ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි


ළමුන්ට පොලිතින් කැවු විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

(29.11.2023 – 17:54 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන්ට පොලිතීන් කැවූ සිද්ධියේ සැකකාර විදුහල්පතියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් 05 දෙනෙකු මෙම සිද්ධීයට මුහුණදී තිබුණා.

සිද්ධියට සම්බන්ධ අදාළ විදුහල්පතියාව නාවලපිටිය පොලීසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන අද (29) නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවීර හමුවට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ සැකකරා විදුහල්පතියාව ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නාවලපිටිය පදිංචි 47 හැවිරිදි විදුහල්පතියෙක් ෴

23.11.2023 :

නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 07 දෙනෙක් පාසල තුළ දී දිවා ආහාර ලබා ගැනිමෙන් අනතුරුව ඔවුන් ආහාර රැගෙන ආ පොලිතින් සහ පත්තර පිටු ඔවුන්ටම කැවීමට එම විදුහල්පතිවරයා ක්‍රියා කළ බවයි සඳහන් වන්නේ.

පොලිතින් සහ පත්තර ආහාරයට ගත් සිසුන් අතරින් දෙදෙනෙකු (2) උදරාබාධ, වමනය සහ උගුරේ අපහසුතා හේතුවෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අද (23) දිනයේදි පාර්ලිමේන්තුවේදිද අවධානය යොමු වු අතර, එහිදි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ එම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි ෴


විභාග ප්‍රතිඵල ගැන ලැබෙන අසුබ පුවත

(29.11.2023 – 11:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලේඛනවලට සමාන ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු කෑගල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙම වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන නිර්මාණය කළ පුද්ගලයෙකු සහ ඔහුට සහය වූ තවත් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 21 ත් 55 ත් අතර වයස්වල පසුවන හකහින්න, හෙට්ටිමුල්ල සහ අලපලාව ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැටලීමේදී ව්‍යාජ ප්‍රතිඵල ලේඛන තොගයක්, පරිගණකයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ඡායාරූප මුද්‍රණ යන්ත්‍රයක් සහ තඹ මුද්‍රාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

+

‘අද දෙරණ උකුස්සා’ට කොටු වූ ව්‍යාජ විභාග සහතික ජාවාරම

(29.11.2023 – 20:17 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලේඛන කූට ලෙස සකසන ස්ථානයක් පිළිබඳ ‘අද දෙරණ උකුස්සා’ ඊයේ (28) රට හමුවේ අනාවරණ කළේය.

‘අද දෙරණ උකුස්සා’ගේ අද (29) අනාවරණය එහි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකරගත් ආකාරය පිළිබඳවයි.

ජාවාරම සිදු කෙරුණේ කෑගල්ල, නිදහස් මාවතේ වෙළෙඳ සංකීර්ණයක් තුළයි.

විභාග අසමත් පිරිස් සමත් ලෙස සඳහන් කිරීමට රුපියල් 35,000 සිට 45,000 දක්වා මුදලක් අයකරමින් ජාවාරම්කරු ප්‍රතිඵල ලේඛන කූට ලෙස සකස් කරන බව ද එහි දී හෙළි විය.

ඒ අනුව අපි පළමුව අදාළ ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවකු දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත්තෙමු.

ඉන්පසු ව අප ඔහු ගේ දැනුම්දීම අනුව කෑගල්ල පොදු වෙළෙඳ සංකීර්ණය වෙත ගොස් ඔහු හමු වූ අතර, එහි දී ඔහු අප සතු මුදල් පෙන්වීමෙන් අනතුරු ව තැරැව්කරු, ව්‍යාජ ලෙස සකසන ලද සහතික පත්‍ර අප හට ලබා දුන්නේය.

අනතුරු ව ඔහු මෙම ජාවාරමේ ප්‍රධානීන් දෙදෙනා (2) හමුවීමට ගිය අතරතුර අපි මෙම ජාවාරම පිළිබඳ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දුන්නෙමු.

ඒ අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීහු සැකකරුවන් දෙදෙනා (2) මෝටර් රථයක් තුළ සිටිය දී අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

පසු ව ජාවාරමේ තැරැව්කරු ද පොලිස් අත්අඩංගුවට ගැනිණි.

අනතුරුව කූට ලේඛන සැකසීම සඳහා භාවිත කළ උපකරණ ද පොලීසිය සිය භාරයට ගත්තේය.

+


ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණෙයි

(29.11.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතියා අද (29) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව තහවුරුකොට සිටියා.

අධිකරණ නියෝගයකට අනුව පැය 48 ක් ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

+


මුහුදට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ දැරියක් බේරා ගනී

(29.11.2023 – 10:22 +0530 – hirunews.lk/sinhala)

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යාමේදී පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් පිරිසක් ඇය බේරා ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතය බේරා ගත් දැරිය වයස අවුරුදු 15 ක කොස්පැලෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කෙසේ වෙතත් මේ වන විට ඇයව ඇගේ මවට භාර දීමට කටයුතු කර ඇති අතර ඇය සියදිවි නසා ගැනීමේ අරමුණෙන් මුහුදට පැන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ෴


ජයගගට ඇදවැටුණු පුද්ගලයාගේ සිරුර කිරිඅමුණුකොලේ වැවෙන් හමුවෙයි

(29.11.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

එප්පාවල කිරිඅමුණුකොලේ පාලම අසලදී ජයගඟට ඇද වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුව තිබෙනවා.

53 හැවිරිදි එප්පාවල ඇදගල ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සිරුර හමුව ඇත්තේ කිරිඅමුණුකොලේ වැවේ තිබීයදීයි.

කිරිඅමුණුකොලේ පාලම අසල එක්රැස් වන කසල ඉවත් කිරීමට යාමේදී මොහු ජයගගට ඇද වැටී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා ෴


ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට භාරදෙයි

(29.11.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

1756 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගය වටලා රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ නෙදර්ලන්ත රජය විසින් ලක් රජයට නිල වශයෙන් භාරදුන්නා.

ඒවා කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කෙරෙන අතර, ලබන මස 05 වනදා සිට ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතිනවා.

මේවා අද (29) අලුයම 05:05 ට ජර්මනියේ ෆ්‍රෑන්ෆට් නුවර සිටයි මෙරටට රැගෙන එනු ලැබුවේ.

මෙම කෞතුක භාණ්ඩ භාර ගැනීමේ අවස්ථාවට විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ශ්‍රී ලංකා නෙදර්ලන්ත තානාපති ඇතුලු පිරිසක් එක්ව සිටියා.

ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව, රන් සහ රිදී කස්ථාන දෙකක් (2), පිහි, තුවක්කු දෙකක් (2) මෙලෙස ශ්‍රී ලංකාවට දුන් කෞතුක භාණ්ඩ අතර වනවා.

+


ඉතාලියේදී ජීවිත රැසකට ජීවය දී අවසන් ගමන් ගිය තරුණයා

(29.11.2023 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ඉතාලියේ සිසිලියා දූපතේ කතානියා නගරයේ පිහිටි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මොළේ මියගිය ශ්‍රී ලාංකිකයකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අක්මාව, පෙනහැල්ල සහ ඇස් දෙක ඇතුළු ශරීර අවයව ඒ රටේ සිටින රෝගීන්ට බද්ධ කිරීම සඳහා දන් දුන් පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඔහුගේ බිරිය මව හා සහෝදරයන් දෙදෙනාගේ කැමැත්ත මත මෙය සිදුකර ඇති අතර මෙසේ සිරුරු කොටස් ලබා ලබාගෙන ඇත්තේ වසර කිහිපය සිටි ඉතාලියේ රැකියාවක නියුතු ශමිල ප්‍රනාන්දු නම් අවුරුදු 35 ක තරුණයෙකුගෙන්.

ඔහු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඔහුගේ බිරිඳ කලක් ගුවන් හමුදාවේ රාජකාරි කර ඇති සෙබළියක් බවයි වාර්තා වෙන්නේ ෴


දියනෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

(29.11.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් අතුරුදන් වී තිබෙනවා.

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුවෙක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු ඊයේ (28) සවස මෙම අවාසනාවන්ත අත්දැකීමට මුහුණ දෙනු ලැබුවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ අවුරුදු 16 ක පාසල් සිසුවෙක් ෴


මත්ද්‍රව්‍ය ඡාවාරම් කළ 11 ක් කඩු සමග පෑලියගොඩදී අත්අඩංගුවට

(29.11.2023 – 08:03 +0530 – hirunews.lk/sinhala)

කලහකාරි ලෙස හැසිරුණු, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 11 දෙනෙකු කඩු 4 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) දහවල් පෑලියගොඩ පොලිස් වසම තුළ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකුද සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23 ත් 35 ත් අතර වයස්වල පසුවන අතර සැකාරියන් අවුරුදු 26, 46 සහ 47 යන වයස්වල පසුවන කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිණියන්.

පෑලියගොඩ ප්‍රදේශයේ දෙපිරිසක් අතර කාලයක සිට පවතින ආරවුල් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මෙම පිරිස අතරින් 07 දෙනෙකු පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත වාර්තා වී ඇති අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් සහ සැකකාරියන් මත්ද්‍රව්‍ය ජාවාරම පාදක කරගෙන කළහකාරි ලෙස හැසිරෙමින් නිරන්තරයෙන් ගැටුම් ඇති කරගන්නා පිරිසක් බවත් විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත මොවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතව සිටින බවටත් විමර්ශනවලදී අනාවරණය වුණා ෴


ගිනි රකුසාට පිළියමක් – පැය 6 ක් ගින්නෙන් ආරක්ෂාවෙන්න පුළුවන්

+


රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්

(29.11.2023 – 20:50 +0530 – hirunews.lk/sinhala)

පවතින බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අනාගතයේදී මෙරට රෝහල් පද්ධතිය සහ බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් කඩා වැටීමේ අවදානමක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

වෘත්තීකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් ඊයේ (28) පැවැත්වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ එම අදහස් පළ කළා.

මේ අතර රාජ්‍ය බැංකු විකිණීමට සහ අසාධාරණ බදු අය කිරීම්වලට එරෙහිව ලංකා බැංකු සේවා සංගමය අද (29) කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.

එසේම, නව ධීවර පනත මගින් ධීවරයින්ට මුහුදත් අහිමි කරන බව පෙරටුගාමි සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේ කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *