හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක්

හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක්


හෙට (03) දිනයේ සුළිකුණාටුවක අවධානමක්

(02.12.2023 – 20:14 +0530 – hirunews.lk/sinhala)

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය හෙට (03) දිනය වන විට සුළිකුණාටුවක් බවට පත් විය හැකි බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා

ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පල කරන්නේ.

බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින මෙම පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

ලබන 04 වැනිදා වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතු සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි පැය 48 තුළ, මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද දන්වා තිබෙනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, පැයට කිලෝ මීටර් 40 – 50 ක පමණ තද සුළං බලාපොරොත්තුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

මේ අතර පවතින වර්ෂාධික කාලගුණික තත්ත්වය හමුවේ පදවිය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව, අඟල් 6 බැගින් තත්පරයට ඝන අඩි 1,200 ක ජල ධාරිතාවක් මා ඔයට මුදා හරි බවයි වාරිමාර්ග කලාප භාර ඉංජිනේරුවන් පවසන්නේ.

මේ අතර අද (02) දහවල් කාලයේ කොළඹ නගරයේ මීදුම් සහිත තත්ත්වයක්ද දක්නට ලැබුණා.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි ගුවන් තොටුපලට පැමිණි ගුවන් යානා 20 ක් පමණ හරවා යවා තිබෙනවා.

ඒ ගුවන් පථය නිසි ලෙස දර්ශනය නොවීම හේතුවෙන් මෙම තත්වය හේතුවෙන් ගුවන් මගීන් දැඩි අපහසුතාවයට පත් ව ඇති අයුරු ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා ෴


නොරෙච්චෝලේ නිවසකට පැමිණි දෙදෙනෙකු (2) රුපියල් ලක්ෂ 30 ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

(02.12.2023 – 19:21 +0530 – hirunews.lk/sinhala)

නොරෙච්චෝලේ – නාවක්කඩුව කොලනිය ප්‍රදේශයේ නිවසකට පැමිණි දෙදෙනෙකු (2) නිවැසියන් බිය ගන්වා, රුපියල් ලක්ෂ තිහක (30) මුදලක් සහ පවුම් 61 ක රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබෙනවා.

මුහුණු ආවරණය කරගෙන පැමිණි අදාළ සැකකරුවන් දෙදෙනා (2) අවි ආයුධ පෙන්වා නිවැසියන්ගේ අත්පා ගැටගසා මෙම මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

නිවසේ හිමිකරු දුම්කොළ සහ කරවිල වගාවේ නිරත ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු සිද්ධිය පිළිබඳ නොරොච්චෝලේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරුවන් කොල්ලකා ඇති මුදල් හා රන් භාණ්ඩ වල මුළු වටිනාකම රුපියල් එක්කෝටි පනස් දෙලක්ෂයක් (1,52,00,000) වන අතර සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ ෴

+++++

+


රිය අනතුරකින් යාපනයේ තරුණයෙකුට දිවි අහිමි වෙයි

(02.12.2023 – 18:35 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ පුත්තූර් ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු (2) ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා ෴


මහනුවර ඩෙංගු අධි අවධානම් කලාප අතරට

(02.12.2023 – 13:22 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් බවට හඳුනාගැනීමත් සමඟ දිස්ත්‍රික්කය තුළ ‘ඩෙංගු නිවාරණ මාසයක්’ නම් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව රෝගීන් 72 දෙනෙකු පමණ වාර්තා වන අතර මහනුවර ජාතික රෝහලේ ඩෙංගු රෝගීන් 7,422 දෙනෙකු පමණ මේ වන විට ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම මේ වසර (2023) තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ 09 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙසේ ඩෙංගු නිවාරණ මාසයක් නම් කර ඇති බවයි වාර්තා වී ඇත්තේ ෴


සෙට්ටිකුලමේ දී අඹු සැමි යුවලක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

(02.12.2023 – 12:09 +0530 – hirunews.lk/sinhala)

සෙට්ටිකුලම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී තියුණු ආයුධවලින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලිනොච්චිය – උරිත්තිරපුරම් ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි මොහොත්තාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරිම්වල දී කොල්ලකන ලද රුපියල් දස දහසක (10,000) මුදලක් ද සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ ඔහු ඇද සිටි ඇඳුම් සහ රන් මාල කොටසක් බෑගයක දමා ළිඳකට දමා තිබිය දී සොයාගත් බවයි ෴


පෑනක් වගේ ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.12.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

ඉතා සූක්ෂම ලෙස පෑනක් ආකාරයෙන් සකස් කළ විදේශීය රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවියක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ඔවුන් යම් කිසි අපරාධයක් සඳහා සැලසුම් කරමින් සිට ඇති බවට සැක කරන බවයි.

යක්කල – කෙසෙල්වතුගොඩ පාර අසල දී ඊයේ (01) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 29 සහ 33 යන වයස්වල පසුවන යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ ෴


මුහුදේ ගිලී තරුණයෙකු අතුරුදන්

(02.12.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

මිතුරන් සමඟ දියනාමින් සිටි තරුණයෙකු මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව එගොඩඋයන පොලිසිය සඳහන් කරනවා.

මෙම තරුණයා රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගොස් පැමිණ තවත් මිතුරෙන් දෙදෙනකු (2) සමඟ දියනාමින් සිට ඇති අතර එහිදී එක්වරම රළ පහරට හසුව ඔහුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

අතුරුදන්ව ඇති තරුණයා වයස අවුරුදු 20 ක් වන එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එගොඩඋයන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴


පස්සර නගරයේ වෙළඳසැලක හදිසි ගින්නක්

(02.12.2023 – 08:27 +0530 – hirunews.lk/sinhala)

පස්සර නගරයේ පිහිටි කුළු බඩු වෙළඳසැලක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ජල බවුසරය හා බදුල්ල නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න මැඩ පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

අදාළ ගින්න හේතුවෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


විදේශ ගත කරන බව පවසා මුදල් ගැරු සැකකරු අත්අඩංගුවට

(02.12.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු විදේශ ගත කරන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53 ක උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

අදාළ සැකකරු පුද්ගලයින් විදේශ ගත කරන බව පවසා රුපියල් ලක්ෂ 47 කට අධික මුදලක් වංචා කර ඇති බව පොලිසිය පවසනවා.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගම්පහ පොලිසිය මගින් සිදු කරනු ලබනවා ෴


විශ්වවිද්‍යාලයක සිසුන් 180 ක් හන්තානේ සිර වේ

(02.12.2023 – 22:58 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාලයක වෛද්‍ය සිසුන් 180 ක් අයහපත් කාලගුණය හේතුවෙන් හන්තාන කඳුවැටියේ අතරමං වී සිටිනවා.

මේ අතර පිරිමි සිසුන් 60 ක් සහ කාන්තා සිසුන් 120 ක් සිටින බවට සඳහන්.

පොලිසිය සහ යුද හමුදාව මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කර නොමැති බවයි වාර්තා වන්නේ ෴

හන්තානේ අතරමං වූ සිසුන් මුදා ගැනේ

(03.12.2023 – 07:05 +0530 – sinhala.adaderana.lk)

හන්තාන කඳුවැටිට තරණය කිරීමට ගොස් අතරමං ව සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිස මුදාගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

විශ්වවිද්‍යාල සිසුන් 181 දෙනෙකු ඊයේ (02) දිනයේ පේරාදෙණිය ප්‍රදේශයෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට ගොස් ඇත.

කෙසේ වෙතත් පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නැවත පැමිණීමේ දී සිසුන්ට මාර්ගය සොයාගැනීමට නොහැකි ව අතරමං ව සිටින බවට මහනුවර පොලීසියට තොරතුරක් ලැබී තිබිණි.

රාගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියන් 120 දෙනෙකු සහ සිසුන් 61 දෙනෙකු එලෙස අතරමං ව ඇත.

සිසුන් මුදාගැනීමට මහනුවර පොලීසියේ නිලධාරීන් සහ යුද හමුදා සෙබළුන් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කළ බව පොලීසිය සඳහන් කළේය.

+


ලෝකයට යන අපේ නිපැයුම්

(02.12.2023 – 22:21 +0530 – sinhala.adaderana.lk)

ගුවන් ගමන්වලදී වැඩිපුරම අවදානමක් සහිත ගිනි අනතුරු පාලනය කළ හැකි ආරක්ෂිත මෙවලම් නිපදවීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

රටට විදේශ විනිමය රැගෙන එන නවමු සංකල්පයක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මගපෙන්වීම යටතේ මෙම ආයතනය ආරම්භ කර ඇත.

මෙම මෙවලම් සහ එහි ඇති විශේෂත්වය ගැන වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.

+


වාහන ආදායම් බලපත්‍ර ජාවාරමක් උකුස්සා හෙළිකරයි

(02.12.2023 – 20:14 +0530 – sinhala.adaderana.lk)

කූට ලෙස සකසන වාහන ආදායම් බලපත්‍ර ජාවාරමක් නීතියේ රැහැනට හසුකරදීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකිවිය.

උකුස්සාගේ අද (02) අනාවරණය ඒ පිළිබඳවයි.

මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු කූට ලෙස වාහන ආදායම් බලපත්‍ර සකසන බවට ලද තොරතුරකට අනුව ගුවන් හමුදා බුද්ධි ඒකකය සමග එක්ව ‘අද දෙරණ උකුස්සා’ ගවේෂණයක නිරත වුණි.

එහි පළමු පියවර ලෙස අදාළ පුද්ගලයා හමුවීමට මාලිගාවත්ත ප්‍රදේශයට ගියේය.

එහිදී අදාළ පුද්ගලයාට ව්‍යාජ වාහන ආදායම් බලපත්‍රයක් සකසා ගැනීමට අවශ්‍ය බව සඳහන් කිරීමෙන් පසුව ඔහු පැවසුවේ ඒ සඳහා මූලික ගෙවීම ලෙස රුපියල් 5,000 ක මුදලක් අවශ්‍ය බවය.

ඒ අනුව, එම ජාවාරම සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ මාලිගාවත්ත පොලීසිය දැනුවත් කරනු ලැබීය.

අනතුරුව ගුවන් හමුදා බුද්ධි ඒකකයේ නිලධාරියෙකු ද සමග අදාළ ස්ථානයට ජාවාරම්කරු විසින් සකසන ලද ව්‍යාජ වාහන ආදායම් බලපත්‍රය ලබාගැනීමට පැමිණ තිබුණි.

එහිදී ජාවාරම්කරු එය අපට ලබාදුන් අතර එය බැලූ බැල්මට ව්‍යාජ එකක් ලෙස නොපෙනෙන පරිදි සූක්ෂ්ම ලෙස සකසා තිබුණි.

උපායදූතයා – “මේ අංකල් කලබල කරන්න එපා. මේක හදපු තැනට අපිව එක්කන් යන්න.”

ජාවාරම්කරු – “උන් නැහැනේ.”

උපායදූතයා – “අපි පොලීසියෙන්”

ජාවාරම්කරු – “ඇත්තද. සොරි ආහ්… මහත්තයෝ උන් ඇවිල්ලා දීලා යනවා. කොහෙද ඉන්නේ කියලා අපි දන්නෙත් නැහැ. මෙහෙම කරන්න එපා මහත්තයෝ. මහත්තයාට බුදු බව අත්වෙයි.”

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලීසියේ නිලධාරීන් මගින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී ජාවාරම්කරුගේ ත්‍රිරෝද රථය පරීක්ෂා කළ අතර එහි තිබී තවත් කූට ලෙස සකසන ලද වාහන ආදායම් බලපත්‍ර දෙකක් (2) සොයාගැනීමට හැකිවිය.

ඉදිරියේදීත් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් රට හමුවේ අනාවරණය කිරීමට ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.

+


මෙරට දෛනික ප්ලාස්ටික් භාවිතය මෙට්‍රික් ටොන් 938 ක්

(03.12.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

දිනකට මෙරටදී ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938 ක් භාවිතයට ගැනුනත් ප්‍රතිචක්‍රීකරණය කෙරෙන්නේ ඉන් 4 % ක් පමණක් බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

භාවිත කළ ප්ලාස්ටික් අතුරින් නැවත එක්රැස් වන්නේ 32 % ක් පමණක් වන අතර ප්‍රතිචක්‍රීකරණය නොවන ඉතිරිය පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බවයි එම කාරක සභාව හමුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

කිසිදු නියාමනයකින් තොරව සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවසර දී ඇති බව ද මෙහිදී හෙළිවුණා. ඒ අනුව ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී කර්මාන්තයේ අවශ්‍යතා අනුව ඒවා නිකුත් කළ යුතු බවට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් ලක්ෂ 4 ක් ආනයනය කරන අතර සුන්බුන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 20,000 ක් ද ආනයනය කිරීමට අවසර දී තිබෙනවා.

නමුත් මෙරට කර්මාන්ත සඳහා සුන්බුන් ප්ලාස්ටික් ආනයනය කර ඇත්තේ මෙටි්‍රක් ටොන් 5,179 ක් පමණක් බවයි නිලධාරීන් පෙන්වා දි තිබුණේ.

ඒ අනුව මෙරටට රැගෙන එන ප්ලාස්ටික් වසර 5 ක් වැනි නිශ්චිත කාලයක් තුළ එකතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ ෴


අහම්බයෙන් වෛරල් වුන ලතා වල්පොලයන්ගේ මුණුපුරාගේ බිරිඳ ක්‍රිස්ටිනා සමග ‘සරසවිය’

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *