බ්‍රිතාන්‍යයේ චැනල්-ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන කියන ඇත්ත නැත්ත

බ්‍රිතාන්‍යයේ චැනල්-ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන කියන ඇත්ත නැත්ත


බ්‍රිතාන්‍යයේ චැනල්-ෆෝ නාලිකාව පාස්කු ප්‍රහාරය ගැන කියන ඇත්ත නැත්ත

(06.09.2023 – 15:52 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ චැනල්-ෆෝ නාලිකාව ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය අලලා සැකසූ SRI LANKA’S EASTER BOMBINGS : DISPATCHES වීඩියෝව එරට වේලාවෙන් ඊයේ (05) රාත්‍රී 11:05 ට විකාශය කෙරුණා.

2019 වසරේ පාස්කු ඉරු දින මිනිත්තු කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාව පුරා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 06 ක් එල්ල වුණා. බෝම්බකරුවන් ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී හෝටල් 03 ක් සහ දේවස්ථාන 03 ක් ඉලක්ක කර තිබුණා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් පැවසුවේ :

“මම දැකපු දේ දකින්න ඉතාම අමාරු දෙයක්. හැමතැනම ලේ තිබුණා. මිනිස්සු කෑ ගසමින්, හඬමින් හිටියේ. ඉස්ලාමීය සංවිධානය තමන් ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව පැවසුවා. නමුත් ගොඩක් අය ප්‍රශ්න කළේ, එය එතරම්ම පහසු කටයුත්තක් ද කියායි. දැන් වසර 04 කට පසුව සත්‍යය සඳහා වන කෑගැසීම් නෑසෙන තත්ත්වයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු වාර්තාවක් වගේම ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ ප්‍රධානියා ඇතුළු සියලුම ජනතාව ප්‍රශ්න කරන්නේ, රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් ද මේ ප්‍රහාරය පිටුපස සිටිනවා නේද කියායි. බලය ලබා ගැනීම සඳහා විශාල කුමන්ත්‍රණයක යෙදී සිටි ශ්‍රී ලංකාවේ ඉහළ නායකත්වයේ එවන් මැදිහත්වීම් රැසක් දැකගන්න පුළුවන්.”

මෙම වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ, හිටපු අමාත්‍ය ‘ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්’ හෙවත් ‘පිල්ලෙයාන්’ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ක්‍රියා කළ ‘අසාද් හන්සීර් මවුලානා’ දුන් තොරතුරු මත පදනම්වයි.

අසාද් හන්සිර් මවුලානා – හිටපු අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ මෙවන් අදහසක් :
“මම සත්‍යය දැනගෙන හිටියා. වැරදිකරුවන් කවුද, එය සංවිධානය කළේ කාගේ මිනිසුන් ද, කාගේ නියෝග මත ද කියලත් දන්නවා.”

චැනල්-ෆෝ නාලිකාව පවසන්නේ, ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියකු සහ බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු අතර තිබූ සෘජු සම්බන්ධතාවක් පිළිබඳව තම තොරතුරු සපයන්නන් අනාවරණය කළ බවයි.

ඒ අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස යළි බලයට ගෙන ඒමේ අරමුණින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇතැයි තම තොරතුරු සපයන්නන් හරහා අනාවරණය වූ බව චැනල්-ෆෝ නාලිකාව පවසනවා.

“ඔවුන් අපිට කිව්වා දශකයකටත් වඩා ශ්‍රී ලංකාව පාලනය කර වසර කිහිපයකට පෙර බලයෙන් ඉවත් කෙරුණු සහෝදරයින් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යළි බලයට ගෙන ඒම සඳහා රට තුළ බිය සහ කතා පැතිරවීමේ අරමුණින් ප්‍රහාරය සැලසුම් කර තිබෙනවා කියලා.”

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ සාමාජිකයකු පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවන් හමුවන ආකාරය තමන් දුටු බව අසාද් හන්සීර් මවුලානා පැවසු බවත් මෙම වීඩියෝවේ සඳහන්.

“ප්‍රහාරය එක් දිනක හෝ දින දෙකක සැලසුමක් නෙවෙයි. එය වසර ගණනාවක සැලසුමක්. වසර දෙක තුනක සැලසුමක්. ඔවුන් කණ්ඩායමක් තේරුවා.” අසාද් හන්සිර් මවුලානා පවසනවා.

චැනල් ෆෝ නාලිකාව පවසන්නේ, තමන් දන්නා දේ නිසා තමන්ව ඝාතනයට ලක්විය හැකි බවට දැනුණු බිය හේතුවෙන් හිටපු අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්, පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ක්‍රියා කළ අසාද් හන්සීර් මවුලානා 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පිටව පැමිණ ඇති බවයි.

අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දිවුරුම් සාක්ෂියක් ද ඉදිරිපත් කර ඇති බවත්, විමර්ශකයින් දින ගණනාවක් හමුවීමෙන් පසු ඔවුන් හන්සීර් මවුලානාගේ ප්‍රකාශ සලකා බැලිය හැකි මට්ටමේ පවතින බවට තක්සේරු කර ඇති බවත් චැනල් ෆෝ නාලිකාව පවසනවා.

එමෙන්ම ඔහු යුරෝපීය බුද්ධි අංශ සමඟ ද සම්මුඛ සාකච්ඡාවලට එක්ව ඇති බවත්, මෙය ඔහු තමන් දන්නා තොරතුරු ප්‍රසිද්ධියේ පවසන පළමු අවස්ථාව බවත් එහි සඳහන්.

2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අයෝමය හස්තයකින් ශ්‍රී ලංකාව පාලනය කෙරුණු බවත්, ඔවුන් දෙදෙනාගේ සමීපතම සගයකු ලෙස පිල්ලෙයාන්, රාජපක්ෂවරුන්ගේ දේශපාලන සතුරන් ඉලක්කර ගත් අතුරු හමුදා ඝාතන කල්ලියකට සාමාජිකයින් බඳවාගෙන ඇති බවත් චැනල් ෆෝ නාලිකාව අනාවරණය කරනවා.

චැනල් ෆෝ නාලිකාව පවසන්නේ, තමන් පිල්ලෙයාන්ට සහ ඔහුගේ ප්‍රධානියා වන ගෝඨාභය රාජපක්ෂට සේවය කරමින් සිටින අතරතුර වධහිංසා පැමිණවීම්, ප්‍රචණ්ඩත්වය සහ සහ ඝාතන ද අත්දුටු බව හන්සීර් මවුලානා පැවසූ බවයි.

“මට මේ පව මගේ ජීවිත කාලය පුරාම අරගෙන යන්න බැහැ. මට ඕනේ සත්‍යය ප්‍රකාශ කරන්න” යැයි අසාද් හන්සිර් මවුලානා පැවසුවා.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ආරක්ෂක ලේකම් ධුරයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ , යුද පෙරමුණට ඝාතන සිදුකිරීම සඳහා සෘජුවම අණ දුන් බවත් චැනල්-ෆෝ වාර්තාවේ සඳහන් වෙනවා.

ඒ අනුව ‘ට්‍රිපෝලි ප්ලැටූන්’ නමින් හඳුන්වන අතුරු හමුදා ඝාතන කල්ලියක් පිහිටුවීමට සහාය වන ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටි අවස්ථාවේ තමන් සහ පිල්ලෙයාන් එම රැස්වීමේ සිටි බව හන්සීර් මවුලානා පැවසු බවත් චැනල්-ෆෝ නාලිකාව පවසනවා.

“ඔහු පිල්ලෙයාන්ට කිව්වා ඔයා ඔයාගේ හොඳම කණ්ඩායම තෝරාගන්න කියලා. එකට වැඩ කරන්න කියලා.” යැයි අසාද් හන්සිර් මවුලානා පැවසුවේ පශ්චාත්තාපයෙන්.

“ඔවුන් රජයට විරුද්ධ මිනිසුන්ව තෝරා ගත්තා. ඔවුන් ඉලක්ක කළ ඝාතනය කෙරුණා.” ඔහු යළිත් අවධාරණය කර සිටියා.

රාජපක්ෂවරුන්ගේ මර්දනයේ බරපැන පුවත්පත්වලින් දැරූ අතර, ඒ අනුව පුවත්පත් ආරක්ෂක වාර්තාකරුවකු ලෙස කටයුතු කළ ‘කීත් නොයාර්’ පැහැරගෙන ඔහුට වධ හිංසා පැමිණ වූ බවත්, ඇතැම් වාර්තාකරුවන්ට තර්ජනය කිරීම්, පහරදීම් මෙන්ම ඝාතනය කිරීම් ද සිදු වූ බවත් චැනල්-ෆෝ නාලිකාව පෙන්වා දෙනවා.

‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ප්‍රහාරවලින් බොහෝමයක් ‘ට්‍රිපෝලි ප්ලැටූනය’ මගින් සිදු කර ඇති බව ප්‍රකාශ කළ බවත් එහි සඳහන්.

කෙසේවෙතත්, තර්ජන නොතකා, බිය ගැන්වීම් ප්‍රතික්ෂේප කළ එක් මිනිසකු සිටි බවත්, ‘ලසන්ත වික්‍රමතුංග’ නම් වන ඔහුගේ පුවත්පත හරහා රාජපක්ෂවරුන් විවේචනය කිරීම හරහා ප්‍රහාරයන්ට ලක් වූ බවත් චැනල්-ෆෝ නාලිකාව පෙන්වා දෙනවා.

එහි දැක්වෙන්නේ, මිග් යානා ගනුදෙනුව සම්බන්ධව ලසන්ත වික්‍රමතුංග කළ අනාවරණයත් සමග ගෝඨාභය රාජපක්ෂ කෝපයට පත් වූ බවත්, ඒ අනුව තමන්ව සහ පිල්ලෙයාන්ව කැඳවමින් ලසන්තගේ මරණය තමන්ට අවශ්‍ය බව ඔහු පැවසූ බවත් හන්සීර් මවුලානා ප්‍රකාශ කළ බවයි.

“අපි ගෝඨාභය රාජපක්ෂව ඔහුගේ කාමරයේදී හමු වුණා. ඔහු ඉදිරියේ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ප්‍රධානියා හිටියා. ඔහු කිව්වා “මේ බල්ලා හැමවෙලාවෙම මාත් එක්ක සෙල්ලම් කරනවා” කියලා. ඒ වගේම ඔහු කිව්වා ලසන්ත ඝාතනය කළ යුතුයි කියලා. ඔයාට පුළුවන් නම් පුළුවන් තරම් ඉක්මණින් කරන්න කිව්වා.” යළිත් සිය කටහඬ අවදි කරන්නේ අසාද් හන්සිර් මවුලානායි.

අනතුරුව 2009 ජනවාරි 08 වැනිදා සේවයට යමින් සිටියදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණු බවත් චැනල්-ෆෝ නාලිකාව පෙන්වා දෙනවා.

එමෙන්ම වසර 20 ක් පුරාවට ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරතව සිටි ‘නිෂාන්ත සිල්වා’ නමැති නිලධාරියාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මරණ තර්ජන එල්ල වූ බවට ප්‍රකාශ කෙරුණු අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සෙවීම 2015 න් පසු ඔහුට භාරව තිබූ බවත් චැනල්-ෆෝ වාර්තාවේ සඳහන්.

“මට සහ මගේ පවුලට යුද හමුදා බුද්ධි අංශයෙන්, නාවික හමුදා බුද්ධි අංශයෙන් වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මරණ තර්ජන එල්ල වුණා යැයි පවසන්නේ හිටපු පොලිස් නිලධාරීයකු වන නිශාන්ත සිල්වා.

“ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණයක් තියෙනවා ‘ට්‍රිපෝලි ප්ලැටූන්’ එක සම්බන්ධව. මම ගෝඨාභය ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳෙව්වා. ඊට පස්සේ මගෙන් ඇහුවා ‘ඇයි තමුන් මාව මේ ලසන්ත වික්‍රමතුංගගේ නඩුවට සැකකරුවකු විදිහට උසාවියට කරුණු ඉදිරිපත් කළේ’ කියලා. ‘මම අනවශ්‍ය දේවල් කරන්නේ නෑ, අවශ්‍ය දේවල් විතරයි කරන්නේ, හැබැයි සර් මට කවුරු වුණත් කමක් නෑ, මම දානවා’ කියලා මම කිව්වා. එතකොට එයා මගෙත් එක්ක එතරම් හොඳ බවක් පෙන්වුවේ නෑ.” යැයි නිශාන්ත සිල්වා මෙහිදී පවසනවා.

කෙසේ වෙතත් පසුව අධිකරණය තුළ එම විමර්ශන ඇනහිටි බවත් චැනල්-ෆෝ වාර්තාවේ සඳහන්.

2015 වසරේදී පිල්ලෙයාන් සිරගත කිරීමෙන් පසු ඔහුගේ සිරකුටියේ පැවති සාකච්ඡාවකට තමන්ට එක්වන ලෙසට දැනුම් දුන් බව ‘හන්සීර් මවුලානා’ පැවසූ බවත් චැනල් ෆෝ නාලිකාව වාර්තා කරනවා.

“පිල්ලෙයාන් මට කිව්වා ‘මං ගාව රැඳවියන් කිහිප දෙනෙක් ඉන්නවා, ඒගොල්ලෝ හරිම අන්තවාදීයි’ කියලා. ඔහු කිව්වා ‘ඔයා එක්කෙනෙක්ව හමුවෙන්න ඕනේ’ කියලා. ඉතිං එක් බන්ධනාගාර නියාමකවරයකු ඒ පුද්ගලයාව රැගෙන ආවා. ඔහු රැවුල තිබෙන, ටිකක් පාට අඩු කෙනෙක්. ඔහුගේ නම ‘සයිනි මවුලවි’.” මෙහෙම කියන්නේ හන්සීර් මවුලානා.

‘සයිනි මවුලවි’ නැමැත්තා ආගමික අන්තවාදී ක්‍රියාවන් සම්බන්ධව බන්ධනාගාරගතකර සිටි අයකු බවත්, ඔහුගේ සහෝදරයා වන ‘සහරාන් හෂීම්’, ‘තව්හීද් ජමාත්’ සංවිධානයට සාමාජිකයින් එකතු කරමින් සැඟව සිටි බවත් චැනල්-ෆෝ නාලිකාව පෙන්වා දෙනවා.

“මේ වගේ මිනිස්සු මං කවදාක්වත් දැකලා නෑ. ඔවුන් බලාගෙන ඉන්නේ මරණය වෙනුවෙන්. ඔවුන්ට අවශ්‍ය මරණය. ඔවුන්ට ‘පාරාදීසය’ට යන්න අවශ්‍යයි. පිල්ලෙයාන් කිව්වා ‘ඒක හොඳයි, අපි ඔවුන්ව පාවිච්චි කරමු’ කියලා.” අසාද් හන්සිර් මවුලානා සිය කටහඬ අවදි කළා.

අනතුරුව පිල්ලෙයාන් අදාළ පුද්ගලයාට ඇප ලබා ගැනීමට කටයුතු කළ බවත්, ඉන් මාස 03 කට පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ‘සුරේෂ් සලේ’ සමඟ හමුවක් සංවිධානය කරන ලෙසට තමන්ට වැඩිදුරටත් නියෝග ලැබුණු බවත් ‘හන්සීර් මවුලානා’ පවසා තිබෙනවා.

2018 ජනවාරි මාසයේදී පිල්ලෙයාන් මට කිව්වා ‘ඔයා සුරේෂ් සලේ සහ මේ මිනිස්සු අතර හමුවක් සංවිධාන කරන්න’ කියලා හන්සීර් මවුලානා පවසා තිබෙනවා.

එවක රජයේ උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ බව කියන නම අනාවරණය නොකළ අයකු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් ද චැනල් ෆෝ වාර්තාවේ අන්තර්ගතයි.

“ගෝඨාභය රාජපක්ෂ තමයි සුරේෂ් සලේව මෙහෙයවූයේ. ඒකයි ඔහුට ඉහළ තනතුරුවලට යන්න පහසු වුණේ” යැයි රජයේ උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා පවසනවා.

“ඔවුන් ආවේ සුදු පාට වෑන් රථයකින්. පුද්ගලයින් 06 දෙනෙකු වාහනයෙන් බැස්සා. සයිනි මවුලවි ඇවිත් අතට අත දුන්නා. ඊට පස්සේ ඔහු ඔහුගේ සහෝදරයා වන සහරාන්ව මට හඳුන්වා දුන්නා. එයා කිව්වා ‘එයා තමයි අපේ අමීර්’ කියලා. මුස්ලිම් අය ‘අමීර්’ කියන්නේ නායකයාට. ඉතිං මං සුරේෂ් සාලේව ඔවුන්ට හඳුන්වා දුන්නා. රැස්වීම ගොඩක් වෙලාවක් පැවැත්වුණා. රැස්වීම අවසන් වුණාට පස්සේ සුරේෂ් මට කිව්වා රාජපක්ෂලාට ශ්‍රී ලංකාවේ ‘අනාරක්ෂිත තත්ත්වයක්’ අවශ්‍ය වෙලා තිබෙනවා කියලා. ඒක තමයි ගෝඨාභයට ජනපති වෙන්න තියෙන එකම මාර්ගය.” අසාද් හන්සිර් මවුලානා පාපොච්චාරණය කරනවා.

2018 වසර අගදී ‘සහරාන්ගේ තවුහිද් ජමාත් කණ්ඩායම’ පුවත් මවන තරමට පත් වූ බවත්, 2019 ජනවාරි මාසයේදී පොලිස් පරීක්ෂණ හමුවේ ඔවුන්ට ආරක්ෂිත නිවාසයකට යාමට සිදු වූ අතර, එය ඔවුන් හා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ අතර හමුව සිදු වූ ආරක්ෂිත නිවාසයම බව ද හන්සීර් මවුලානා ප්‍රකාශ කර තිබෙනවා.

සහරාන් හෂීම්ව අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි තිබුණත්, ඒ සෑම අවස්ථාවකදීම පොලිස් විමර්ශනවලට බාධා එල්ල වූ බවත් බුද්ධි අංශ විසින් විමර්ශන නොමග යැවූ බවත් හන්සීර් මවුලානා පැවසූ බව චැනල්-ෆෝ නාලිකාව පවසනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සති 02 කට පෙර ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලාංකේය බුද්ධි අංශවලට සහරාන් හෂීම් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටින අතර, කතෝලික දේවස්ථාන එහි ඉලක්කය විය හැකි බව දැනුම් දුන් බවත්, අදාළ අනතුරු ඇඟවීම ඉහළ පෙළේ පොලිස් නිලධාරියකු විසින් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇති නමුත් ප්‍රහාරයෙන් පසු බලධාරීන් තමන්ට එය නොලැබුණු බව පැවසූ බවත් එහි දැක්වෙනවා.

‘ඔබට දකින්න පුළුවන් මේ තොරතුරු නිශ්චිතයි. දිනය නිශ්චිතයි. ස්ථානය නිශ්චිතයි. ප්‍රහාරකයින් නිශ්චිතයි.’ යැයි පවසා තිබෙන්නේ රජයේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයායි.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර උදෑසනම හන්සීර් මවුලානාට බලාපොරොත්තු නොවූ පරිදි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සාලේ ගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

“ඔහු කිව්වා ‘ඉක්මණටම ඔයාට ටාජ් සමුද්‍රා හෝටලයට යන්න’ කියලා. ‘කෙනෙක් ඔයා එනකල් බලන් ඉන්නවා, එළියට එන්න, එයාව ඉක්මණටම ඔයාගේ වාහනයට ගන්න, එයාව ගත්තට පස්සේ ඔයා එයාගේ දුරකතනය ගන්න, ඊට පස්සේ එයාගෙන් යන්න ඕන තැන අහලා ගිහින් බස්සන්න’ කියලා කිව්වා. ඒක තමයි ඔහු මට දීපු උපදෙස. ඒත් මං කිව්වා ‘සර්, මම ඉන්නේ මඩකලපුවේ’ කියලා.

එම වේලාවට අදාළ CCTV දර්ශනවලට අනුව ටාජ් සමුද්‍රා හෝටලයේ සහරාන්ගේ තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු සිට ඇති අතර, හන්සිර් මවුලානා පවසන ආකාරයට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සාලේ තමන්ට හමුවීමට පැවසූ පුද්ගලයා ඔහු බව චැනල්-ෆෝ නාලිකාව වාර්තා කරනවා.

කෙසේවෙතත්, අදාළ පුද්ගලයාට ලැබුණු දුරකතන ඇමතුමකින් පසු ඔහු ටාජ් සමුද්‍රා හෝටලයෙන් පිටව යන ආකාරත් චැනල්-ෆෝ වාර්තාවේ දැක්වෙනවා.

“FBI එකෙන් අපිට IP address එකක් දුන්නා. ඒ IP address එක පාවිච්චි කරපු පුද්ගලයා සහරාන් එක්ක සෘජු සම්බන්ධතාවක් තිබුණා. එයාලා කිව්වා ඒ ගැන හොයලා බලන්න කියලා. හමුදා බුද්ධි අංශයට සම්බන්ධ මුස්ලිම් නිලධාරියෙක් තමයි ඒ.” රජයේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා පැවසූ බවයි සඳහන් වන්නේ.

පාස්කු ප්‍රහාරයේදී සුරේෂ් සලේගේ දායකත්වය මොන වගේ වුණා කියල ද ඔබ හිතන්නේ? යන ප්‍රශ්නයට පිළිතුරු දුන් රජයේ උසස් නිලධාරියකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා පැවසුවේ,

“ඔහු ලොකු දායකත්වයක් දැක්වුවා. ඔහු ඊට පහසුකම් සැලසුවා. ඔහු මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිළිබඳව දැන සිටියා. විශේෂයෙන්ම සහරාන් සහ ඔහුගේ මැදිහත්වීම ගැන.”

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් කිහිප දිනකට පසු ගෝඨාභය රාජපක්ෂ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ අතර, යුද ජයග්‍රහණය ලද ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහුට රට ආරක්ෂා කළ හැකි බව ජනතාවට ඒත්තු ගැන්වීමට එය පහසුවක් වූ බව ද චැනල්-ෆෝ නාලිකාව පවසනවා.

“ඔවුන් මේ ඝාතන සිදු කළේ ඔහුගේ නියෝග මතයි. ඔවුන් තමයි ඔහුට බලය අරගෙන දුන්නේ.” අසාද් හන්සිර් මවුලානා පවසනවා.

රජයේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කළ බව කියන පුද්ගලයා පැවසුවේ : “ඔවුන් බලයට ආවට පස්සේ විමර්ශනවලට අදාළව සිටි සියලුම නිලධාරීන්ව මාරු කෙරුණා. විමර්ශන සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කෙරුණා.”

අනතුරුව 2020 වසරේදී පිල්ලෙයාන් නිදහස් කෙරුණු අතර, මාස 02 කට පසු චෝදනාවලින් ද නිදහස් කළ බවත් චැනල්-ෆෝ නාලිකාව පෙන්වා දෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ශන වාර්තාව හෙළි කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ නමුත්, අදාළ වාර්තාවේ පිටපතක් තමන් සතු බව ද චැනල් ෆෝ නාලිකාව පවසනවා.

+++++++++

Sri Lanka bombings: were 269 people killed for political power? – Dispatches exclusive

+++++++++++++

වසරකට පසු ගෝඨාභය කට අරී.. චැනල්-ෆෝ චෝදනාවට ප‍්‍රතිචාරය මෙන්න..

(07.09.2023 – 13:20 +0530 – lankacnews.com)

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය චැනල්-ෆෝ නාලිකාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි.

හිටපු ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය :

+++++++++++++

06-09-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *