාරණය කර ඇති බවයි.

ඝාතනයට හේතු වී ඇත්තේ ඉඩම් ආරවුලක් බවයි වාර්තා වන්නේ ෴


දිවයිනේ පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කෙරේ

(05.12.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ඉ-ජනගහණය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික්කයෙන් අද (05) ආරම්භ කෙරුණා.

ආකර්ෂණීය බව, නිවැරදි බව හා පිළීගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඊට අදාළ උත්සවය කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට ලබාදෙන අංකය ජාතික හැඳුනුම්පත් අංකය බවට පරිවර්තනය වන බවයි.

එය ‘ජාතික උප්පැන්න සහතිකය’ ලෙස නම් කර ඇති අතර, මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ ෴


ආරක්ෂක නිලධාරියෙකුට පහරදුන් සිසුන් 04 කට පන්ති තහනම්

(05.12.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 04 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

එසේම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු 2 ක් පත් කරන බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ඊයේ (04) කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *