තමන්ට සිදුවූ අසාධාරණය ගැන මියගිය අයෙක් ඇවිත් ලිපියක් දී ගිහින්

තමන්ට සිදුවූ අසාධාරණය ගැන මියගිය අයෙක් ඇවිත් ලිපියක් දී ගිහින්


තමන්ට සිදුවූ අසාධාරණය ගැන මියගිය අයෙක් ඇවිත් ලිපියක් දී ගිහින්

(13.09.2023 – dinamina.lk)

සතියකට පෙර මියගිය වයෝවෘද්ධ පුද්ගලයකු කොට්ඨාසයේ ප්‍රධාන පරිපාලන නිලධාරිණියකගේ නිල කාමරයට ගොස් තමන්ට සිදුවු අසාධාරණයක් පිළිබඳ ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසු පිටව ගොස් ඇති බව පැවසෙන පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සමීප ප්‍රධාන රාජ්‍ය ආයතනයකින් පසුගිය දා අසන්නට ලැබිණි.

මෙලෙස පැමිණි පුද්ගලයා තමන්ට සිදුවූ අසාධාරණ ක්‍රියාව පිළිබඳ වාචිකව ද වැදගත් කරුණු රැසක් පවසා ඔහුගේ පාදයේ තිබූ තුවාලයක් ද උසස් නිලධාරිණියට පෙන්වා කාර්යාලයෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම නිලධාරිණිය සහ තවත් නිලධාරීන් පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයා ජීවත් වූ බව පැවසෙන නිවසට ගොස් ඇති අතර එහිදී නිවැසියන් පවසා ඇත්තේ කාර්යාලයට ලිපිය භාරදුන් බව පැවසෙන දින පවුලේ ඥාතියා මියගොස් සිටි බවත්, මියගිය පුද්ගලයා වෙනුවෙන් පවත්වන සත් දවසේ දානමය පින්කම ද පෙර දිනයේ දී පැවැත්වූ බවත් ය.

කොට්ඨාසයේ දුප්පතුන්ට සමීප මුල්‍ය ආයතනයක ඉහළ පෙළේ නිලධාරිණියකගේ ක්‍රියා කලාපය තමන්ට සහ ජනතාවට මහත් හිරිහැරයක් බවත් ඒ පිළිබඳ සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙසත් මෙම වයෝවෘද්ධ පුද්ගලයා ලිපිය මගින් ඉල්ලා ඇති බව පැවසේ ෴


‘හරක් කටා’ට හෘදයාබාධයක් – තවම මියගොස් නැත

(14.09.2023 – 20:23 +0530 – sinhala.adaderana.lk)

= ‘හරක් කටා’ට හෘදයාබාධයක් =

‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ අද (14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට සහා පොලිස් රෝහල වෙත ප්‍රතිකාර සඳහා රැගෙනවිත් තිබේ.

ඒ, ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.

මේ අතර, ‘නඳුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාම සඳහා සහාය දුන් පොලිස් කොස්තාපල්වරයා දෙපාර්තමේන්තු පරිශ්‍රයන් පළා යන ආකාරය දැක්වෙන CCTV දර්ශන අපි ඊයේ (03) මුල්වරට රට හමුවේ අනාවරණය කළෙමු.

අප වැඩිදුරටත් සිදු කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ, ‘හරක් කටා’ පළා යෑමට උත්සාහ කිරීමේ සිදුවීමට අදාළ කිසිඳු CCTV දර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර කැමරා පද්ධතියේ සටහන්ව නොමැති බවයි.

දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ, එහි CCTV කැමරා පද්ධතිය වසර එකහමාරක (1½) පමණ කාලයක සිට අක්‍රිය තත්ත්වයක පැවති බවයි.

කෙසේ වෙතත් අදාළ සිදුවීමෙන් පසු ව මේ වන විට කඩිනමින් CCTV කැමරා පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.

මේ අතර, නේපාලයේ සිට මෙරටට පැමිණිමේ දී අත්අඩංගුවට ගැනුණු ‘ගනේමුල්ල සංජීව’ නොහොත් ‘සංජීව කුමාර’ නමැති සංවිධානාත්මක අපරාධකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය වෙත භාර කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සංජීව කුමාර’ නොහොත් ‘ගණේමුල්ලේ සංජීව’ නැතහොත් ‘මාකිලංගමුවේ සංජීව’ නමැත්තා ඊයේ (13) පස්වරු 05:30 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 182 යානයෙන් මෙරටට පැමිණියේ නේපාලයේ කත්මණ්ඩු නුවර සිටයි.

ඔහු මෙරටට පැමිණ ඇත්තේ, ‘සේනාධීරගේ කරුණාරත්න’ යන ව්‍යාජ නමකින් සකසන ලද ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමිනි.

අදාළ ගුවන් ගමන් බලපත්‍රය ගැන සැක සිතූ ආගමන විගමන නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ, එය දෙමටගොඩ පදිංචි ‘සේනාධීරගේ කරුණාවතී’ යන කාන්තාවකගේ විස්තර ඇතුළත් කර සැකසූ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින්ම නිකුත් කරන ලද වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් බවයි.

අනතුරු ව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී ඔහු තමන් ‘ගණේමුල්ලේ සංජීව’ බව ආගමන විගමන නිලධාරීන් හමුවේ පිළිගෙන තිබේ.

වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු පවසා ඇත්තේ, තමන් තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය බවත් එහි දී එරට ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ බවත්ය.

අනතුරුව ඉන්දීය ආරක්ෂක අංශ වෙතින් මිදී ඔහු නේපාලයට ගොස් ඇතත් නේපාල දේශසීමා ආසන්නයේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූ බව ද පවසා තිබේ.

ඔහු එලෙස අත්අඩංගුවට පත් වූ බව කියන ඉකුත් අගෝස්තු මස 25 වැනිදා ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් ද එල්ල විය.

කෙසේ වෙතත් මෙරට බුද්ධි අංශ පසු ව අනාවරණ කරගෙන තිබුණේ, ගණේමුල්ලේ සංජීව විශාල මුදලක් ලබා දී නේපාල ආරක්ෂක අංශ වෙතින් ද නිදහස් වී ඇති බවයි.

නමුත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් තමන් සතු වීම හා මෙරට පොලිසිය මගින් ‘ජාත්‍යන්තර රතු නිවේදන’ ලබාගෙන තිබීමත් හේතුවෙන් ඔහුට තවදුරටත් නේපාලනයේ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උත්ගත වී තිබූ බව වාර්තා වේ.

ඒ අනුව වෙනත් විකල්පයක් නොමැති බැවින් ඔහු මෙරටට පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරයි.

ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ‘ගණේමුල්ල සංජීව’, ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ (13) රාත්‍රියේ දීම බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත බාරදෙනු ලැබීය.

මේ අතර, සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විශේෂ විමර්ශන ඒකක කිහිපයක් එක්ව ඔහු සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර සම්බන්ධයෙන් විශේෂ සාච්ඡාවක් සිදු කර තිබේ.

එවන් පසුබිමක ගනේමුල්ලේ සංජීව අද (14) පස්වරුවේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

එහි දී ඔහුව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබා දී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ පස් ජාවාරම හේතුවෙන් සිදු වූ ඝාතන රැසක් මොහුගේ ආධාර අනුබලදීම යටතේ සිදු කළ ඒවා බවට පොලිසිය සැක පළ කරයි.

එමෙන්ම LTTE සංවිධානයේ පුනරුත්තාපනය නොවූ වෙඩික්කරුවන් මාර්ගයෙන් දකුණේ මිනිස් ඝාතන සිදු කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

+


දරුවන්ගේ මන්දපෝෂණය ඉහළට

(14.09.2023 – 19:30 +0530 – sinhala.adaderana.lk)

මේ වසරේ දී දිවයින පුරා උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 15,763 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ජුනි මාසයේ පැවති ජාතික පෝෂණ මාසයට සමගාමී ව එම කාර්යංශය සිදු කළ සමීක්ෂණයකට අනුව ඉන් වැඩි ම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනි.

වයසට නියමිත බර නොමැති නම්, එවැනි දරුවන් අඩු බර සහිත දරුවන් ලෙස හැඳින්වෙන අතර, මේ වසරේ අඩු බර සහිත දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, පෙර වසරේ 15.3% ක් ව පැවති අඩු බර සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 17% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම ගර්භිණී මව්වරුන්ගේ මන්දපෝෂණය සැලකීමේ දී පෙර වසරට සාපේක්ෂ ව බර අඩු මව්වරුන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර, ගර්භිණී මව්වරුන් අතර රක්ත හීනතාව හෙවත් ඇනීමියා තත්ත්වයේ ද ඉහළ යාමක් දක්නට ලැබෙන බව සඳහන්ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සමීක්ෂණයට අනුව පෙර වසරේ 14.5% ක මට්ටමක පැවති අඩු බර දරු උපත් සංඛ්‍යාව මේ වසරේ 15% ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම දරුවන් අතර පවතින මිටි බව ද පෙරට වඩා මේ වසරේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්වල පාහේ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

+


ලිංගික අතවර චෝදනා ලැබූ වල්ගුරාට ඇප

(14.09.2023 – 18:29 +0530 – sinhala.adaderana.lk)

= ලිංගික අතවර චෝදනා ලැබූ ගුරුවරයකුට ඇප =

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ පාසලක පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල මූලස්ථාන පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම පාසලේ ඉංග්‍රීසි ගුරුවරයකු රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරිමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (14) නියෝග කර ඇත.

මාවතගම, අඹකොටේ, රන්ගලගම පදිංචිකරුවකු වන රාජසිංහ නමැති 55 හැවිරිදි පුද්ගලයකු මෙසේ ඇප මත මුදා හැර ඇති අතර, සැකකරු විවාහක දෙදරු (2) පියකු බව වාර්තා වේ.

තම දරුවන්ට සැකකාර ගුරුවරයා ලිංගික අතවර සිදු කළ බවට දෙමාපියන් පිරිසක් විසින් කරන ලද පැමිණිලි මත විමර්ශන සිදු කර සැකකරු අත්අඩංගුවට ගත් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

සැකකරු දඬුවම් මාරුවක් ලැබ මීට මාස තුනකට (3) පමණ ඉහත දී මෙම පාසලේ සේවය සඳහා පැමිණි අයකු බව ද පොලීසිය අධිකරණය හමුවේ වාර්තා කර ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී. දුනුසිංහ මහතා අධිකරණයට කියා සිටියේ, තම සේවාදායකයා සමඟ අමනාපයෙන් සිටින පිරිසක් ඔහු සහ විදුහල්පතිවරයා අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

පැමිණිල්ල විසින් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියම කර තිබේ.

එසේම සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බව ද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව ද දන්වා ඇත.

එමෙන්ම නඩු කටයුතු අවසාන වන තෙක් සැකකරුට එම පාසල වෙත ඇතුළු වීම ද මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් කර තිබේ.

මෙම සිදුවීමේ දී එම පාසලේ විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති අතර, විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉවත් කර කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයකට ඊයේ (14) දින සිට යොමු කර ඇත ෴


රටින් පලා යෑමට තැත් කළ ‘ගණේමුල්ලේ සංජීව’ ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගනී

(14.09.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානියකු ලෙස සැලකෙන ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’, ප්‍රශ්න කිරීම් සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත බාර දී තිබෙනවා.

නේපාලයේ, කත්මණ්ඩු නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 182 දරන යානයෙන් ඊයේ (13) පස්වරුවේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නමින් ව්‍යාජ ලෙස සකස් කර ගත් විදෙස් ගමන් බලපත්‍රයකින් මොහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල් තියාම ගුවන් තොටුපළ බලධාරීන් දැනුම්වත් කර තිබුණා.

කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමන් ‘ගනේමුල්ල සංජීව’ බවට පිළිගෙන තිබෙනවා.

‘ගණේමුල්ලේ සංජීව’ කලක් ඩුබායි රාජ්‍යයේ සහ ඉන්දියාවේ ද සැඟවී සිටිමින් ඔහුගේ ගෝලයන් යොදවා මෙරට මනුෂ්‍ය ඝාතන රැසක් මෙහෙය වූ අයකු බවට මෙරට පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින පොලිස් කණ්ඩායම් විසින් තොරතුරු අනාවරණය කර ගෙන තිබුණා.

මෙම ඝාතනවලට අමතරව මොහු මත්ද්‍රව්‍ය තොග වශයෙන් මෙරටට එවීමේ ජාවාරමක නිරතව සිටි තැනැත්තෙකු ලෙස ද වාර්තා වනවා.

පාතාල සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සිටින ‘ගනේමුල්ල සංජීව’ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදනයක් ද නිකුත් කර තිබුණා.

මීට සති තුනක (3) පමණ ඉහතදී ඔහු ඉන්දීය ආරක්ෂක අංශ විසින් සැකපිට අත්අඩංගුවට ගත් පසු ඔහු පලාගිය බවට ද මෙරට බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබුණා.

මෙම සිද්ධියත් සමඟ ‘ගනේමුල්ල සංජීව’ගේ ගනේමුල්ල සමගි මාවතේ පිහිටි නිවසට නාදුනන කණ්ඩායමක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබුණේ පසු ගිය මස 24 වන දායි. ඉන් කිසිවකුටත් හානි සිදු වූයේ නැහැ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *