ශ්‍රී ලංකාවේ ළමුන් 50,000 කට අධික පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළේ

ශ්‍රී ලංකාවේ ළමුන් 50,000 කට අධික පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළේ


ශ්‍රී ලංකාවේ ළමුන් 50,000 කට අධික පිරිසක් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළේ

(10.10.2023 – 20:16 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උග්‍ර මන්ද පෝෂණ තත්ත්වය වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පවසා තිබෙනවා.

යුනිසෙෆ් සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ළමුන් 50,000 කට අධික සංඛ්‍යාවක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

මේ නිසා වයස අවුරුදු 5 ට අඩු ළමුන් සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් අප වාර්තායාකරු පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රදේශයේ වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැන වන අතර නිසි අස්වැන්නක් නොතිබීම දරුවන් මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළීමට හේතු වී ඇති බවයි.

+


2023 වර්ෂය සඳහා උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ

(10.10.2023 – 21:17 +0530 – hirunews.lk/sinhala)

2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

විභාගය සඳහා 3,42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

2024 ජනවාරි මස 04 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

[කාලසටහන – pdf file]


මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය පරීක්ෂා කිරීමට තානාපති කාර්යාලය ඊශ්‍රායල රජයෙන් අවසර ඉල්ලයි

(10.10.2023 – 21:42 +0530 – hirunews.lk/sinhala)

ගාසා තීරයේ ගැටුම්වලදී මියගිය බව කියන ශ්‍රී ලාංකික කාන්තාවගේ දේහය සොයාගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂාවන් සිදුකිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එතෙක් ඇය මියගියේද යන්න තහවුරු කළ නොහැකි බවයි තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී ඊට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර කියා සිටියේ.

ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර ගැටුම්වලට මැදි වී කඩවත ප්‍රදේශයේ 49 හැවිරිදි අනුලා රත්නායක නමැති අදාළ කාන්තාව සහ 48 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි බණ්ඩාර යටවර නමැති ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා පළ වුණා.

කඩවත කාන්තාව මියගිය බවටයි සමාජ මාධ්‍ය වාර්තා පළව තිබුණේ.

තම බිරිද මියගිය බවට විවිධ පුද්ගලයින්ගෙන් දැනුවත් කිරීම් ලැබුණු ද ඇයගේ සිරුර පිළිබදව මෙතෙක් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී නොමැති බවයි ඇයගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ වනවිට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින් 8000 ක් පමණ සේවයේ නිරත වනවා.

ශ්‍රී ලංකා – ඊශ්‍රායල සහයෝගිතා ව්‍යාපාරය අද (10) පෙරවරුවේ කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයට පෙත්සමක් ද භාර දුන්නේ ගැටුම් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.

ගැටුම්වලින් මේ වනවිට ඊශ්‍රායල පාර්ශ්වයෙන් 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් 7000 ඉක්මවා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය, සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ලකරන සෑම ගුවන් ප්‍රහාරයකටම ප්‍රතිචාර ලෙස හමාස් සංවිධානය තමන් ප්‍රාණඇපයට ගෙන සිටින ඊශ්‍රායල් ජාතිකයෙකු ඝාතනය කරන බවයි වාර්තා වන්නේ.

+


නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් යටවූ පහත්බිම්වල ජලය බැස යෑමට ප්‍රමාද වන්නේ ගඟ හරහා ඇති ලවණ බාධකය නිසයි

(10.10.2023 – 22:19 +0530 – hirunews.lk/sinhala)

වර්ෂා තත්ත්වය අඩු වුවද නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් යටවූ පහත්බිම්වල ජලය බැසයාමට ප්‍රමාද වී ඇත්තේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් බව එම ප්‍රදේශවාසීන් පවසනවා.

මේ අතර දකුණු පළාතේ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් පාසල් හෙට (11) සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

නිරිත දිග මෝසම සක්‍රීයවීම හේතුවෙන් මසකට ආසන්න කාලයක් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ රැසකට ඇදහැලුණු වර්ෂාපතනයේ යම් අඩුවක් මේ වනවිට වාර්තා වනවා.

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් යට වූ මාලිම්බඩ ප්‍රදේශයේ ජල මට්ටම මේ වන විට බැස යමින් පවතින නමුත්නි ල්වලා ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීමෙන් යටවූ දකුණු පළාතේ ඇතැම් පහත්බිම් වල තවදුරටත් ජලය බැස ගොස් නොමැති බව සඳහන්.

ඊට ප්‍රධාන හේතුව නිල්වලා ගඟ හරහා ඉදි කොට ඇති ලවණ බාධකය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එමෙන්ම මාතර, අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, බණ්ඩත්තර ආදී ප්‍රදේශ ද තවමත් පවතින්නේ ජලයෙන් යටවයි.

එම ප්‍රදේශවල ජනතාවට තවදුරටත් පිසූ ආහාර ලබා දීමේ කටයුතුද සිදු කෙරෙනවා.

මේ අතර දකුණ පලාතේ ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් පාසල්වල අධ්‍යන කටයුතු හෙට (11) සිට සුපුරුදු පරිදි ආරම්භ කිරීමට නියමිතයි.

අකුරැස්ස දියලපේ කන්ද නාය යෑමෙන් අවතැන් වූවන් රඳවාසිටින දියලපේ කණිටු විදුහලේ අවතැන් කඳවුරද ඊයේ (09) වසා දැමුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරින් යටවූ ඇතැම් පහත්බිම්වල ජලය තවමත් සම්පූර්ණයෙන් බැස ගොස් නොමැති බව අප වාර්තාකරු සඳහන් කොට සිටිනවා.

‍එමෙන්ම කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ විහාරකැලේ ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට පැය 4 ක පමණ බාධා මතුවුණා.

අධික වර්ෂාපතනය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් (2) විවෘත කර තිබෙනවා.

තවදුරටත් හදිසි වාන් දොරටු විවෘත කිරීම් සිදු කිරීමට ඉඩ ඇති බැවින් පහළ ප්‍රෙද්ශවල ජීවත්වන ජනතාව දැඩි විමසිලිමත්ව කටයුතු කළයුතු බවයි මහවැලි අධිකාරිය පවසන්නේ.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (10) රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ෴


බලධාරීන්ට නොපෙනෙන අපේක්ෂා රෝහලට අත්වූ අඳුරු ඉරණම

(10.10.2023 – 22:12 +0530 – sinhala.adaderana.lk)

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යකර්ම වලට ලක්වන ඇතැම් රෝගීන්ට කළුවරේ ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන්ට සිදුව ඇති බව ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු වාර්තාවිය.

මහරගම අපේක්ෂා රෝහල මෙරට එකම පිළිකා රෝහලය.

එහි කතාබහට ලක්ව ඇති මෙම නව ගොඩනැගිල්ල ඉදිවන්නේ රෝගීන්ගේ ශල්‍යකර්ම සහ නවාතැන් කටයුතු සඳහාය.

මෙම ගොඩනැගිල්ල ඉදිවන්නේ පිලිකා රෝගයකින් පෙළුණු සිය පුත්‍රයාට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් කෘතගුණ සැලකීමක් ලෙස බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ මූල්‍ය පරිත්‍යාගයෙනි.

ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව රෝගීන් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරවන මෙම ගොඩනැගිල්ලේ සිව්වන (4) වාට්ටුවේ ඇති අබලන් තත්ත්වය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවට ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ විය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ රෝහල් ගොඩනැගිල්ල වෙත ගියේය.

සිවිලිම සහ වහල අබලන් වීම නිසා වැසි දිනවලදී වාට්ටුවට ජලය කාන්දුවීම හේතුවෙන් රෝගීන්ට එහි රැඳී සිටීම පවා අපහසු වී තිබේ.

බරපතලම ගැවලුව වන්නේ, වාට්ටුවේ බිත්ති නිරන්තරයෙන් තෙත්ව පැවතීමත් සමග ඇතිවන විදුලි කාන්දුවීම් නිසා එහි විදුලි පංකා, විදුලි බුබුළු ආදිය නිරන්තරයෙන් ‍අක්‍රීය වීමය.

ඒ හේතුවෙන්, එවන් දිනවල ශල්‍යකර්මවලින් පසු වාට්ටුව වෙත එවන රෝගීන්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ අඳුරේය.

බලධාරින් මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගන්නා තුරු ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.

+


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

(11.10.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ප්‍රථම වතාවට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (10) ආරම්භ වුණා.

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය පැවැත්වෙනවා.

නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර අධිකරණය හමුවේ දේශනයක් ඉදිරිපත් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ 2019 වසරේ පාස්කු ඉරුදින ස්ථාන අටකදී එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විත්තිකරුවන් විසි පස් දෙනෙකුට (25) එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට පියවර ගත් බවයි.

නඩුවේ දාහත්වන (17) විත්තිකරු මියගොස් ඇති අතර ඒ අනුව විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන බවත් නඩුව චෝදනා වැඩිම සංඛ්‍යාවක් ඇතුළත් නඩුව වශයෙන් වාර්තා ගත වන බවත් ඇය සඳහන් කළා.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන්ට යුක්තිය ඉටු කිරීම අරමුණ බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියා.

ඉන් අනතුරුව අදාළ බෝම්බ ප්‍රහාර එල්ල වූ අවස්ථාවේදී කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආහාරපාන අංශයේ සේවය කළ අසංකා හංසමාලි නැමැති නිලධාරිනියක සාක්ෂි ලබා දුන්නා.

ඇය ප්‍රකාශ කළේ පිපිරීම සිදුවූදා පෙරවරු හයට (06:00) පමණ තමා ෂැංග්‍රිලා හෝටලයේ තිබෙන අවන්හලේ සේවයට වාර්තා කළ බවයි. එදින ‘ඊස්ටර් බ්‍රන්ච්’‍ යනුවෙන් විදේශිකයින් සඳහා විශේෂ ආහාර වේලක් පිළියෙල කර තිබූ බවත් ඇය සාක්ෂි දෙමින් කියා සිටියා.

තමා අමුත්තන් කැඳවාගෙන ගොස් අදාළ ස්ථානවල වාඩි කරන අවස්ථාවේදී අවන්හලේ සී සහ ඩී කොටස් අතර පළමුවන බෝම්බ පිපිරීම සිදුවූ බවත් ඇය පැවසුවා.

එම පිපිරීම සිදු වූ අවස්ථාවේ අවන්හල තුළ දැඩි අන්ධකාර ස්වභාවයක් ගෙන තිබූ බවත් ඉන් පසුව තමා සී කොටස කරා ඇදී යද්දී දෙවන (2) බෝම්බය පිපිරී ගිය බවත් ඇය කියා සිටියා.

පසුව එම ස්ථානයේ මස් කැබලි, අත් සහ පාදවල කැබලි විසිරී තිබෙන ආකාරයක් තමා දුටු බව ද ඇය සඳහන් කළා.

මෙම පිපිරීම් වලින් තම හිසට තුවාල වූ අතර තමා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ගත් බවයි ඇය කියා සිටියේ.

ඉන්පසුව විමර්ශන නිලධාරීන් පැමිණ තමන්ගේ ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ඡායාරූප දෙකක් (2) පෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කළ බවත් කී සාක්ෂිකාරිය එහි එක් (1) පුද්ගලයෙකු ‘සහරාන්’ බව සඳහන් කළා.

‘සහරාන්’ නැමැත්තා පිපිරීම සිදුවීමට පෙර තමා අසලින් ගමන් ගත් ආකාරය තමන් දුටු බවත් ඇය කියා සිටියා.

අනතුරුව වැඩිදුර සාක්ෂි විමසීම අද (11) දිනය තෙක් කල් තැබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොණුකර තිබෙනවා ෴

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *