මුලතිව් දිසා විනිසුරුට සැබවින්ම ජීවිත තර්ජන තිබුණේ ද යන්න ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්

මුලතිව් දිසා විනිසුරුට සැබවින්ම ජීවිත තර්ජන තිබුණේ ද යන්න ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්


මුලතිව් දිසා විනිසුරුට සැබවින්ම ජීවිත තර්ජන තිබුණේ ද යන්න ගැන සොයන්න ජනපතිගෙන් උපදෙස්

(30.09.2023 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවනරාජා ජීවිත තර්ජන ඇති බව පවසමින් සිය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී තිබෙනවා.

‘හිරු’ කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ, ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මුලතිව් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවනරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් පසුගිය 23 වන දා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කර තිබුණේ, සිය අත්සන සහ නිල මුද්‍රාව ද සහිතවයි.

මෑත කාලයේ වඩාත් කතාබහට ලක් වූ නඩු කටයුතු කිහිපයක්ම විභාග වූයේ ටී. සරවනරාජා ඉදිරියේයි.

මුලතිව්, කුරුන්දි විහාරය සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේ විභාග කෙරෙන නඩුවේ මෙන්ම, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මූලික පරීක්ෂණවල විනිසුරුවරයා ලෙස ද ඔහු කටයුතු කළා.

මෙවන් පසුබිමක සිය ධුරයෙන් ඉල්ලා අස් වූ ටී. සරවනරාජා මීට සතියකට පමණ පෙර කොළඹ ප්‍රදේශයට පැමිණ සිය මෝටර් රථය ද විකුණා ඇති අතර, ඔහු බටහිර රටවල තානාපතිවරුන් දෙදෙනෙකු (2) හමු වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ, තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් නොදී ඉල්ලා අස් වී තිබීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ටී. සරවනරාජා පසුගිය 24 වන දා අලුයම 3 ට පමණ සහජා බලා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර, අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබුණේ ඊට පෙර දිනයේදීයි.

මේ අතර තමන්ව වගඋත්තරකරුවෙකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙසට ටී. සරවනරාජා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පසුගිය 14 වන දා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිට තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය 15 වන දා අදාළ ලිපිය නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර, ඒ අනුව, සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි නීතිපතිවරයා පවසා ඇත්තේ.

ජනාධිපති ලේකම් කාර්යාලය කළ විමසීමකදී නීතිපතිවරයා පවසා ඇත්තේ, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයින් තිදෙනකු (3) ඉදිරියේ මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවනරාජා සමඟ නීතිමය කටයුතු සාකච්ඡා කළ බවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටිමින් අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම වැරදි බවට දැනුම් දීමට කතා කර ගත් බව ද නීතිපතිවරයා ජනාධිපති කාර්යාලය වෙත දැනුම් දී තිබෙනවා.

මීට අමතරව, ටී. සරවනරාජා තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් සමග සමීපව ගනුදෙනු කර ඇති බව ද බුද්ධි අංශ විසින් ජනාධිපති කාර්යාලය වෙත වාර්තා කර ඇතැයි වාර්තා වනවා.

මෙවන් පසුබිමක ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත්තේ, සත්‍ය වශයෙන්ම ටී. සරවනරාජාට මරණ තර්ජන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසටයි.

ඒ අනුව, ටී. සරවනරාජාගේ ප්‍රකාශ පදනම් කරගෙන මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවා ෴


ගල්කිස්සේ දී එල්ල කළ පිහි පහරකින් පුද්ගලයකු මරුට

(29.09.2023 – 21:44 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා (2) පසුපස හඹා ගිය පෙදරේරුවෙකුට සොරෙකු විසින් පිහියකින් ඇණ ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය වාර්තා කරයි.

සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, මොනරාගල, නමුණුකුල පදිංචි ව සිටි කේ.එම්. ධනුෂ්ක රුවන් කුමාර නැමැති දෙදරු පියෙකි.

ගල්කිස්ස, බොරුපණ පැරකුම් මාවතේ ඉදි කරමින් පවතින නිවසක පෙදරේරුවන් දෙදෙනෙකු (2) එම භූමියේ වාඩියක නිදාගෙන සිටිය දී ඊයේ (28) පුද්ගලයන් දෙදෙනකු (2) වාඩියට ඇතුළු වී ජංගම දුරකථනයක් සොරාගෙන තාප්පෙන් පැන පළා යාමේ දී පෙදරේරුවන් දෙදෙනා ඔවුන් දෙදෙනා පසුපස හඹා ගොස් තිබූ බව පොලීසිය පවසයි.

මිටර් 100 ක පමණ දුරක් හඹායාමේ ගොස් පෙදරේරුවන් දෙදෙනා සොරුන් දෙදෙනා අල්ලා ගෙන තිබූ අතර, එහි දී එක් සොරකු විසින් සඟවා ගෙන සිටි උල් පිහියකින් පෙදරේරුවකු ගේ පපුවට ඇන ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

අනතුරු ව සොරා ගත් ජංගම දුරකථනය ද එම ස්ථානයේ අත්හැරදැමූ සොරුන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සඳහන්ය.

අනෙක් පෙදරේරුවා විසින් කොන්ත්‍රාත්කරුට මේ බව දුරකථනය හරහා දැනුම් දී ඔහු පැමිණ තුවාල ලබා සිටි පෙදරේරුවා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ නමුත් එහි දී ඔහු මියගොස් තිබිණි.

සොරකමට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට ලැබී ඇති අතර, ඔවුන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත ෴


සිඟිති දරුවා ඇකයේ හොවාගෙන මත් කුඩු පානය කළ 25 හැවිරිදි මව

(30.09.2023 – 18:17 +0530 – hirunews.lk/sinhala)

බොහෝ නගරවල ස්ථාපිත කර ඇති විවිධ බැංකුවලට අයත් ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ආශ්‍රිතව මුදල් ගණුදෙනු කරන පාරිභෝගිකයින්ගෙන් මුදල් සිඟමනේ යෙදෙන යාචකයින් අපට හුරුපුරුදු දර්ශනයක්.

එසේ ATM යන්ත්‍ර ආශ්‍රිතව රැඳි සිටිමින් සිඟමනේ යෙදෙමින් එම මුදල් වලින් මත් කුඩු භාවිතා කරන කාන්තාවක් ඊයේ (29) හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 25 ක කාන්තාවක් වන මැය පොල්ගස්ඕවිට පාලමගම ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇගේ මාස 8 පමන වයස පිරිමි දරුවාද ඇගේ ඇකයේ සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

මැය මීට දස (10) මසකට ඉහතදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි රූපලාවන්න්‍යාගාරයක සේවය කර ඇති අතර එහි සේවය කරන කාලය අතරතුර එම රූපලාවන්න්‍යාගාරය හිමි කාන්තාව සමග මත්කුඩු පානයට හුරුවී ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත් කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය දිනකට පැය තුනක (3) කාලයක් මෙසේ සිඟමන් යෙදීමෙන් රුපියල් 2500 ක පමණ මුදලක් උපයා ගන්නා බව ප්‍රකාශ කළා.

එම මුදලින් දිනකට දෙවරක් (2) මත් කුඩු භාවිතා කරන බවත් එක් වරකදී මත්කුඩු සඳහා රුපියල් 600 ක මුදලක් අවශ්‍ය වන බවත් ඒ අනුව දිනකට මත් කුඩු සඳහා පමණක් රුපියල් 1200 ක මුදලක් ඇය වැය කරන බව කියා සිටියා.

ඇය අතුළු 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස ATM යන්ත්‍ර ආශ්‍රිතව සිඟමන් යෙදීමේ නිරත වන බව ඇය ප්‍රකාශ කර තිබුණා.

තම දරුවා ලැබීමට සිටි අවදියේදී ඇගේ ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කළේ.

සැකකාර කාන්තාව අද (30) හොරණ වැඩබලන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


ප්‍රතිශක්තිකරණ එන්නත් කුප්පි විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්

(30.09.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ප්‍රතිශක්තිකරණ එන්නත් කුප්පි 22,500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ මෙලෙස විනාශ කළ එන්නත් කුප්පි තොගයේ වටිනාකම රුපියල් කෝටි දහසක් (1000,00,00,000) පමණ වන බවයි.

මේ අතර ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ලොවට හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 46 වන ගුණ සමරුව මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම විසින් සංවිධාන කර තිබු අතර මෙහිදී වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද අදහස් පළ වු බවයි වාර්තා වන්නේ.

+


‘සීතා’ ඇතින්නට වෙඩි තැබු නිලධාරියාට ඇප

(30.09.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය රජමහා විහාරයේ පෙරහැරට ගෙනා ‘සීතා’ ඇතින්නට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මාපාකඩවැව වනජීවී කාර්යාලයේ සිවිල් ආරක්ෂක නිලධාරියා ඇප මත මුදාහැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අත්අඩංගුවට ගත් නිලධාරියා මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු බවයි.

පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතාට අද (30) අලුයම මෙසේ වෙඩි තැබීමක් සිදු කර ඇති බවට සඳහන්.

+++++++++

+


ස්වර්ණාභරණ සොරාගත් ගුවන් සමාගම් ආරක්ෂකයෙකු අත්අඩංගුවට

(30.09.2023 – 16:26 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගතවීමට පැමිණෙන මගීන්ගේ ගමන්මලු‍ තුල තිබෙන ස්වර්ණාභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන්සේවා සමාගමේ ආරක්ෂක නිලධාරියෙකු ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ස්කෑන් යන්ත්‍ර පරීක්ෂා කරන 29 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු සිය රාජකාරිය අතරතුර මෙම සොරකම් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණ වී ඇත්තේ ඔහු විසින් සොරා ගන්නා ලද ස්වර්ණාභරණ මීගමුවේ ස්වර්ණාභරණ ආයතනයකට විකුණා ඇති බවයි.

එසේම, මොහු විසින් උකස් කර තිබූ රන් මාලයක්, කුඩා මුද්දක් සහ තවත් කුඩා මුදු 2 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


කළු, කැලණි ගංගා ප්‍රචණ්ඩ වෙයි: අයහපත් කාලගුණය තවත් සතියක්

(30.09.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි තත්ත්වය හමුවේ කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, ඊයේ (29) සිට ජලය ඉහළ යමින් පැවැති කැලණි ගඟේ ජල මට්ටම අද (30) අලුයම තවත් ඉහළ ගොස් ඇති බැවින් ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් කළු, ගිං, නිල්වාලා මෙන්ම අත්තනගලු ඔයේ ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

කැලණි ගඟේ ජල මට්ටම ද ඊයේ (29) දින සිට ඉහළ යමින් පැවැති අතර අද (30) අලුයම 03:30 වන විට නාගලගම් වීදියේ ජල මාපකය අඩි 4.10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ජල මාපකය අඩි 5 ඉක්මවූවොත් එය සුළු ගං වතුර තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

ඒ අනුව, ඒ අවට ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහාගංවතුර තත්ත්වයක් දකවා වර්ධනය වී තිබෙනවා.

ඊට අමතරව කළු ගඟ පුටුපාවල, ඇල්ලගාව සහ රත්නපුර යන ප්‍රදේශවලින් ද ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ හේතුවෙන් රත්නපුර සහ මගුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක ඇළපාත, කරන්ගොඩ, ගිනිහිරිය යන ප්‍රදේශ ද ජලයෙන් යටව තිබුණා.

අත්තනගලු ඔය ද දූනමලේ ප්‍රදේශයේ මේ වන විට පිටාර ගලා තිබෙන අතර සුළු ගංවතුර මට්ටමක් දක්වා එය වර්ධනය වී තිබෙනවා.

මේ අතර, නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් අකුරැස්ස, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බවයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ.

ගංවතුරෙන් මේ වන විට දැඩි බලපෑමක් එල්ල වී ඇති අකුරැස්ස ප්‍රදේශයේ ජානදුගම, පෝරතොට, බලකාව, අතුරලිය සහ තිබ්බටුවාව මාකඳුර නෙටොල්පිටිය යන ප්‍රදේශ ද ජලයෙන් යටව තිබුණා.

කිරම ආර පිටාර ගැලීමෙන් වරාපිටිය වැවේ ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවුණා. ඒ හේතුවෙන් දම්මුල්ල තංගල්ල ප්‍රදේශ ද ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ.

ගිංගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද (30) උදෑසන මීටර් 4.75 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව බද්දේගම ප්‍රදේශයේ මාර්ග සහ පහත් බිම් ද ජලයෙන් යටවුණා. උඩුගම, නාගොඩ, මාපලගම සහ උනන්විටිය ප්‍රදේශවල තත්ත්වය ඒ ආකාරයෙන්මයි වාර්තා වුණේ.

මේ අතර, බණ්ඩාරගම අටලුගම, කිම්මන්තුඩාව සහ කොලමැදිරිය මාර්ගය ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා.

අධික වැසි තත්ත්වය හේතුවෙන් කොලොන්නාව ප්‍රදේශ කිහිපයක් ද ජලයෙන් යටව තිබුණා.

දිස්ත්‍රික්ක 7 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් ද තවදුරටත් ක්‍රියාත්මකයි.

ගාල්ල, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහායි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ රැසක ජල මට්ටම් මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ අනුව, මාවුස්සාකැළේ ජලාශයේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර එය පිටාර මට්ටමට පැමිණීමට තවත් ඇත්තේ අඩි 10 ක් පමණක් බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *