වනවාසල දුම්රිය අනතුර : ඇණ ගැලවූ පුද්ගලයාගෙන් පසු මිලදී ගත් අයත් අත්අඩංගුවට

වනවාසල දුම්රිය අනතුර : ඇණ ගැලවූ පුද්ගලයාගෙන් පසු මිලදී ගත් අයත් අත්අඩංගුවට


වනවාසල දුම්රිය අනතුර : ඇණ ගැලවූ පුද්ගලයාගෙන් පසු මිලදී ගත් අයත් අත්අඩංගුවට

(17.05.2026 – hirunews.lk)

කැලණිය සහ වනවාසල අතර දුම්රියක් පීලි පැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන්, දුම්රිය මාර්ගයේ කොටස් ගලවා අලෙවි කිරීමේ සිද්ධියේ අදාල මිලදී ගැනීම් සිදු කළ පුද්ගලයාත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මේ බව සඳහන් කළා.

මීට අමතරව, අනතුර සිදු වූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයෙකු ද පොලිසිය විසින් ඊයේ (16) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++

වනවාසල අනතුර ගැන නවතම හෙළිදරව්ව

(17.05.2026 – 13:56 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදු කරන රාත්‍රී මුර සංචාර සේවා කටයුතු මේවන විට නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවත් එම සේවාවාර වහාම නැවත යෙදවීමට කටයුතු කරන ලෙසත් ලොකෝමෝටිව් ඉංජිනේරු සංගම‍ය ඉල්ලීමක් කර ඇත.

එම සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා සඳහන් කළේ රාත්‍රී මුර සංචාර සේවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ඉදිරියේදී මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය.

එමෙන්ම දුම්රිය ධාවනයේදී රියදුරා විසින් නිරීක්ෂණය කර දක්වන කරුණු මත පාලක මැදිරිය හෝ වෙනත් අංශ සඳහා සිදු කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කරන මෙන් ඒ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර සිටී.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථම එම මාර්ගයේ ධාවනය වූ ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියේ රියදුරු විසින් වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් ඇති බවට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමක් කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ ලොකෝමෝටිව් ඉංජිනේරු සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා :

“පිලී පැනීමට ලක්වූ දුම්රිය ධාවනය වීමට ප්‍රථමයෙන් දුම්රියන් දෙකක් එතනින් ධාවනය වුණා. එතකොට ඊට ප්‍රථමයෙන්ම එතනින් ධාවනය වුණා අංක 84 දරන දුම්රිය. ඒ කියන්නේ, ත්‍රිකුණාමලයේ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය. එතකොට එම දුම්රියත්, එම දුම්රියේ රියදුරු මහතා එම වනවාසල අසල තිබෙන පාලන සංඥාවේ යම්කිසි දෝෂ තත්ත්වයක් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඒ සමඟ එයා ඒක එතන දුම්රිය නවත්වල ඒ පිළිබඳව දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම ඒ දැනුම් දීමට කටයුතු කිරීමෙන් පසුව, එතනින් ලැබුණු උපදෙස් මත තමයි ඉදිරියට දුම්රිය ධාවනය කරලා තියෙන්නේ. ඊට පසුව පැමිණි කන්කසන්තුරේ සිට පැමිණි රාත්‍රී තැපැල් දුම්රියත්, අර දුම්රිය කලින් පැමිණි දුම්රියේ ප්‍රමාදය මත වනවාසල දුම්රිය ස්ථානය අසල සංඥාවේ, පාලන සංඥාවේ නතර කරලා තමයි ධාවනය කරලා තිබෙන්නේ. ඊට පසුව පැමිණි අංක 507 දරන දුම්රිය තමයි මේ අනතුරට ලක්වුණේ. එතකොට එම දුම්රියත් එම දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය කරලා තියෙන්නේ.

ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ කසළංගනයට යොදා තිබෙන ප්‍රධාන මාර්ගය සමඟ යොදා තිබෙන ‘පයින්ටුව’ (Point) යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිද්ධ වෙච්ච දෝෂයක් හේතුවෙන්. මෙහිදී ඇත්තටම අපිට සංගමයක් විදිහට ඉල්ලන්න තියෙන්නේ, දැන් මේ මීට කලින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී මුර සංචාරය සඳහා යොදවා තිබුණු, මාර්ග කර්මාන්ත අංශයෙන් යොදවා තිබුණු ඒ මුර සංචාර සේවා කටයුතු දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ කටයුතු ඉදිරියේදී මේ වැනි අනතුරු වළක්වා ගැනීමට එම, ඒ සේවා වාර වහාම යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම මෙම දුම්රිය ධාවනයේදී දුම්රිය රියදුරා විසින් දකින සහ එයා නිරීක්ෂණය කරලා දක්වන කරුණු සහ ඒ නිරීක්ෂණය කරන දේවල් මත දුම්රිය පාලක මැදිරිය හෝ වෙනත් අංශ කරන දැනුවත් කිරීම් පිළිබඳව නිසි බරකින් යුතුව කටයුතු කරන්න කියන ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.”

+++

+++

+++

දුම්රිය මඟේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රු. 3,000 ට බව හෙළිවෙයි

(17.05.2026 – 11:26 +0530 – sinhala.adaderana.lk)

වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රුපියල් 3,000 ක මුදලකට වන බවත් එම කොටස් මිලදී ගත් ස්ථානය හඳුනාගෙන එහි අයිතිකරු ද අත්අඩංගුවට ගත් බවත් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව භාණ්ඩ මිල දී ගත් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25 ක් වන තරුණයෙකු වන බව ද කාලිංග ජයසිංහ මහතා සඳහන් කළේය.

වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙහි විමර්ශන කටයුතු දිගින් දිගටම සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

පොදු දේපලවලට හානි සිදු කිරීමට අමතරව මෙම අනතුරින් සිදු වූ හානිය හා අලාභ‍ය සම්බන්ධයෙන් ද අදාළ පුද්ගලයින්ට නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මෙහිදී පැවසීය.

මෙම කොටස් ගලවා විකිණීමෙන් ලැබෙන්නේ සුළු ලාභයක් වුවද මෙවැනි සිදුවීම් හරහා රු. මිලියන ගණනක හානියක් සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සොරකම් කරන ලද පොදු දේපල දැනුවත් භාවයෙන් යුතුව මිලදී ගැනීම සම්බන්ධයෙන් ද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයාට ද නඩු පවරන බවය.

මාධ්‍ය හමුවට එක් වූ බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා :

“සොරකම් කිරීම හා සොරකම් කරන ලද භාණ්ඩ සන්තකයේ තබා ගැනීම යන කරුණු ද්විත්වය සම්බන්ධයෙන්ම නඩු පැවරිය යුතුයි.. මෙවැනි මිලදී ගැනීම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා.. සමහර වෙලාවට සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගැනීමක් කරලා ඒ අයට අධිකරණයෙන් නඩු පැවරුවට පස්සේ එක්කෝ වැරදිකාරයෙක් වෙනවා නැත්තම් ඇප ලබා දීලා පැමිණීමේ හැකියාව තියෙනවා ඒක නීතිය.. නමුත් අපි අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීමේ කටයුතු කරනවා.. මේ සිදුවීමේ දී නම් සිදු වූ දේපළ හා ජීවිත හානි පිළිබඳවත් නඩු පවරන්න ක්‍රියා කරනවා..”

+++

+++


2026 වසරේ ඡන්දය ලියාපදිංචි කිරීම ගැන දැනුම්දීමක්

(17.05.2026 – 13:31 +0530 – sinhala.adaderana.lk)

2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ.

ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයෙහි, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01 ට පෙර උපන් අය තම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඒ බව විමසීමක් සිදු කළ යුතුය.

ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කර ගන්නා ලෙසට කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකිය ෴


දිට්වා වන්දි මුදල් ගෙවීමේදී වංචා රැසක් – වන්දි ලබා දීමට කොමිස් මුදලකුත් අරන්

(17.05.2026 – 12:58 +0530 – sinhala.adaderana.lk)

දිට්වා ආපදා වන්දි මුදල් ලබා දීමේදී මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිලධාරීන් කිහිප දෙනෙකු සිය වන්දි මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීම ඇතුළු වංචා රැසක් සිදුකළ බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල වී තිබේ.

ඇතැම් පිරිස් චෝදනා කරනුයේ ආපදා වන්දි මුදල් තමන්ට හිමි වුවද එම මුදල් ලබා ගැනීමේදී කොමිස් මුදලක් ලබා දිය යුතු බවට එම නිලධාරීන් පවසන බවය.

මෙම වංචාව සම්බන්ධවට සම්බන්ධ ආපදා සහන සේවා නිලධාරියා පිලිබඳව එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් චෝදනා කරමින් පැවසුවේ තමන් ආපදා මුදල් ලබා ගැනීමේදී රුපියල් ලක්ෂයක (100,000) කොමිස් මුදලක් ඔහු විසින් ලබා ගත් බවය.

“මට අප්‍රේල් 20 වැනිදා රු. ලක්ෂ 20 ක චෙක් එකක් හම්බුණා. ඊට ඉස්සර AG ඔෆිස් එකේ සුමිත් මහත්තයා අපදා එකේ සර් කෙනෙක් එක්ක ඇවිල්ලා කිව්වා චෙක් එකක් තියෙනවා ගන්න එන්න කියලා. අප්‍රේල් 20 චෙක් එක දුන්නාට පස්සේ මට කිව්වා යන්න එපා ඉන්න කියලා. බැංකුවට ගියා; චෙක් එක අතේ තියාගෙන ගියෙත් එයා. බැංකුවෙදි රෝසපාට කොළයක් පුරවන්න දුන්නා. මගෙන් ඇහුවා කීයක් ගන්නවාද කියලා මම කිව්වා ලක්ෂ 10 ක් ගන්නවා කියලා. එයා කිව්වා ලක්ෂ 10 ක් ඕනේ නෑ ලක්ෂ 6 ක් ඇති කියලා. මම සල්ලි අරන් දොර ගාවට එනකොට එයා ඇවිල්ලා කිව්වා ‘ගන්නකෝ ඔය සල්ලි, බලන්න මගේ එකත් තියෙනවා’ කියලා මම ඇහුවා ඔයාගේ එකක් මේකට කොහෙන්ද කියලා. රබර් බෑන්ඩ් එකේ දාලා තිබුණ රු. ලක්ෂයක් වෙනම ගත්තා. මේක තමයි මගේ කොමිස් එක කියලා සාක්කුවේ දාගෙන ගියා.”

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ පොලීසියට පැමිණිලි කර ඇති අතර අදාළ පැමිණිලි ලද බවට ලද තොරතුරු අනුව අදාළ ආපදා නිලධාරියා සඳහන් කර ඇත්තේ තමන් ගත් මුදල් නැවත ලබා දීමට සූදානම් බැවින් පැමිණිල්ල ඉවත් කරගන්නා ලෙසය.

“සුමිත් ස’රුයි එයාගේ යාලුවෙකුයි ගෙදරට ආවා ඇවිත් කිව්වා ‘නැන්දා මෙයාගේ වැඩ තහනම් වෙනවා සල්ලි ගත්තේ නෑ කියන්න. කොට්ටේ යට තිබ්බා කියන්න, සිහි කල්පනාව නෑ කියන්න, මෙට්ටේ යට තිබ්බායි’ කියන්න කියලා මෙයාලට ඉගැන්නුවා. මට කිව්වා ‘හෙට ගිහිල්ලා පැමිණිල්ල අයින් කරන්න’ කියලා.”

එමෙන්ම මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් මදුරුකැටිය ග්‍රාම නිලධාරිවරයා ද ආපදා වන්දි මුදල් හිමි පුද්ගලයින්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවටද මේ වන විට අනාවරණය වී තිබේ.

“රු. ලක්ෂ 50 ක් පාස් කරනවා කියලා ලක්ෂ 10 ක් අපෙන් ඉල්ලුවා. ග්‍රාම සේවක මහත්මයා වෙනුවෙන් ගමේ ඉන්න පුද්ගලයෙක් ඇවිත් ඉල්ලුවේ. අපිට ලැබුණේ දෙලක්ෂ අසූ නමදහස් හැත්තැ පහක් (2,89,075). ඒකෙනුත් පනස්දහක් (50,000) ඉල්ල ගත්තා. ඒක දුන්නේ නැත්නම් අනිත් කොටස පාස් කරන්නේ නෑ කිව්වා. ඒක ගත්තෙත් ග්‍රාමසේවකට දෙන්න ඕනේ කියලා තමයි ගත්තේ.”

“ගෙවල් කැඩුණු කට්ටියගේ ගෙදරටත් ලක්ෂ 50 ක් දීලා තියෙනවා නැති ගෙවල්වලටත් ලක්ෂ 50 ක් දීලා තියෙනවා. හොඳට තියෙන ගෙවල්වලටත් දීලා තියෙනවා. එයා හිතවත් කට්ටියට ලක්ෂ 50 ගානේ දීලා තියෙනවා එයාට කොමිස් එකක් තියාගෙන ලක්ෂ 50 ක් පාස් වෙච්ච කට්ටියට ලක්ෂ 10 ක් ඉල්ලා ගෙන තියෙනවා.”


දුරකථන රැහැන් කපා තඹ රැගෙන අලෙවිකරන ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.05.2026 – 11:55 +0530 – sinhala.adaderana.lk)

හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනයවන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ දුරකථන රැහැන් කපා ළග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහැන් කපා රැගෙන ගොස් පුලුස්සා ඒ තුල වූ තඹ රැගෙන අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් බවට සිදුකරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වූ බව පොලීසිය පවසයි.

පාරිභෝගිකයන් වෙත දුරකථන සම්බන්ධතා ලබාදීම සඳහා හැටන් සිට නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවලට ඇද තිබූ විශාල දුරකථන රැහැන් කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති බවට හැටන් ටෙලිකොම් ආයතනයේ නිළධාරීන් විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලද තොරතුරක් මත හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් හැටන් මූලස්ථාන ප්‍රධාන පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස මහතාගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් පදිංචි නෝර්වුඩ් අපකට් ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදී නිවස තුල සැකකරුවන් විසින් කපා සඟවා තිබූ රු. ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකථන රැහැන් සහිත කේබල් ගණනාවක් පොලිස් නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51 සහ 28 යන වයස්වල පසුවන අය බවත්, එම සැකකරුවන් දුරකථන රැහැන් උණුකර ලබා ගන්නා තඹ කිලෝවක් රු. 2500 කට අලෙවි කර ඇති බවට කරුණු අණාවරය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය ෴


ත්‍රීරෝදරථ රියදුරෙකුට පහරදී මුදල් කොල්ලකෑ කොස්තාපල්වරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(17.05.2026 – 11:11 +0530 – sinhala.adaderana.lk)

ත්‍රීරෝදරථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයකුට පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 380,000 ක මුදලක් කොල්ලකෑ බව කියන ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ කොස්තාපල්වරු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ විවිධ පැමිණිලි අංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරු දෙදෙනෙකි (2).

රත්මලාන ගුවන්තොටුපොළ මාර්ගයේ ත්‍රීරෝදරථයක් පදවාගෙන යමින් සිටි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) මඟ හරස්කර තමා සන්තකේ තිබූ රුපියල් 380,000 ක මුදලක් කොල්ලකෑ බව ඉකුත් 15 වෙනි දින මොරටුව අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනා (2) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එකී මුදල් සීට්ටු මුදල් බවට ලද පැමිණිල්ල සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිදුකළ දීර්ඝ විමර්ශනවලදී එම මුදල් විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ‘කුඩු අංජු’ නැමැත්තාට අයත් ඒවා බවත් පැමිණිලිකරු එකී මුදල් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම කොල්ලය සිදුවී ඇති බවටත් අනාවරණය වු බව පොලීසිය පැවසීය.

සැකකාර පැමිණිලිකරුට එකී මුදල් ලබාදුන් බව කියන මොරටුව අඟුලාන සමුද්‍රාසන්න මාවත පදිංචි කාන්තාවකගෙන් ද ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී ඇයද සීට්ටු මුදල් බවට ප්‍රකාශ කළද එය තහවුරු කිරීමට නොහැකි වූ බවත් එකී මුදල් මත්ද්‍රව‍්‍ය ජාවාරමෙන් උපයාගෙන ප්‍රවාහනය කරමින් සිටි ඒවා බවට අනාවරණය වීමෙන් අනතුරුව එම කාන්තාවද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

55 හැවිරිදි එම කාන්තාව රත්මලාන ‘කුඩු අංජු’ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන මීට පෙරද ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් තැනැත්තියක් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *