11.09.2023 මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනයක්

11.09.2023 මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනයක්


11.09.2023 මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනයක්

(11.09.2023 – 19:10 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (11) මධ්‍යම රාත්‍රියේ වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා දුම්රිය (ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ) රියදුරු සංගමය පවසනවා.

වැටුප් වැඩිකිරීම් හා ප්‍රමාද කර ඇති උසසවීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගනිමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

දුම්රිය ලොකොමෝටිව් රියදුරන්ගේ සංගමය පසුගිය 09 දා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා.

මෙම සාකච්ඡා අසාර්ථක වීම නිසා අද (11) දින රාත්‍රීයේ මෙම වැඩ වර්ජනය සිදුකරන බවයි ඉංජිනේරු සංගමය පවසන්නේ.

අද (11) රාත්‍රී ධාවනය වීමට නියමිත තැපැල් දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුවිය හැකි බවද දුම්රිය රියදුරු සංගමය පවසනවා ෴

(12.09.2023 – 06:53 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සේවකයින් දියත් කර ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 36 ක් අවලංගුයි – දුම්රිය දෙපාර්තමේන්තුව ෴


RMV දූෂණ නිසා රජයට රුපියල් කෝටි 30 ක බදු ආදායමක් අහිමිවෙයි

(11.09.2023 – 23:34 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති විගණන වාර්තාවට අනුව වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට (30) වැඩි බදු ආදායමක් අහිමිවී ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව මිට්සුබිෂි පෙජරෝ වර්ගයේ මෝටර් රථයක දත්ත ඇතුළත් කර 2019 වසරේ සෙයිග්‍රා වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කිරීම තුළින් දඩ මුදල්ද ඇතුළුව රුපියල් 757,500 ක සුඛෝපභෝගී බදු ආදායමක් හා රුපියල් තුන් කෝටි පනස්දෙලක්ෂයක (3,52,00,000) නිෂ්පාදන බදු ආදායමක් අහිමි වී ඇති බව සඳහන්.

එමෙන්ම සෙයිග්‍රා වර්ගයේ තවත් මෝටර් රථයකට මිනි කූපර් වර්ගයේ මෝටර් රථයක දත්ත ඇතුළත් කර ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම තුළින් රුපියල් පනස්පන්ලක්ෂ දහතුන්දහසක (55,13,000) නිෂ්පාදන බදු ආදායමක් සහ රුපියල් 44,050 ක නව ලියාපදිංචි ගාස්තුවක් අහිමි වී තිබෙනවා.

තවත් සෙයිග්‍රා වර්ගයේ ලියාපදිංචි කර තිබූ මෝටර් රථයකට 2018 වසරේදී නැවත ටොයෝටා වර්ගයේ ඩීසල් මෝටර් රථයක දත්ත ඇතුළත් කර ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම තුළින් අහිමි වී ඇති නිෂ්පාදන බදු ආදායම රුපියල් හාරකෝටි අනූනවලක්ෂ විසිදහසක් (4,99,20,000) ක්.

මේ අතර පූර්ව ලියාපදිංචි චැසි අංක සහ එංජින් අංක වෙනස් කර අනීතිකව ආනයනය කරන ලද යතුරුපැදිවල චැසි සහ එංජින් අංක ඇතුළත් කර යතුරුපැදි 91 ක් ලියාපදිංචි කර තිබෙනවා.

එම යතුරුපැදි ආනයනය කිරීමෙන් රේගුවට අහිමි වී ඇති රේගු බදු ආදායම රුපියල් පන්කෝටි පනස් දෙලක්ෂ හත්දහස් හාරසිය හැත්තෑපහක් (5,52,07,475).

මෙලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරටදී එකලස් කරන ලද වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට අය කර ගත හැකිව තිබූ රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක්ද අවභාවිත කර ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාවේ දැක්වෙනවා.

මෝටර් රථ එකලස් කරන මුවාවෙන් නීති විරෝධීව ආනයනය කෙරුණු වාහන 27 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් පිළිබඳවද තොරතුරු ද මෙම වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා.

පෙට්‍රල් මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි අංකය පද්ධතියෙන් ඉවත් කළයුතු වුවත් අවස්ථා 130 කදී පරිවර්තිත වාහනවල ලියාපදිංචි අංක දත්ත පද්ධතියෙන් ඉවත් කර තිබී නැති බව සදහන්.

ඒ අනුව එන්ජින් අංකය සහ චැසි අංකය එකම අංකයක් ලෙස පරිගණක පද්ධතියට ඇතුළත් කර වාහන තුනක් (3) අනීතිකව ලියාපදිංචි කර තිබූ බවද වාර්තාවේ සඳහන වෙනවා.

තවද දීර්ඝ කාලයක් ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති ලියාපදිංචි යතුරුපැදි 99 ක චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර, වංචනිකව ආනයනය කරන ලද යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක ඇතුළත් කර පැරණි දත්ත පද්ධතියෙන් මකා දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බවයි විගණන වාර්තාවේ සඳහන් වන්නේ.

මේ අතර අවලංගු කරන ලද විදේශීය රාජ්‍ය තාන්ත්‍රික වාහන සඳහා වෙනත් වාහන ලියාපදිංචි කළ අවස්ථාද විගණන වාර්තාවේ දැක්වෙනවා.

ඒ අනුව විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ආනයනය කර රාජ්‍ය අනුග්‍රහය යටතේ තීරු බදු රහිතව ගෙන්වූ වාහන නැවත ප්‍රතිඅපනයනය කරන අවස්ථාවන්හීදී එලෙස ලියාපදිංචිය අවලංගු කර ප්‍රතිඅපනයනය කළ වාහන 6 ක චැසි අංක සහ එංජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයින්ගේ නමට සුඛෝපභෝගී වාහන ලියාපදිංචි කිරීමටද නිලධාරීන් කටයුතු කර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම භාවිතයට නොගත් හිස් අංක සඳහාද වංචනිකව මෝටර් රථ සඳහා ලියාපදිංචි සහතික නිකුත් කර තිබෙන අවස්ථාද මෙම වාර්තාවේ සදහන්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට දත්ත ඇතුළත් කිරීමට පරිගණක මුරපද ලබාදී ඇත්තේ අවසර ඇති පරිශීලකයින්ට පමණයි.

එහෙත් ඔවුන් දෙපාර්තමේන්තුවෙන් වෙනත් කාර්යාලවලට මාරු වූ පසුවත් සහ නිලධාරීන් විශ්‍රාම ගිය පසුවත් එම මුරපද සක්‍රීයව පැවතීම හේතුවෙන් ඔවුන්ට දත්ත පද්ධතියට ඇතුළත් වී වංචනික ක්‍රියා සිදු කිරීමට හැකියාව පවතින බවද වාර්තාවේ දැක්වනවා.

එමෙන්ම ඇතැම් නිලධාරීන් දත්ත පද්ධතියෙන් දත්ත රැසක් මකා දමා ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වෙනවා.

+


කඩා දැමු වතු නිවසක් ඉදිකරන්න රාජ්‍ය ඇමතිගෙන් උපදෙස්

(11.09.2023 – 22:48 +0530 – hirunews.lk/sinhala)

අනවසර ඉදිකිරීමක් බව පවසා කහවත්ත වැවිලි සමාගමට අයත් වැල්ලඳුර වතුයායේ බුංගිරිය ප්‍රදේශයේ පිහිටි වතු නිවසක් වතු යායේ ආරක්ෂක නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා කඩා ඉවත්කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජල සම්පාදන සහ යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වැල්ලදුර වතුයායට පැමිණියා.

එහිදී අලාභ හානි වූ නිවසේ සිටි වතු කම්කරුවන් සමඟ අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර පසුව එම ස්ථානයේම යළිත් තාවකාලික වතු නිවාසයක් ඉදිකිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

කෙසේවෙතත් වතු පාලන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙම නිවස අනවසර ඉදිකිරීමක් බැවින් එය යළි ඉදිකිරීම නීතිවිරෝධී බවයි.

කඩා ඉවත් කළ වතු නිවසේ සිටි තරුණියක් විශ්වවිද්‍යාල වරම් ලබා තිබෙන බව කරුණු විමසීමේදි අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඇයට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයක් ලබා දීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.

+


‘හරක් කටා’ SI ගේ ගිනිඅවිය පැහැරගන්න තැත්කරයි

(11.09.2023 – 21:15 +0530 – hirunews.lk/sinhala)

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ යන දෙදෙනා (2) තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

මේ අතර ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොර බදා ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ කර ඇතැයිද වාර්තා වනවා.

ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකුගේ සහායද ඔහුට ලැබී ඇති අතර මේ වන විට එම කොස්තාපල්වරයා පළාගොස් තිබෙනවා.

දැනට රැඳවුම් නියෝග ලබා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇත්තේ ඊයේ (10) දිනයේදීයි.

එහිදී ‘හරක් කටා’ට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයෙකු එහි සිටි පොලිස් නිලධාරීන්ට තමා නිවසින් රැගෙන ආ බව පවසා කිරිටොපි වර්ගයක් ලබාදී ඇති අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු (2) මත්වී ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

අනතුරුව ‘හරක් කටා’ගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ ඉල්ලීම මත ඔහුව වැසිකිළියට රැගෙන ගොස් ඇති අතර මාංචු ද ගලවා ඇත්තේ අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් බව සඳහන්වෙනවා.

‘හරක් කටා’ගේ මාංචු ලිහිල් කළ කොස්තාපල්වරයා නැවත මාංචුවල යතුරු ලා නොමැති අතර ප්‍රශ්න කිරීම් සඳහා නැවතත් ගෙනඑන ලද ‘හරක්කටා’ මඳ වේලාවකට පසු විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පොරබදා ඔහුගේ ගිනිඅවිය පැහැර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේවෙතත් එම උප පොලිස් පරීක්ෂකවරයා ‘හරක්කටා’ සමග පොරබදා ඔහුව මෙල්ල කරගැනීමට සමත්වී තිබුණා.

‘හරක් කටා’ට උපකාර කළ පොලිස් කොස්තාපල්වරයා මේ වනවිට පළා ගොස් ඇති අතර ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සහ ‘කුඩු සලිඳු’ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න අධිකරණයට දන්වා සිටියේ.

කෙසේවෙතත් මෙම පෙත්සම ඔක්තෝබර් මස 25 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.

මේ අතර රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ යන දෙදෙනා (2) තවත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අවසර ලබා දී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මසමක් ගොනු කරමින් අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

+++++++++++

+


බොරු ලියකියවිලි හදලා විදුලි උපකරණ අරගෙන

(11.09.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

නිවෙස් බිඳ දේපොළ සොරා ගන්නා ලද කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු (6) අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මේ අතර ව්‍යාජ ලෙස භාණ්ඩ ඇණවුම්පත් සකසා මහා පරිමාණයෙන් ගෑස් සහ විදුලි උඳුන් වංචා කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.

ඔහු මෙම වංචාව සිදුකර ඇත්තේ කොළඹ, පිටකොටුව සහ අතුරුගිරිය යන ප්‍රදේශවල ඇති තොග අලෙවිසැල් වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ව්‍යාජ ඇණවුම්පත් ඉදිරිපත් කරමින්.

ගාල්ල සහ මාතර ප්‍රදේශවල ගෘහ විදුලි උපකරණ අලෙවිසැල්වල භාණ්ඩ ඇණවුම්පත්වලට සමාන ව්‍යාජ ඇණවුම්පත් සකසා කොළඹ, පිටකොටුව සහ අතුරුගිරිය ප්‍රදේශවල තොග අලෙවිසැල් වෙත ඉදිරිපත් කර ඔහු මෙම වංචාව සිදුකර තිබුණා.

එම උපකරණ දක්ෂිණ අධිවේගී මර්ගය ඔස්සේ ගෙන්වන අතරතුර දොඩංගොඩ හුවමාරුවේදී සියභාරයට ගැනීමට සැකකරු කටයුතු කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් වංචා කළ ගෑස් උඳුන් 143 ක් සහ රයිස් කුකර් 40 ක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බවයි.

සැකකරු කටුනායක ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *