ඒකීය වචනයට මුවාවී බෙදුම්වාදයට රට ගොදුරුවන ලෙස ෆෙඩරල් දෙන හැටි – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

ඒකීය වචනයට මුවාවී බෙදුම්වාදයට රට ගොදුරුවන ලෙස ෆෙඩරල් දෙන හැටි – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර


ඒකීය වචනයට මුවාවී බෙදුම්වාදයට රට ගොදුරුවන ලෙස ෆෙඩරල් දෙන හැටි – වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර

(21.08.2023 – 02:55 +0530 – lankaleadnews.com)

+


උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් මාස හයකට (6) පසුත් වලංගුයි

(21.08.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

උප්පැන්න, විවාහ සහ මරණ, සහතික පිටපත් මාස හයකට (6) පසු අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මාස හයකට (6) පමණක් වලංගු වන පරිදි මෙතෙක් පැවති රෙගුලාසි මේ වන විට ඉවත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන, විදේශ කටයුතු යන අමාත්‍යාංශවලටත්, ආගමන විගමන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවලටත් දැනුම්දී ඇති බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව අදාළ රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ඉදිරිපත් කිරීමේදී මාස හය (6) ඉක්මවූ පිටපත් වලංගු පිටපත් ලෙස පිළිගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් එම ලේඛනවලට යම් සංශෝධනයක් එක් කර ඇත්නම් පමණක් නව පිටපතක් ලබාගත යුතු වෙනවා ෴


ඖෂධයකට බිලිවූ පුංචි තෙනුජ සෝ සුසුම් මැද මිහිදන් වෙයි

(20.08.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිජීවක ඖෂධ ලබාදීමෙන් පසු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදි සැකකටයුතු ලෙස මියගිය පුංචි තෙනුජගේ අවසන් කටයුතු අද (20) පස්වරුවේ සිදුකෙරුණා.

දරුවා මියගියේ ක්ෂය රෝගය උත්සන්න වීමෙන් බවට රෝහල් බලධාරීන් පැවසුවද එම රෝගය දරුවාට පැවති බවට කිසිදු පෙර දැනුම්දීමක් හෝ රෝගයට අදාළ කිසිදු ප්‍රතිකාරයක් තම දරුවාට ලබා නොදුන් බවට මව්පියන් චෝදනා කරනවා.

කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 6 හැවිරිදි තෙනුජ සස්මිර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ දණහිසේ ඇතිව තිබූ ආබාධයකට සහ නිතර උණ රෝගය වැලඳීම හෙතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමටයි.

කෙසේ වෙතත් දින 6 ක් තිස්සේ පුංචි තෙනුජ ප්‍රතිකාර ලබා තිබුණද වෛද්‍යවරුන්ට නිශ්චිතව රෝගය හඳුනාගැනීමට නොහැකි වී තිබෙනවා.

දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වී දරුවා හුස්ම ගැනීමට අපහසු බව පැවසූ පසුව ඔහුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණේ යන්ත්‍රයකට සම්බන්ධ කිරීමටයි.

යන්ත්‍රයට සම්බන්ධ කිරීම සඳහා නිර්වින්දනය කළ පසුව යළි සිහිය නොලද තෙනුජ අවාසනාවන්ත ලෙස දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දරුවා මිය ගොස් ඇත්තේ ක්ෂය රෝගය වැළදීමෙන් බවයි.

එමෙන්ම දරුවාගේ රෝගී තත්ත්වය දරුවා මියයන තෙක්ම හඳුනාගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වු බවද වෛද්‍යවරයා ප්‍රකාශ කළා.

රෝගී තත්ත්වය උත්සන්න වූ දරුවාට වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ වර්ග 3 ක්ද ලබා දී ඇති අතර දරුවා ඖෂධ ලබා දීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවයි මව්පියන් චෝදනා කළේ.

කැලණිය දිප්පිටිගොඩ නිවසේ තැන්පත් කර තිබූ පුංචි තෙනුජගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

ඒ, සියලු දෙනාගේ සෝ සුසුම් මැද දිප්පිටිය පොදු සුසාන භූමියේදීයී.

+


පෞද්ගලික ඖෂධහලකින් ඖෂධයක් ලබාගත් කාන්තාවක් හදිසියේ මියයයි

(20.08.2023 – 19:39 +0530 – hirunews.lk/sinhala)

හොරණ – ඉංගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධහලකින් නිකුත් කළ ඖෂධයක් ලබා ගැනීමෙන් පසු 62 හැවිරිදි කාන්තාවක් හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වකුගඩු රෝගය, කොළෙස්ටරෝල් සහ දියවැඩියාව රෝගවලට කලක් තිස්සේ ප්‍රතිකාර ලැබූ අයෙක්.

කොලොස්ටරෝල් රෝගය සදහා මාසික සායනයේදී ඇයට ලබාදුන් ඖෂධ වට්ටෝරුව මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා විසින් අදාළ ඖෂධහලෙන් ලබාගෙන ඇත්තේ පසුගිය 31 වනදායි.

කොලෙස්ටෙරෝල් සඳහා නිකුත්කරන ලද ඖෂධ වට්ටෝරුවකට අනුව ඖෂධ නිකුත්කිරීමේදී අදාළ ඖෂධහල විසින් ලබාදී ඇත්තේ ‘පිළිකා සදහා ලබාදෙන ඖෂධ’ බවටද වාර්තා වනවා.

ඉන් අනතුරුව ඇතිවූ රෝගී තත්ත්වයන් උත්සන්න වීමෙන් ඇය අගෝස්තු 10 වනදා ඉංගිරිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දින දෙකකට (2) පසුව ඇයව හොරණ හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී රෝග උත්සන්න වී ඇය පසුගිය 13 වනදා සිහිසුන්ව ඇති අතර හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඇය අද (20) අලුයම මියගොස් ඇත්තේ.

කෙසේ වෙතත් සිද්ධියට අදාළව ඖෂධහලෙන් ඇයට ලබාදුන් ඖෂධ වට්ටෝරුව පිළිබඳ කළුතර දිස්ත්‍රික් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මෙය වැරදි ඖෂධය හේතුවෙන් සිදුවූ මරණයක්ද යන්න පිළිබඳ ද වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ ෴


හස්තියෙකුට වස ලබාදීමට උත්සාහ කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට – අයෙක් පළා යයි

(21.08.2023 – 08:34 +0530 – sinhala.adaderana.lk)

කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක හස්තියෙකුට වස මිශ්‍රිත පලතුරු ලබාදීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) කතරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

පෙරේදා (19) දිනයේ දී කතරගම ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක රැඳී සිටි ‘අසේල’ නැමැති හස්තියෙකුට පලතුරු ලබාදීමෙන් අනතුරුව එම හස්තියාගේ මුඛයෙන් ශ්ලේස්ම ගලාවිත් තිබේ.

මේ සම්බන්ධයෙන් ඇත් ගොව්වා විසින් අදාළ පාර්ශව වෙත දැනුම් දීමෙන් පසු පශු වෛද්‍ය නිලධාරීන් විසින් හස්තියාට ප්‍රතිකාර ලබාදී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් හස්තියා පරීක්ෂා කිරීමෙන් අනතුරුව පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ වස මිශ්‍රිත යමක් හස්තියා ආහාරයට ගෙන ඇති අතර එහෙත් විෂ ශරීරය පුරා පැතිර ගොස් නොමැති බවය.

අනතුරුව ඇත්ගොව්වා විසින් මේ සම්බන්ධයෙන් කතරගම පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

එහිදි සිදුකළ පරීක්ෂණෙවලින් අනතුරුව එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ මීට පෙර හස්තියා රැකබලා ගත් ඇත්ගොව්වා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත ‘කොමඩු ගෙඩියකට වස මිශ්‍රකර’ හස්තියාට ලබාදුන් බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මීට පෙර හස්තියා රැකබලා ගත් ඇත්ගොව්වා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සඳහන්ය ෴


අධ්‍යාපන චාරිකාවක් අතරතුර සිදුවු අනතුර

(21.08.2023 – 07:23 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යාපන චාරිකාවක ගිය දහම් පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක සිටි සිසුවෙක් ජනේලයෙන් එළියට හිස දැමීමේ දී අනතුරක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුර සිදුව ඇත්තේ හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට යන අතුරු මාර්ගයක දී බවය.

බස් රථයේ පිටුපස අසුනේ ගමන් කර ඇති සිසුවා ජනේලයෙන් එළියට හිස දැමීමේ දී විදුලි රැහැන් කණුවක ගැටී අනතුර සිදුව ඇත.

එහිදි තුවාල ලැබු සිසුවා කඩිනමින් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 16 ක් වු උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


මැදි වයසේ පුද්ගලයින් අතර හෘද රෝගීන් ඉහළ යයි

(20.08.2023 – 18:01 +0530 – sinhala.adaderana.lk)

අවුරුදු 30 ත් 45 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

ඔවුන් පෙන්වාදෙන්නේ 2021 වසරේ සිට ක්‍රමානුකූලව මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බවය.

ඉන් ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් ද වාර්තා වන බව වෛද්‍යවරුන් පවසති.

ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10 ත් 15 ත් අතර පිරිසක් පැමිණෙන බව සඳහන්ය.

ඔවුන්ගෙන් සියයට 90 ක් පමණ පිරිමි පුද්ගලයින් වීම ද විශේෂත්වයකි.

ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බව වෛද්‍යවරුන් පෙන්වාදෙති.

කෙසේවෙතත් හෘදයාබාධ වැළඳෙන රෝගීන් ඉහළ යාමට නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.

මේ අතර කරාපිටිය රෝහලේ පවතින වෛද්‍ය අර්බුදය සම්බන්ධයෙන් සොයාබැලීමට නිදහස ජාතික සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා අද (20) පෙරවරුවේ එම රෝහල වෙත ගොස් තිබුණි ෴


මස් මාංශ අනුභවය ගැන අවවාදාත්මක නිවේදනයක්

(20.08.2023 – 09:49 +0530 – sinhala.adaderana.lk)

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි.

එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා :

“මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍රකරලා සහා ගිනිතැබීම් කරලා මේ වනසතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනය කරන වනසතුන් මස්, දඩ මස් ලෙස සංචාරකයින්ට සහ අසල්වාසි ප්‍රදේශවල, විශේෂයෙන් මාතර හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වගේ ප්‍රදේශවල යන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කරනවා. විශේෂයෙන්ම මෙවැනි වසවිස යොදා ඝාතනය කරන සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවෙන් පුළුවන්. ඒ වගේම යම් ශාරීරික ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දිර්ඝ කාලීන ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොදන්නා ප්‍රදේශ්වලට ගිහිල්ලා දඩ මස් ආහාරට ගැනීමෙන් වළකින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *