කෙහෙළියගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාවට වෛද්‍යවරුන්ගේ විරෝධය

කෙහෙළියගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාවට වෛද්‍යවරුන්ගේ විරෝධය


කෙහෙළියගේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යෝජනාවට වෛද්‍යවරුන්ගේ විරෝධය

(11.09.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

අත්තනෝමතික ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කළහොත් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතිය බිඳ වැටීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (10) ප්‍රකාශ කළේ තමන් මේ වනවිටත් වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.

කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී රජයේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ මේ වනවිටත් රජයේ වෛද්‍ය විද්‍යාල පද්ධතිය බිඳ වැටෙමින් පවතින බවයි.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍යාංශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව සහ වෘත්තිය පුහුණු අධිකාරිය අහෝසි කිරීමට අවධානය යොමු ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය අර්බුදය පිළිබඳව දැනුවත් කිරීමට අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වන සැසිවාරයේදී සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඩලස් පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර අදහස් දැක්වීමට නියමිතයි ෴


නොරොච්චෝලේ ඉංජිනේරු ගැටළුවක

(11.09.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ විදුලිබලාගාරයේ මෙහෙයුම් අංශයේ සිටිය යුතු අවම විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් හිඟවීම හේතුවෙන් එම බලාගාරයේ කටයුතුවලට බලපෑමක් එල්ලවී තිබෙනවා.

එහි ඉංජිනේරුවන් 40 ක් සේවයේ නිරතව සිටිය යුතු වුවත් මේ වනවිට එහි සේවයේ නිරතවන්නේ 24 දෙනෙකු පමණක් බවයි අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ.

මේ වන විටත් මෙහෙයුම් කටයුතු සදහා ඉංජිනේරුවන් සිටින්නේ 34 ක පමණක් වන අතර සෙසු පිරිස් විදේශ ගතවී තිබෙනවා.

ඉන් තවත් පුහුණු ඉංජිනේරුවන් 10 දෙනෙකු ඉදිරි මාස දෙක (2) ඇතුළත විදෙස්ගතවීමට සූදානම්ව සිටින බවටයි වාර්තා වන්නේ.

මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රයේ මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැළසුම් කර ඇති නමුත් පවතින පළපුරුදු විදුලි ඉංජිනේරුවන්ගේ හිගය හේතුවෙන් මෙම ජනන යන්ත්‍රයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම ගැටලු‍වක් වී ඇති බවටද වාර්තා වනවා ෴


කොහුවල – ගැටඹේ ගුවන් පාලම් කොටඋඩ

(11.09.2023 – lankadeepa.lk)

හංගේරියානු රජයේ මූල්‍යාධාර යටතේ ඉදිකෙරෙමින් පැවති කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම්වල ඉදිරිකිරීම් අත්හිටුවීමට සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඒල්. වී. එස්. වීරකෝන් මහතා ‘ලංකාදීප’යට පැවසීය.

හංගේරියානු රජය හිටිහැටියේ මූල්‍යධාර අත්හිටුවීම හේතුවෙන් එම පාලම් දෙකේ ඉදිකිරීම් අත්හිටුවීමට සිදුවූ බව කී වීරකෝන් මහතා කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් ආණ්ඩුවේ මුදල්වලින් ඉදිරිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් අත්හිටුවන විට සමස්ත පාලමෙන් සියයට 95 ක පමණ ඉදිරිකිරීම් අවසන් කර තිබූ බවත් එම පාලමේ ඉදිකිරීම් පසුගිය ජූලි මස අවසන් කිරීමට නියමිතව තිබූ බවත් වීරකෝන් මහතා කීය ෴


දුම්රිය මැදිරියක වහලය මත ගමන් කළ පුද්ගලයෙකු ඉන් ඇද වැටී මරුට

(12.09.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මැදිරියක වහලය මත ගමන් කළ පුද්ගලයෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී මිය ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම අනතුර සිදු වී ඇත්තේ අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියකයි.

වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය හේතුවෙන් මෙම මගියා දුම්රිය මැදිරියක වහලය මතට ගොඩවී තිබෙනවා.

මියගිය පුද්ගලයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඔහුගේ සිරුර හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර ඇති බවයි.

++++++++

+


මහින්දෝදය විද්‍යාගාර හැදුවේ මම; හැබැයි නම ගැහුවේ මහින්දගේ – ධම්මික පෙරේරා (12.09.2023)

+


Siyatha TV Turning Point – 11-09-2023 (ලාල් මාවලගේ සමග)

+


විද්‍යුත් වාහන ආනයනයට අදාළ යෝජනාවලට කැබිනට් අනුමැතිය

(12.09.2023 – 14:05 +0530 – sinhala.adaderana.lk)

දේශීය වශයෙන් විදුලි වාහන නිෂ්පාදනය සහ එකලස් කිරීම දිරිගැන්වීම වෙනුවෙන් ඊයේ (11) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ කිහිපයක් ගෙන තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 50 ක අවම ආයෝජනයක් විදුලි වාහන සහ ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තය සඳහා යොදවනු ලබන ආයෝජකයින්ට බදු සහන සැපයීමට නියමිතය.

500 kw දක්වා බල ශ්‍රේණිගත කිරීමක් සහිත විදුලි වාහන, විදුලි ද්වි රෝද රථ සහ 3000 cc දක්වා එන්ජින් ධාරිතාව සහිත ප්ලග්-ඉන් දෙමුහුන් විද්‍යුත් වාහන එකලස් කිරීම සඳහා නවීන අර්ධ වශයෙන් එකට එකතු කරන ලද (Semi-Knockde – Down/SKD) කට්ටල ආනයනය කිරීමේදී CIF අගය මත ශුන්‍ය තීරුබදු (0%) ගාස්තුවක් පැනවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

එමෙන්ම සුදුසුකම් ලැබීමේ නිර්ණායක සම්පූර්ණ කරන ලද සමාගම් සඳහා රක්ෂණ සහ නැව් ගාස්තු සහිත වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000 නොයික්මවූ නැවත ආරෝපණය කළ හැකි නව විදුලි වාහනයක් රේගු ගාස්තු නිදහස් පදනම මත ආනයනය කිරීමට අවසර ලබාදීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.


අන්තර්ජාල අසත්‍ය තොරතුරු වැළැක්වීමට නව නීතියක්

(12.09.2023 – 19:49 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය හරහා සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය වැළැක්වීම සඳහා හා ද්වේශසහගත හැසිරීම් වැළැක්වීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය යනුවෙන් සකස් කරන ලද නව පනත් කෙටුම්පතකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් එම කැබිනට් පත්‍රීකාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද එම පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබෙන බවද ඒ සම්බන්ධයෙන් වූ කැබිනට් මණ්ඩල තීරණයේ සඳහන්.

එම පනතෙන් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත්තේ :

  • ශ්‍රී ලංකාව තුළ සිද්ධි පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
  • අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම,
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුනේ ප්‍රකෝප කිරීම,
  • අසත්‍ය ප්‍රකාශයක් මගින් ආගමික රැස්වීමකට බාධා කිරීම,
  • ආගමික හැඟීම් වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
  • ආගමික හැඟීමක් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශසහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම,
  • වංචා කිරීම, අනෙකෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම,
  • සාමය කඩකිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මගින් චේතාන්විතව ම නින්දා කිරීම,
  • කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම,
  • හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම,
  • ළමා අපයෝජනය, වරදක් සිදු කිරීම සඳහා ‘බොට්’ සෑදීම හෝ වෙනස් කිරීම ආදිය යි ෴

රුපියල් කෝටි 8 ක් වටිනා ප්‍රාඩෝ ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

(12.09.2023 – 22:02 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනයට තහනමක් පනවා ඇති මොහොතක 2020 වසරේ ජපානයේ නිෂ්පාදනය කරන ලද රුපියල් කෝටි 8 ක් පමණ වටිනා ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු මෙම ජාවාරමේ මහ මොළකරු වන අතර, රේගු සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කර ව්‍යාජ ලේඛන සකසා අලෙවියට මෙම රථය අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයාගේ නිවසේ සඟවා තිබියදියි පොලිස් භාරයට ගනු ලැබුවේ.

මෙම ජාවාරමට කුරුණෑගල ප්‍රදේශයේම තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු සම්බන්ධ වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

දත්ත වෙනස් කර රටට හිමිවිය යුතු බදු මුදල් රුපියල් කෝටි ගණනින් අහිමි කර ඇති බවට ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් උපුටා දක්වමින් හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (11) අනාවරණයක් සිදුකළා. එම අනාවරණය සිදුකර පැය විසි හතරක් ගතවීමට මත්තෙන් අදාළ වැටලීම සිදුකිරීම විශේෂත්වයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *