මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි …

මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි …


මිනිස්සු මළමිනි කරන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට … හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි …

(05.10.2023 – 09:20 +0530 – lankacnews.com)

මිනිස්සු ඇවිදින මළමිනි කරවන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට පැමිණ ඇති බවත් ඒවා හෙරොයින් මෙන් 50 ගුණයක් භයානක බවත් වෛද්‍ය විරාජ් පෙරේරා මහතා පවසයි.

‘සොම්බි ඩ‍්‍රග්ස්’ යනු සතුන් නිර්වින්දනය කරන්න පාවිච්චි කරන බෙහෙතක් බවත් ඒ මහතා සදහන් කරයි.

මෑතකදී සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝවෙන් දැක්වුනේ එක්කෙනෙක් විතරක් වුවත් සමාජයේ කොතරම් පැතිරිලා ද කියලා කවුරුත් දන්නෙ නැතැයිද ඔහු කියා සිටී.

රට පාලනයකරන අය, නීතිය රකින අය මත්ද්‍රව්‍ය වලින් වාසි ලබන නිසා මත්ද්‍රව්‍ය වලට නිසි විසඳුමක් ගේන්න උනන්දුවක් නැති බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

+


සිවිලිම් විදුලි පංකාවක ගැටී දරුවෙක් මරුට

(05.10.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala)

පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ පැවති උත්සවයක් අවසන් වීමෙන් පසු පාසලේ ඉගෙනුම ලබන පිරිමි දරුවෙකු විදුලි පංකාවක ගැටී තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (04) මියගොස් තිබෙනවා.

මියගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක් වූ ඩෙල්ටා දකුණ කොටස, පුපුරැස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

එම පාසල් සිසුවා තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටියදී පංති කාමරයේ පුටුවක් ආධාරයෙන් මේසයක් මතට නැඟීමේදී සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවක් හිසේ ගැටී තුවාල වී ඇති බවයි පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය ගම්පොල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත අතර පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


විශ්වවිද්‍යාලවලට අයදුම්පත් භාරගැනීම අදින් (05) අවසන්

(05.10.2023 – 08:34 +0530 – hirunews.lk/sinhala)

2022 – 2023 අධ්‍යයන වර්ෂ සඳහා විශ්වවිද්‍යාල වලට අයදුම්පත් භාරගැනීම අදින් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

පසුගිය සැප්තැම්බර් 14 දින සිට සති තුනක (3) කාලයක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ කෙරුණු අයදුම්පත් භාර ගැනීම යළි දීර්ඝ නොකරන බව එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කළා.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මස 04 වන දින නිකුත් කෙරුණු අතර විභාගය සඳහා අයදුම්කරුවන් 263,933 දෙනෙකු පෙනී සිටියා.

ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටියා ෴


‘ගනේමුල්ල සංජීව’ සඟවා තැබූ පිස්තෝල අවි 2 ක් සහ මැගසින් 2 ක් සොයා ගනී

(05.10.2023 – 08:44 +0530 – hirunews.lk/sinhala)

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගනේමුල්ල සංජීව’ ලබාදුන් තොරතුරු අනුව, මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පිස්තෝල අවි 2 ක් සහ මැගසින් 2 ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘සංජීව සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ලේ සංජීව’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතට පත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

‘ගණේමුල්ල සංජීව’ නමැත්තා මේ වන විට වීරගුල පොලිසිය භාරයේ රඳවාගෙන සිටින අතර විමර්ශන කටයුතු සඳහා තම පුත්‍රයා වගඋත්තරකාර නිලධාරීන් යටතට මාරු කිරීමෙන් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවයි පෙත්සම්කාරිය ප්‍රකාශ කළේ ෴


යතුරු පැදිකරුවකුට දිවි අහිමි කළ මාරක අනතුර

(05.10.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කන්කසන්තුරේ මාර්ගයේ උපලුමඩම් ප්‍රදේශයේදී යතුරු පැදිකරුවකු මෝටර් රථයක දොරක ගැටීම නිසා සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෝටර් රථ රියදුරෙකු එක්වරම රථයේ දොර විවෘත කිරීමත් සමගම යතුරු පැදිකරු දොරේ හැපීම නිසා එම මරණය සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ලෝහරාසා ධර්මන් නැමති පෙදරේරුවා සේවය අවසන් කොට නිවසට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරෙන් පසුව පලා යාමට උත්සහ කළ මෝටර් රථයේ රියදුරුට අවට ජනතාව පහර දී ඔහු අල්ලා පොලිසියට බාර දී තිබෙනවා,

මියගිය අයගේ මළසිරුර යාපනයේ තෙලිප්පලෙයි රෝහලට පරීක්ෂණ කටයුතු සදහා බාර දී තිබෙන අතර මෝටර් රථය හා රියදුරු අත් අඩංගුවට ගත් චුන්නාකම් පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවතා ගෙන යන බවයි වැසිදුරටත් වාර්තා වෙන්නේ ෴


දුම්රිය වර්ජනය තවදුරටත් – කාර්යාල දුම්රිය ධාවනයට බාධා

(05.10.2023 – 07:14 +0530 – sinhala.adaderana.lk)

පහරදීමක් මුල් කරගනිමින් උප නියාමක දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අබියස දී උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශ නිලධාරියෙකු පහරදීමත් සමඟ උප නියාමකවරුන් ඊයේ (04) සිට ලෙඩ නිවාඩු වාර්තා කළේය.

ඒ අනුව ඊයේ (04) දිනයේ දුම්රිය ගමන් වාර 78 ක් පමණ අවලංගු කෙරුණු අතර තවත් දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරුණි.

කෙසේවෙතත් ඊයේ (04) දිනයේම පහරදීමට සිදුකළ ආරක්ෂක නිලධාරියාගේ වැඩතහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට කටයුතු කර තිබේ.

එහෙත් අදාළ පහරදීමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව දුම්රිය උප නියාමකවරුන් පවසයි.

මේ හේතුවෙන් උප නියාමකවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් සිදුකරන බව ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් මහතා පැවසුවේය.

“දැනට දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට සාකච්ඡා මට්ටමේ දෙයක් දීලා නෑ. උප නියාමකවරුන්ට ජීවිත තර්ජනයක් එල්ල විය හැකියි කියන සැකය නිසා තමයි ඒ අය අසනීප නිවාඩු වාර්තා කරලා තියෙන්නේ. පුළුවන් තරම් කටයුතු කරන්නේ මේ අයව ගෙන්නා ගෙන සර්විස් එක දෙන්න තමයි. ඒක තාම තහවුරු වෙලා නෑ එහෙම තත්ත්වයට යනවා කියලා. තාම සාකච්ඡා කරලා නෑ ඒ ගැන. ඒ හිටපු ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට අරගෙන නෑ. වැඩතහනම් කරලා තියෙනවා. ඒ වෙලාවේ තව හතර පස්දෙනෙක් උපනියාමක නිලධාරියාව බිම පෙරළාගෙන තදින් පහරදීලා තියෙනවා. ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා තමා මේ අය කියන්නේ. ඔවුන්ව හඳුනාගත්තේ නෑ කියලා තමා දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ.”

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන් විශාල පිරිසක් ඊයේ (04) දිනයේ දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

ඇතැම් දුම්රිය ස්ථානවල දී දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීම් ද වාර්තා වු බව ‘අද දෙරණ’ වාර්තාකරුවන් සඳහන් කළේය.

මේ අතර උප නියාමකවරුන්ගේ අසනීප නිවාඩු වාර්තා කිරීම් හේතුවෙන් අද (05) දිනයේත් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කාර්යාල දුම්රිය කිහිපයක් ද අද (05) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවනු ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් මගී ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයෙන් දුම්රිය ධාවනය සිදුකිරීමට උත්සාහ කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴

+++++++++

දුම්රිය වර්ජනය අවසන්

(05.10.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් දුම්රිය නියාමක සංගමය තම වර්ජනය අත්හිටුවා තිබෙනවා.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු දුම්රිය නියාමකයින් පිරිසක් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් අද (05) දිනයේත් කාර්යාල දුම්රිය ධාවනය අවලංගු වීම සහ ප්‍රමාද වීම් සිදුවිය හැකි බවයි මීට පෙර අවස්ථාවකදී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ ෴

+


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටි මෝටර් රථය මතට ගේට්ටුවක් කඩා වැටෙයි

(05.10.2023 – 11:22 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ ඊට පෙර අවස්ථාවකදීත් මෙවැනිම සිදුවීමක් වී තිබීම බවයි ප්‍රභූ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කොට සිටියේ.

එම අවස්ථා දෙකේදීම එම මුදල් ගෙවීමේ කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද? නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බලන බව ප්‍රභූ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් ප්‍රකාශ කොට සිටියා.

කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ (04) පෙරවරුවේදීය ෴


අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 48,000 කට අධික පිරිසකට පීඩා

(05.10.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

අධික වැසි හේතුවෙන් රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, මාතර සහ ගාල්ල ඇතුලු දිස්ත්‍රික්ක 12 ක පවුල් 12,120 කට අයත් පුද්ගලයින් 48,821 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම එම දිස්ත්‍රික්කවල නිවාස හානි 689 ක් වාර්තා වී ඇති අතර ඉන් 686 ක්ම අර්ධ හානි සිදු වී ඇති අතර බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක දොළහේ ස්ථාන 10 ක පවුල් 220 කට අයත් පුද්ගලයින් 930 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙට අයත් තැන්තපිටිහේන උස්කදු සහිත ගම්මානයේ නිවාස 21 ක පුද්ගලයින් 74 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන සඳහා යවා තිබෙන බව සඳහන්.

අද (05) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 65.2 ක් වාර්තා වී ඇති අතර ඒ කටුනායක ප්‍රදේශයෙන්.

මෙලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (05) දිනයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ නිල්වලා ගඟ, තල්ගහගොඩ සහ පානදුගම ප්‍රදේශවලින් ඉහළ යමින් පවතින බවයි ෴

++++++++

ගංවතුර අනතුරු ඇඟවීම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

(05.10.2023 – 11:47 +0530 – sinhala.adaderana.lk)

ගංගා 4 ක් ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ගිං ගඟ, කුඩා ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය, අත්තනගලු ඔය සහ නිල්වලා ගංගා ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවදානම තවදුරටත් බලපැවැත්වේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට කල්පනාකාරීව ගමන් කරන ලෙසත් විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට වඩාත් සැලකිලිමත් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

+


‘ඉමා’ STF අත්අඩංගුවට

(05.10.2023 – 11:01 +0530 – sinhala.adaderana.lk)

‘ගණේමුල්ල සංජීව’ගේ ගෝලයෙකු වන ඩුබායි හි සැඟව සිටින ‘කළණ’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු තරුණියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‘ඉමා’ නැමති එම කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 490 ක් ද සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.

ඇය විසින් දුනුමාල ප්‍රදේශයේ හා මීගමුවේ දී වෙඩිතැබීම්වලට අදාළව ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (04) රාගම පොලිස් වසමේ, කුරුකුලාව, රාගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබුණි.

එඩේරමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන ‘ඉමා’ නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලබන මෙම කාන්තාව අත්අඩංගුවට පත්ව ඇත.

සැකකාරියව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ ෴


බයිපාස් එකත් කරලා කැන්සර් එකත් පරාද කරලා අද මම කොල්ලා වගේ – සෝමසිරි මැදගෙදර – SUDAA STUDIO (05.10.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *