උගතුන් රට පනිද්දී කොළඹ සරසවිය අලුත් ඖෂධ හදා ලාබ උපයයි..

උගතුන් රට පනිද්දී කොළඹ සරසවිය අලුත් ඖෂධ හදා ලාබ උපයයි..


උගතුන් රට පනිද්දී කොළඹ සරසවිය අලුත් ඖෂධ හදා ලාබ උපයයි..

(29.09.2023 – 11:20 +0530 – lankacnews.com)

වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන වාණිජ නිෂ්පාදන වෙළඳපොළට ලෙස එළිදක්වමින් සාර්ථක ආදායම් උත්පාදනයට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ඒ සඳහා එම විශ්වවිද්‍යාලය තුළ විශ්ව විද්‍යාලය සහ වාණිජ නිෂ්පාදන ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වෙනම ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.

ඒ හරහා සම්බන්ධීකරණය සිදුකරමින් පසුගිය කාලයේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ වර්ග සහ ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්වවිද්‍යාලයට හිමි කර්තෘ භාගය පිරිනැමීමේ උත්සවයක් පසුගියදා සංවිධානය කර තිබුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදු කළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල හිමිව තිබෙනවා.

  • Vernolac – පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද පෝෂක ඖෂධය.
  • Satiny – අකලට හිස කෙස් වැටීම, ජානමය තත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙබි ඖෂධීය ශීර්ෂාලේපය.
  • Ortho Shield – බොහෝ දෙනෙකු මුහුණ දෙන සන්ධි ආශ්‍රිත වේදනාවන් සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මක ව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ආලේපනය.
  • Bio Shape – ස්ථුල භාවය පාලනය කරමින්, අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන පෝෂක ඖෂධය.

මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟින් ගිවිසුම් ගතව ඇත්තේ දේශීය සමාගමක් වන වන ‘ෆැඩ්නා සමාගම් සමූහයේ’ අනුබද්ධිත සමාගමක් වන ‘ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගම’ යි.

ඔවුන් අදාළ නිෂ්පාදන අළෙවිකොට ලද ලාභයෙන් කොළඹ විශ්වවිද්‍යාලට හිමි කර්තෘ භාගය ට අදාළ මුදල (27) කොළඹ විශ්ව විද්‍යාලය වෙත පිරිනැමීමට කටයුතු කර තිබුණා.

ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එච්.ඩී. කරුණාරත්න මහතා වෙත අදාළ මුදල භාර දී තිබෙනවා.

කොළඹ විශ්ව විද්‍යාලය නිෂ්පාදනය කළ මෙම නිෂ්පාදන අතර පිළිකා සෛල නසා දැමීමේ හැකියාවෙන් යුතු පෝෂක ඖෂධයක් ද පවතින අතර විශ්ව විද්‍යාලයට ලද අදායමෙන් කොටසක් තව දුරටත් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය තුළ ස්ථාපිත පිළිකා පිළිබඳ පර්යේෂණ අරමුදල වෙනුවෙන් යෙදවීමට පියවර ගැනීම ද විශේෂත්වයක්.

+++++++++

+++++++++

https://www.facebook.com/fadnals


දැරියන්ගේ අසභ්‍ය දර්ශන අලෙවි කළ තරුණයෙකු රිමාන්ඩ්

(28.09.2023 – 20:11 +0530 – sinhala.adaderana.lk)

කුඩා දැරියන්ගේ අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු අලෙවි කළ 24 හැවිරිදි තරුණයෙක් පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා එම කොට්ඨාසයේ සමාජ මාධ්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකළ චීවරධාරියාට අසභ්‍ය දර්ශන අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුගේ ජංගම දුරකතනයේ තිබී කුඩා දැරියන්ගේ ඇතුළු අසභ්‍ය දර්ශන ඇතුළත් රූපරාමු 7000 ක් පමණ සොයාගෙන තිබේ.

ඒ අතර වයස අවුරුදු 3 සිට ඉහළට කුඩා දැරියන් සිටින බව මේ වනවිට හෙළිවී ඇත.

සැකකරු ඊයේ (27) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

+


‘හරක් කටා’ සිද්ධියේ තවත් කතාවක් එළියට

(29.09.2023 – 17:10 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවෙන් පැන යාම සඳහා උපකාර කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයා භාවිත කළ බවට සැක කරන ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

කඩවත ප්‍රදේශයේ කසල ගොඩක දමාගොස් තිබිය දී එම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව වාර්තා වේ.

ජංගම දුරකථනය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින සැකකරුවෙකුට අයත් වූවක් බව සඳහන්ය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මෙම පුද්ගලයා සමඟ කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර, කසළ ගොඩක තිබී සොයාගැනුණු මෙම ජංගම දුරකථනයෙන් ඇමතුම් ලබාගෙන ඇති බවට පොලීසිය මේ වන විට සැක පළ කරයි ෴


නිල්වලා, ගිං සහ කුඩා ගඟේ ගංවතුර අවදානම තවදුරටත් – වැඩිම වර්ෂාපතනය කුකුළේගඟට

(29.09.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

නිල්වලා, ගිං, සහ කළු ගඟේ කුඩා ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ හේතුවෙන් පහත් බිම් වල ජීවත් වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

නිල්වලා ගග පිටාරගැලීම නිසා අකුරැස්ස, තිහගොඩ සහ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

උඩුගම හා බද්දේගම ප්‍රදේශ තවදුරටත් ගං වතුර අවදානමට ලක්ව ඇත්තේ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන්.

කලු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟ පිටාර ගැලීමෙන් පාලින්ද නුවර හා බුලත්සිංහල ප්‍රදේශවල ජනතාවට තවදුරටත් ගංවතුර අවදානම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ.

පවතින තත්ත්වය හමුවේ ජලය පිරුණු ස්ථාන භාවිතයේදී ප්‍රවේශම්කාරි වන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර සඳහන් කළේ.

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ මහනුවර දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක 7 සඳහා පැනවූ නායයෑමේ අනතුරු ඇගවීම් ඉදිරි පැය විසි හතර තුළත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

අද (29) පෙරවරු 08:30 න් අවසන් වූ ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය කුකුළේගඟ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 120 ක්. ලබුගම ප්‍රදේශයට මිලිමීටර් 96.6 ක් සහ අවිස්සාවේල්ල ප්‍රදේශයට 95.2 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

එමෙන්ම, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔහිය සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර, මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට කොළඹ පැමිණීමේදී ප්‍රමාදයක් පවතින බවයි.

+

+++++++++

+


මහෙස්ත්‍රාත්වරයෙක් ඉල්ලා අස්වෙයි

(29.09.2023 – 12:30 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පසුගිය 23 වන දින ඔහු විසින් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.

තමාට එල්ල වන තර්ජන හේතුවෙන් මතුවී ඇති ආතතිය මත ඉල්ලා අස්වීමට තීරණය කළ බව අදාළ ලිපියෙන් දැනුම් දී ඇත.

මුලතිව් ප්‍රදේශයේ පසුගිය කාලය තුළ සිදුවූ සංවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබාදී තිබුණි.

මේ අතර අදාළ මහෙස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදීමෙන් පසු විදෙස්ගතවී ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

+++++++++

+


රුපියල් කෝටියක විදුලි උපකරණ ඉස්සූ හොරා කොටු වෙයි

(29.09.2023 – dinamina.lk)

බොරැල්ල පොලිස් වසමේ නිවාස දෙකක් සහ ආයතනයක් බිඳ රුපියල් කෝටියකට (1,00,00,000) අධික විදුලි උපකරණ සොරාගත් පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිගෑම් 10,500 ක් පොලිස් භාරයට ගෙන ඇත.

එම සැකකරු රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත බොරැල්ල ප්‍රදේශයේ නිවාස දෙකකින් සහ ආයතනයක් බිඳ සොරාගත් දේපළ විවිධ පුද්ගලයන්ට අඩු මුදලට විකුණා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර හතක් (7) පමණ, පරිගණකයක්, ඩීවීඩී ප්ලේයරයක්, දේශීය මත්පැන් බෝතල් දෙකක්, විදේශීය සුවඳ විලවුන් බෝතලයක්, පාපැදියක්, මුද්‍රණ යන්ත්‍රයක්, ඇපල් වර්ගයේ අයිපොට් 4 ක්, ඩිජිටල් කැමරා දෙකක් (2) හා විදුලි උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත් වූවෙකි.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකු බව කියයි. සැකකරු වයස අවුරුදු 43 ක් වන රාජගිරිය ජනාධිපති විද්‍යාලය මාවත පදිංචිකරුවෙකි. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කරයි.


ෆුඩ්සිටියෙන් ගුටි කෑ ‘කිරිපිටි හෙර’ සියල්ල මාධ්‍යට දිග අරී (29.09.2023)

+


තාත්තගෙ නම නැති කරන බව තාත්තගෙම මූණට කියපු සුදු පුතා | Premnath Kodithuwakku | Maharu Tv (29.09.2023)

+


කටුනායක ගුවන්තොටුපොළ උණුසුම් | විදේශීකයෝ සැරටම නිළධාරින්ට අමතයි | ගුවන් තොටුපොළම ගාලගෝට්ටියක් වෙයි (29.09.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *