කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට 19-08-2023 දින පැය 18 ක ජල කප්පාදුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට 19-08-2023 දින පැය 18 ක ජල කප්පාදුවක්


කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට 19-08-2023 දින පැය 18 ක ජල කප්පාදුවක්

(17.08.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව එදින (19) පෙරවරු 8 සිට සිට ලබන 20 වන ඉරිදා අලුයම දෙක (02:00) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවලට මෙන්ම, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.

එමෙන්ම, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා ෴


දෙල්කඳදී අත්අඩංගුවට ගත් තේ දළු ව්‍යාපාරිකයා කොලොන්න පොලිසියට

(19.08.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ – දෙල්කඳ ප්‍රදේශයේදී මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතුරුදන් වූ බව පැවසූ තේ දළු ව්‍යාපාරිකයා කොලොන්න පොලිසියට භාර දී තිබෙනවා.

ඒ වැඩිදුර පරීක්ෂණ සඳහායි.

ඊයේ (18) රාත්‍රියේ සිය මිතුරෙකු සමග සිටියදීයි අදාළ ව්‍යාපාරිකයා මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ.

පැහැර ගැනීමක් බව ඇගවෙන පරිදි ව්‍යාජ අපරාධයක් මවා පා අදාළ ව්‍යාපාරිකයා තම ණයකරුවන්ගෙන් බේරී සිටීමට මෙලෙස කටයුතු කර ඇති බව විමර්ශන වලදී හෙළිව තිබෙනවා ෴

+


අග්බෝට සෙත් පිරිත් දෙසුමක්

(19.08.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

අසාධ්‍යව සිටින අග්බෝ ඇතුට හා අග්බෝ මෙහෙයුමට එක්ව සිටිය සියල්ලෝටම සෙත් පතා ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමි හිමිපාණනන් හා ඓතිහාසික උපුල්වෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ධාගම ධම්මාලංකාර හිමිපාණන් වහන්සේලා පිරිත් සජ්ජායනාවක් ඊයේ (18) පැවැත්වුවා.

එම පිරිසට පිරිත් සජ්ඣායනා කොට පිරිත් නූල් බැඳ, පසුව අග්බෝ ඇතුට ජලය ලබා දෙන ජල බඳුන් වලට පිරිත් පැන් එකතු කිරීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටින්නේ.

ඉන් අනතුරුව වනජීවී නිලධාරීන් හා එක්ව අග්බෝ ඇතාට ආහාර ලබා දීමට කටයුතු කරණු ලැබූ අතර, පසුව අග්බෝ ඇතා ආහාර ලබා ගන්නා ස්ථානයේ ඇතුට අවහිරයක් නොවන පරිදි , පිරිත් නූලක් ඇතුගේ පාද වලට ස්පර්ශ වන අන්දමින් බිම තබා පිරිත් සජ්ජායනා සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී අග්බෝ හස්තියා තම හොඩයෙන් පිරිත් නූල රැගෙන තම අසාධ්‍ය කකුලේ ඒ දවටා ගන්නා අයුරු හිරු කැමරා කාචයේ සටහන් වී තිබුනේ මෙලෙසින්.

අනතුරුව පිරිත් අවසන් වනතුරුම ඇතු පිරිත් නූල ඉදිරි අතෙන් පාගාගෙන පිරිත් අවසන් වනතෙක් නිසොල්මන්ව රැඳී සිටිමින් ආහාර ලබා ගන්නා අයුරු සියල්ලෝම සන්වේදී කරන සිදුවීමක් බවට පත්ව තිබුණා.

+


මුදල් වංචාවක් සිදු කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(19.08.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තය හා පෝලන්ත රටෙහි විදේශ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි විමර්ශන කටයුතු සිදුකර ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට ලැබුණු පැමිණිලි 07 කට සම්බන්ධවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55 ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු විසින් කොළඹ 05 ප්‍රදේශයේ ආයතනයක් පවත්වා ගෙන යමින් විදෙස් රැකියා ලබාදෙන බවට රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වංචාකර ඇති බවත්, විදෙස් සේවා නියුක්තිය සඳහා පුද්ගලයින් විදේශගත කිරීම සම්බන්ධ‍ව විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ ලියාපදිංචි සහතිකයක් සැකකරු විසින් ලබාගෙන නොමැති බවත් අනාවරණය වී තිබෙනවා.

පොලිසිය වැඩිදුර පැවසුවේ කොළඹ වංචා විමර්ශන කාර්යංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවයි ෴


ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි පරික්ෂා කිරීමට අවස්ථාව

(19.08.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2023) ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව තිබේදැයි පරික්ෂා කර ගැනීමට හැකියාවක් තිබෙනවා.

ඡන්ද හිමි ලේඛනයට නම ඇතුළත්ව ඇද්දැයි ලබන සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා ග්‍රාම නිලධාරීන්ගෙන් විමසිය හැකි බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසන්නේ.

ඒ අනුව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් හෝ https://www.elections.gov.lk/ යන වෙබ් අඩවියට පිවිස හෝ නම ඇතුළත්ව ඇද්දැයි පරීක්‍ෂා කළ හැකි බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසන්නේ ෴


ව්‍යාජ ලේඛන සකසා වාහන විකුණු සැකකරුවන් අත්අඩංගුවට

(19.08.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් වාහන ව්‍යාජ ලේඛන සකස් කර විකිණීම සම්බන්ධයෙන් සැකරුවන් දෙදෙනෙකු (2) හා සැකකාරියක් (1) ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි විමර්ශන සිදු කර ඇත්තේ පානදුර අපරාධ විමර්ශන කාර්යංශයට ලැබුණු පැමිණිල්ලක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක හා 46 ක වයස්වල පසුවන දඹුල්ල හා කල්එළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී විකුණන ලද හා උකස් කරන ලද තවත් කාර් රථ දෙකක් (2) පොලිසියට ගත් බවයි.

මීට අමතර සැකකරුවන් සන්තකයේ තිබි ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර දෙකක් (2) හා වරාය අධිකාරියේ සේවක හැදුනුම්පත් ඇතුළු ලේඛන ‍රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පරීක්ෂණ පානදුර අපරාධ පරීක්ෂණ කාර්යංශය සිදු කරන බවයි ෴


දඩයක්කාරයන් ගැන දැනුම්දීමට දුරකථන අංකයක්

(18.08.2023 – 18:18 +0530 – hirunews.lk/sinhala)

රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජල සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 1992 ට දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේ ජල සොයා එන වන සතුන් ජලය පානය කරන කුඩා ජලාශවලට විෂ දමා සතුන් දඩයම් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් විෂ ශරීරගත වීමෙන් මරණයට පත්වන සතුන්ගේ මස් අනුභව කිරීම මිනිස් සිරුරට අහිතකර බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා ෴


ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් මල්කැකුළට දිවි අහිමි වෙයි

(19.08.2023 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු තවත් මල්කැකුළට දිවි අහිමි වූ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ අවුරුදු 6 ක් වයසැති දරුවෙක්.

දරුවාගේ මව්පියන් චෝදනා කරන්නේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගැටලු රැසකට මුහුණ පෑවේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයෙන් පසුව බවයි.

කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචි 6 හැවිරිදි තෙනුජ සස්මිර නානායක්කාර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 09 වැනිදා යි.

ඒ දණහිසේ ඇතිව තිබූ ආබාධයකට සහ නිතර උණ රෝගය වැළඳීම හෙතුවෙන් දින 6 ක් තිස්සේ පුංචි තෙනුජට රෝහලෙන් විවිධ ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් ලැබී තැහැ.

ඔහුගේ රෝගී තත්ත්වයද නිශ්චිතව හඳුනාගැනීමටද නොහැකි වූ බවයි මව්පියන් පවසන්නේ.

කෙසේ වෙතත් දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති අතර හුස්ම ගැනීමේ රටාව අසාමාන්‍ය බව පවසමින් දරුවා දැඩි සත්කාර ඒකකයට යොමුකර
යන්ත්‍රයකට සම්බන්ධ කිරීමටයි කටයුතු කර ඇත්තේ තෙසේ වෙතත් යළි සිහිය නොලද තෙනුජ අවාසනාවන්ත ලෙස දැඩි සත්කාර ඒකකයේදී මියගොස් තිබෙනවා.

පසුව වෛද්‍යවරුන් පවසා ඇත්තේ දරුවාගේ පෙනහැල්ල හැකිලීමකටද ලක්ව තිබූ බවයි.

රෝගී තත්ත්වය උත්සන්න වූ දරුවාට වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ 3 ක්ද ලබා දී ඇති බවයි මව්පියන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් අප කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ දරුවා මිය ගොස් ඇත්තේ ක්ෂය රෝගය වැළදීමෙන් මිස දරුවාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් නොවන බවයි.

පුංචි තෙනුජගේ දේහය මේ වන විට ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර හෙට (20) දින දේහය පිළිබඳ අවසන් කටයුතු දිප්පිටිගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රීලංකා වෛද්‍ය සභාව පනවන ලද වැඩ තහනම නොතකා සේවය කිරීම හේතුවෙන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රහුල් හක් අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මතයි දිනේෂ් ෂාෆ්ටර් මරණ පරීක්ෂණය, රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ඉවත් කිරමෙන් පසු මියගිය දරුවාගේ මරණ පරීක්ෂණය ඇතුළු ආන්දෝලනාත්මක තීරණ ඇතුළත් මරණ පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබුණේ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරී රහුල් හක් විසින් වන අතර ඒ වනවිටත් ඔහු තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබූ බවයි හෙළි වුණේ.

+


දුරකතනය අමතමින් රේල් පාරේ ගිය කත දුම්රියට බිලි

(19.08.2023 – 22:18 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකථනයකින් ඇමතුමක් ගනිමින් දුම්රිය මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් දුම්රියේ ගැටිමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට කොටගල – හැටන් අතර ‘අඩි 60’ පාලම නම් වූ ස්ථනයේදීයි මෙම කාන්තාව ගැටී ඇත්තේ.

එලෙස දුම්රියේ ගැටීමෙන් මියගිය කාන්තාවගේ මළ සිරුර එම දුම්රියෙන්ම කොටගල දුම්රිය ස්ථානයට ගෙනවිත් ඇති බවත්, එම මළ සිරුර කොටගල රෝහල වෙත ගෙන යාමට පියවර ගන්නා බවයි අප කළ විමසීමක දී පොලිසිය පැවසුවේ.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හැටන් කුඩාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *