ජනපති රනිල් නොදන්නා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය කුරුන්දි විහාරාධිපති හිමියෝ කියා දෙති

ජනපති රනිල් නොදන්නා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය කුරුන්දි විහාරාධිපති හිමියෝ කියා දෙති


ජනපති රනිල් නොදන්නා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය කුරුන්දි විහාරාධිපති හිමියෝ කියා දෙති

(14.06.2023 – 18:32 +0530 – lankaleadnews.com)

මුලතිව් කුරුන්දි මහා විහාරයේ භූමි ප්‍රමාණය වැඩි බවත්, මහා විහාරයේ භූමි ප්‍රමාණය හා කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය සංසන්දනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සමග එක්ව පැවසූ ප්‍රකාශයට පිළිතුරු සපයමින් කුරුන්දි විහාරාධිපති හිමියන් කුරුන්දි විහාරයේ භූමි ප්‍රමාණය ගැන සවිස්තර පැහැදිලි කිරීමක් සිදු කරති.

මෙරට බෞද්ධ ශාසනය ආරම්භ වූ ස්ථානය මහා විහාරය බැවින් එම විහාරයට මහා විහාරය යන නම භාවිත වන බවත්, මහා විහාරය සතුවද අක්කර 2000 කට ආසන්න භූමි ප්‍රමාණයක් පවතින බවත් කුරුන්දි විහාරාධිපති හිමියෝ පවසති.

මෙරට සුදු ජාතිකයන් පාලනය කළ 1933 මැයි මස 18 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් කුරුන්දි විහාරයට අක්කර 78 ක් ගැසට් කළ බවත්, පසු කාලීන ගවේෂණ වලදී ඊට වඩා වැඩි වපසරියක නටඹුන් විසිරී තිබීම හේතුවෙන් අක්කර 229 ක් ඇතුළත් නව ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් උන්වහන්සේ පවසති.

තවමත් මෙම භූමයේ හඳුනාගෙන ඇත්තේ නටඹුන් විසිරී ඇති ප්‍රදේශය පමණක් බවත්, නාගචෝල වන රක්ෂිතය තුළ නටඹුන් විසිරුණු බොහෝ ස්ථාන ඇති බවත් විහාරාධිපති හිමියෝ හෙළිකරති.

2018 – 2020 වැනි කාලයේ දී මෙම රක්ෂිතයේ විශාල වන සංහාරයක් සිදුවූ බවද, ශෂි කුමාර් නමැති ද්‍රවිඩ පුද්ගලයා විහාර භූමියට ගැසට්කර තිබූ අක්කර 229 ට අයත් භූමියේ වනය කපා දමා අනීතිකව හා බලහත්කාරයෙන් වැවක් සෑදූ බවද උන්වහන්සේ පවසති.

ඉන්පසුව එම භූමියේ කුඹුරු වගාකිරීමට භූමිය යොදාගැනීමක් සිදු කළද මේ වන තෙක් එකඳු හෝ වී ඇටයක් වගානොකළ බවද, කුඹුරු වගා කිරීම අතීතයේ සිට සිදු කළ බවට පවසන ප්‍රකාශ කිසිසේත් සත්‍ය නොවන බවද උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කරති.

සවිස්තරාත්මක වීඩියෝව :


උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සංහාරය කිරීමේ බෙදුම්වාදී මෙහෙයුම ගැන අරුන් සිද්ධාර්ථ හෙළිකරයි

(14.06.2023 – 14:37 +0530 – lankaleadnews.com)

උතුරේ දෙමළ දේශපාලකයන්ගේ ඊළාම් සිහිනය බිඳවැටෙමින් පවතින පසුබිමක, ඔවුන් වෙනම රාජ්‍යයක් දිනාගැනීම සඳහා මෙතෙක් සිදුකළ උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත්, ඔවුන්ගේ ඊළඟ මෙහෙයුම වී ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේ ඓතිහාසික බෞද්ධ උරුමයන් විනාශ කිරීම බවත් ‘යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ’ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි.

ඒ සඳහා ඔවුන් උතුරේ ජනමාධ්‍ය පවා යොදාගන්නා ආකාරය පිළිබඳ පැහැදිලි හෙළිදරව්වක් ඔහු විසින් සිදුකරනු ලබයි.

ඉකුත් මාර්තු මාසයේ දී වව්නියාවේ වෙඩුක්කුනාරී හින්දු කෝවිල සිංහල පිරිසක් විසින් කඩාබිඳ දැමූ බවට මෙම මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරයක් ද දියත් කළ බවත්, යාපනයේ මුද්‍රණය වන දමිළ පුවත්පත් කිහිපයක් මෙම අසත්‍ය ප්‍රචාර රැගෙන ගියේ එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලකයින් වන නිසා බවත් ඒ මහතා හෙළිකරයි.

වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ උරුමයන් විනාශ කිරීම මගින් එම ප්‍රදේශවල භූමිය තමන් යටතට ගැනීමට මෙම ජාතිවාදී පිරිස් උත්සාහ දරන බව අරුන් සිද්ධාර්ථ මහතා වැඩි දුරටත් පවසයි.

වීඩියෝව නරඹන්න :

+


ජනාගේ කුරුන්දි කතාවෙන් තම නොදැනුවත්කම සහ අධිපතිවාදීකම පමණක් නොවේ; බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන්න තමන් සූදානම් බව පෙන්නුවා – ජාතික සංවිධාන කියයි

(14.06.2023 – 11:08 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

ජනා කුරුන්දි විහාරය පිළිබඳ සාකච්ඡාවේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයාට කතා කළ ආකාරය පිළිබඳ ප්‍රබල කතාබහක් ඇතිවී ඇති තත්ත්වය තුළ ‘ලංකා ලීඩ්’ ‘ජාතික සංවිධානවල’ මතය විමසන ලදී.

මේ ඒ පිළිබඳව අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා :

“එම කතාවෙන් ජනා තම නොදන්නාකම සහ අඳබාලකම පමණක් නොවේ තමන්ගේ උද්දච්ච අධිපතිවාදී මතය ප්‍රදර්ශනය කළා. ඒ සියල්ලටම වඩා ඔහු බෙදුම්වාදීන්ගේ ඡන්ද ලක්ෂ 3 ක් දෙස බලාගෙන ඔවුන් සතුටු කිරීම සඳහා අභිසාරිකාවක් සේ හැසිරුණු ආකාරය පිළිකුල් සහගතයි.

ඒක තමයි බරපතළම තත්ත්වය. මහාචාර්ය මනතුංග මහතාත් බෙදුම්වාදීන්ගේ බලපෑම්වලට යට වෙලා සමලංකුලමේ බෞද්ධ නටඹුන් මත කෝවිලක් හදන්න අවසරය දීපු කෙනෙක්. එහෙත් ඔහු සියළුම දේ කරන්න සූදානම් නැති අභිසාරිකාවක් බව තමයි පෙන්නුවේ. ඒ අනුව ඔහු ජනාට වඩා වැදගත් අභිසාරිකාවක් කියල තමයි කියන්න තියෙන්නේ. මන්ත්‍රීවරයකු වෙන්න පවා ජනවරමක් නැති අය හැසිරෙන ආකාරය තමයි මේ” ෴


කුරින්දි විහාරය දෙමළ බෞද්ධයින්ගේ ඉදි කිරීමක් නෙවෙයි… ජනාධිපතිවරයා ඉතිහාසය නොදන්නාකම ප්‍රදර්ශනය කරනවා – උදය ගම්මන්පිල

(14.06.2023 – 08:37 +0530 – lankaleadnews.com)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් මහචාර්ය අනුර මනතුංග මහතා කොන්ද පණ තිබෙන නිලධාරියෙකු ලෙසින් ජනාධිපතිවරයාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ජනාධිපතිතුමා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට ඉතිහාසය පිළිබඳ පාඩම් කියාදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වල වේගයෙන් සැරිසරනවා.

ජනාධිපතිතුමා කියන ආකාරයෙන් ඇමති මණ්ඩල තීන්දු පමණක් ක්‍රියාත්මක කරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හැකියාවක් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික වගකීම පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කරන්න. නමුත් ජනාධිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස්ට උපදෙස් දෙනවා කුරින්දි විහාර භූමියට අක්කර 275 ක් පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් බවට තීරණය කරන්න එපා. එච්චර වැඩියි කියලා. යම් ස්ථානයක අක්කර කීයක් පුරාවිද්‍යාත්මකව වැදගත් ද කියලා ජනාධිපතිටවත් ඇමති මණ්ඩලයටවත් තීරණය කරන්න බෑ. ඒක පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පුරාවිද්‍යාඥයන් කළ යුතු වැඩක්. ඒ නිසා ඒ නියෝගය නීති විරෝධියි. නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරලා අමාරුවේ වැටෙන්න බැරි නිසයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා තමන්ගේ ඉල්ලා අස්වීම බාර දීලා තියෙන්නේ.

ජනාධිපතිතුමා එතැන දී ඉතිහාසය පිළිබඳ ‘තම දන්නා කම’ ප්‍රදර්ශනය කරන්න ගිහින් ‘නොදන්නාකම’ ප්‍රදර්ශනය කරනවා. එතුමාට අනුව නම් කුරුන්දි විහාරය ඉදි කරල තියෙන්නෙ දමිළ බෞද්ධයන් විසින්. කුරින්දි විහාරය දෙමළ බෞද්ධයින්ගේ ඉදි කිරීමක් නොවේ. මහවංශයට අනුව ක්‍රිස්තු පූර්ව 110 සිට 103 දක්වා රජකම් කළ ඛල්ලාටනාග රජතුමා තමයි කුරින්දි විහාරය ඉදි කලේ. මේ පිරිවෙනේ තමයි ‘කුරින්දි සිංහල අට්ඨ කතා’ රචනා කලේ. ඒ වගේම ලංකාවේ ඇති පද්මාකාර එකම දාගැබ තිබෙන්නෙත් මේ විහාරයේ.

1977 මැතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන නායකයා වුණු සිරිල් මැතිව් ඇමතිතුමා විසින් 1983 දී යුනෙස්කෝ සංවිධානයට යැවූ අභියාචනයේ දීත් අන්තවාදින් විසින් විනාශ කරන පුරාවිද්‍යා ස්ථානයක් ලෙස කුරින්දි විහාරය සඳහන් වෙනවා. වත්මන් ජනාධිපතිවරයාගේ දේශපාලන ගුරුවරයා විසින් මේ සම්බන්ධයෙන් රචිත පොත පත කියවා බලන්න මා ජනාධිපති වරයාට ආරාධනා කරනවා.

මහ විහාරයට වඩා කුරින්දි විහාරය විශාල වෙන්න බෑ කියලා ජනාධිපති ප්‍රකාශ කරනවා. කුරින්දි විහාරය කියන්නේ ප්‍රාදේශීය විහාර සංකීර්ණයක් සහ පිරිවෙනක්. මහ විහාරය කියන්නේ අනුරාධපුර අගනුවර මැද ඉදිවුණු නාගරික විහාරයක්. අද වුණත් කෙතරම් වැදගත් වුණත් නගර මැද තිබෙන නාගරික විහාර ඉඩමේ වපසරියෙන් ග්‍රාමිය විහාර වලට වඩා පොඩියි. ඒ නිසා කුරින්දි විහාර සංකීර්ණය මහ විහාරයට වඩා විශාල වෙන්න පුළුවන්. ඒ වගේම කුරින්දි කියන්නේ විහාරයක් පිරිවෙනක් විතරක් නොවේ. විහාර සංකීර්ණයක්. ඒ නිසා ඒක කොහොමත් මහ විහාරයට වඩා විශාලයි.

තුන් වෙනුව අනුරාධපුරයේ මහ විහාරය කියන්නේ පුරාවිද්‍යා ගවේශන බොහෝ දුරට සම්පූර්ණ කළ තැනක්. ඒ නිසා පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම් කළ යුතු ප්‍රදේශය කුමක්ද නිදහස් කළ හැකි ප්‍රදේශය කුමක්ද කියා තීරණය කරන්න පුළුවන්. කුරින්දි ප්‍රදේශයේ අක්කර 275 ක් පුරා නටබුන් හමු වුණු නිසා තමයි ඒ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස මායිම් ගල් දාලා තිබෙන්නේ. කුරින්දියේ පුරාවිද්‍යා කැනීම් තවමත් නිසි ලෙස සිදු වෙලා නෑ. ගවේශනය අවසන් කළාට පස්සේ තමයි ඉඩම් නිදහස් කිරීම කරන්න පුළුවන්. ඊට කලින් ඉඩම් නිදහස් කලොත් වසර දහස් ගණනක් පරණ ලෝක උරුමයන් සදහටම විනාශ වෙන්න පුළුවන්. 1976 ජූලි 29 දා වසර දෙදහසක් (2000) පැරණි උතුරේ කිලවෙඩ්ඩි බෝධිය කළ විධියට මේ පුරාවස්තු විනාශ නොකරාවි කියන සහතිකය ජනාධිපතිට දෙන්න පුළුවන් ද?

ඒ වගේම වසර සීයකට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ ජනතාව කුඹුරු කළා කියලා දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් පට්ටපල් බොරු කියන විට ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කිසිම විමසීමක් නැතිව ඒ බොරු පිලිගන්නවා.

ජනාධිපතිතුමා ඉතාම ආඩම්බරයෙන් ඇත්ත කියලා හිතාගෙන බොරු වැලක් කියාගෙන ගියේ කුරුන්දි විහාරය පිළිබඳ වැරදි පොත් කියවා තිබෙන නිසා වෙන්න ඕනෑ. ඒ නිසා පුරාවිද්‍යා සාක්ෂි පිලිබඳ මෑතකාලින සොයා ගැනීම් අඩංගු ‘කුරුන්දි බෞද්ධ උරුමය’ කියන මේ පොත කියවන මෙන් මම ජනාධිපතිතුමාට ආරාධනා කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් මැද කොළඹ ආසන සංවිධායක මේනක නිරංජන් යන මහත්වරුන්ද සහභාගි විය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *