ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක්

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක්


ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ පුරප්පාඩු 1,500 ක්

(08.06.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවාවේ සතින පුරප්පාඩු 1,500 ක ප්‍රමාණය නිසා ගුරු සිසුන්ට ඉගැන්වීම් කටයුතුවලට හා ගුරුවරුන්ගේ දැනුම් ඉහළ දැමීමේ කටයුතුවලට දැඩි බාධා සිදුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා කතිකාචාර්යවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල හා ගුරු විද්‍යාලවල හා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන්නේ, කතිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් 700 කට ආසන්න ප්‍රමාණයක් බවත්, එහෙත් අදාළ කටයුතු සිදුකිරීම සඳහා 2,200 ක පමණ ප්‍රමාණයක් සිටිය යුතු බවත් එම සංගමයේ ලේකම් එම්.පී.එච්, සවනතිලක වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන 113 ක් පවතින බවත්, මෙම ස්ථානවල කතිකාචාර, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් ආසන්න වශයෙන් 225 ක් වත් සිටිය කළ යුතු නමුත්, අදාළ ස්ථානවල සිටින්නේ, සිටිය යුතු ප්‍රමාණයෙන් හරි අඩක ප්‍රමාණයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරී, ඇති වී තිබෙන ගැටලු විසදීම පමා කරමින් තිබෙන නිසා එයට පසුගිය මස 23 වැනිදා එක්දින වෘත්තීය ක්‍රියාමාර්ග සිදු කළ බවත්, එහෙත් තවමත් අදාළ ගැටලු විසදීමට අවශ්‍ය කටයුතු කර නොමැති බවත් ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව දෙවැනි ක්‍රියාමාර්ගය ලෙස ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බදවා ගැනීමට අදාළ කටයුතුවලින් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවත්, මේ ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග සිදුකිරීමට සිදු වී තිබෙන්නේ, පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම, වැටුප් විෂමතා ඉවත් නොකිරීම අධ්‍යාපන විශ්වවිද්‍යාව ආරම්භ නොකිරීම ඇතුළු ගැටලු 09 ක් මුල්කරගෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙහිදී ලේකම්වරයා සඳහන් කළේ ගුරුවරුන් පුහුණු කරන කතිකාචාර්යවරුන්ගේ හා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්ගේ වැටුප ගුරු වැටුපට වඩා අඩු වී තිබෙන බවත්, මෙම විෂමතාව ඇති වූයේ, ගුරු වැටුප් විෂමතා විසඳීමට සමානව මෙම සේවාවට ඇති වී තිබූ වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකිරීම නිසා බවයි.

මේ නිසා වැටුප් විෂමතා ඉවත් කරන තෙක් රුපියල් 30,000 මාසික දීමනාවක් ලබාදෙන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියා ෴


වසර 05 ක් තුළ රැකියා 73,440 ක් අහිමි වෙයි – මනූෂ නානායක්කාර

(08.06.2023 – 08:40 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ සිට වසර 05 ක කාලය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලාවල සේවය කළ 73,440 දෙනෙකුගේ රැකියා අහිමිව ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවති විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ නවතම සමීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය වූ බවයි ෴


මුදල් වංචාවකට සම්බන්ධ පුද්ගලයෙකු වෙන්නප්පුවේ දී අත්අඩංගුවට

(08.06.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 25 කට අධික මුදලක් වංචා කළ පුද්ලයෙකු වෙන්නප්පුව පොලිසියය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙන්නප්පුව පොලිසියට ලැබුණු පැමිණිලි 8 කට අනුව මෙම පුද්ගලයා ඊයේ (07) අත්අඩංගුවට ගත් බවයි.

35 හැවිරිදි සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද (08) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


යාපනයෙන් හා කිළිනොච්චියෙන් මළ සිරුරු 2 ක් හමුවෙයි

(08.06.2023 – 09:06 +0530 – hirunews.lk/sinhala)

යාපනය හා කිළිනොච්චිය යන ප්‍රදේශවලදී මියගිය පුද්ගලයින් දෙදෙනකුගේ (2) මළසිරුරු පොලිසිය විසින් ඊයේ (07) සොයා ගෙන තිබෙනවා.

කිළිනොච්චියේ සෙල්වනගර් පුදුකුලම් වැවේ පාවෙමින් තිබියදි ගොඩගත් මළ සිරුර සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දරුවන් 6 දෙනකුගේ පියෙකුගේ බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහු වැවේ ගිලී මියගියේ ද එසේ නොමැති නම් වෙනත් ආකාරයකින් මිය ගියේ ද යන්න මෙතෙ ක් හෙළි වී නැහැ.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහල වෙත පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර යාපනයේ අල්වායි මාවිලන්කඩි පාරේ තිබී සොයා ගන්නා ලද වයස අවුරු දු 81 ක පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යාපනයේ පේදුරුතුඩුව රෝහල වෙත බාර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පුද්ගලයා මරණයට පත්වීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම මරණ සම්බන්ධයෙන් යාපනයේ පේදුරුතුඩුව පොලිසිය හා කිළිනොච්චිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴


විදෙස් සංචිත ඩොලර් බිලියන 3.4 ක් දක්වා ඉහළට

(08.06.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ නිල සංචිත මැයි මාසයේ දී ඩොලර් බිලියන 3.4 දක්වා ඉහළ ගොස් ඇති බව, මහබැංකුව ප්‍රකාශ කළා.

එය අප්‍රේල් මාසයේ දී පැවතියේ ඩොලර් බිලියන 2.7 ක් ලෙසයි.

ඒ අනුව පෙර මාසයට සාපේක්ෂව සියයට 26.2 ක ඉහළ යාමක්.

චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4 ක මූල්‍ය පහසුකමද ඊට ඇතුළත් වෙනවා ෴


ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී පුද්ගලයකු මරුට

(08.06.2023 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල-කොළඹ මාර්ගයේ දැව සංස්ථාව අසලදී ත්‍රිරෝද රථයක් පාපැදියක ගැටී ඊයේ (07) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ අලුත්ගම දෙස සිට කළුතර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එම දිශාවටම ගමන් කළ පාපැදියක ගැටීමෙන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු බේරුවල රෝහලට ඇතුළු කිර්‍ර්මේදී මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි දර්ගා නගරයේ ගඟඅද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇහි අතර අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


කුඩා දරුවන්ට අක්ෂි ආබාධ ඇති වීමේ ප්‍රවණතාවක්

(08.06.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ (2023) පළමු (1) ශ්‍රේණියට ඇතුළත් වු සිසු දරුදැරියන් පිරිසක් වෙනුවෙන් පාසල් ගුරුවරුන් හා සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ ඇස්, දත් හා කන් සම්බන්ධ මූලික පරීක්ෂාවක දී ඉන් දරුවන් හය (6) දෙනකුට මීටර 10, 12 සම්මත දුරක දෘෂ්ටි පරීක්ෂාවේදී කියවීම අසමත් වී ඇති බව වාර්තා වී තිබෙනවා.

මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ පාසලකයි.

දරුවන් හඬන විට නැළවීමට, කෑම කැවීමට, ඖෂධ හා දියර වර්ග ලබාදීමට පෙර-පාසල් අවධියේ සිටම මවුපියන් දරුවන්ට ජංගම දුරකතන ලබා දීමට කටයුතු කර තිබෙන බවයි සෞඛ්‍ය අංශ හා ගුරුවරු ද පවසන්නේ.

මෙය නොකළ යුතු කටයුත්තක් බවත් ඉන් ඉදිරියේදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා බාධා ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇතැයි ද ඔවුන් වැඩිදුරටටත් පෙන්වා දෙනවා.

එම පාසලේ ගුරුවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් එම දරුවන් තවදුරටත් පරීක්ෂාවට ලක්කර ආසන්නම රෝහලේ අදාළ සායන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කුඩා දරුවන්ගේ අක්ෂි ආබාධවලට හේතු වී ඇත්තේ ජංගම දුරකතන භාවිතය ඇතුළු විද්‍යුත් උපකරණ භාවිතය බව අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ හිටපු අක්ෂි විශේෂඥ වෛද්‍ය ධර්මා ඉරුගල්බණ්ඩාර ඊයේ (07) සඳහන් කර සිටියා ෴


එරාවුර් ප්‍රදේශයේ නිවසක සිර කර සිටි 60 හැවිරිදි මවක් පොලිසිය බේරා ගනියි

(08.06.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

එරාවුර් රෝහල් වීදිය ප්‍රදේශයේ පාලු නිවසක අගුලු දමා සිරකර සිටි 60 හැවිරිදි මවක් සම්බන්ධයෙන් එරාවුර් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මාස 2 කට අධික කාලයක් තිස්සේ කිසිදු පහසුකමක් නොමැතිව එම නිවස තුළ එම මව රඳවා ඇත්තේ ඇයගේ දියණිය බවටයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් එරාවුර් පොලිසියෙන් අප කළ විමසීමක දී ප්‍රකාශ කළේ පොලිස් කණ්ඩායමක් මෙම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ෴


මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් මානව හිමිකම් ‍යයි

(08.06.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් පොලිසිය කටයුතු කර ඇතැ‍යි පවසා එම මන්ත්‍රීවරයා විසින් යාපනය ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (07) මරදන්කේණි පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණ පසුගිය 02 වැනිදා වඩමාරච්චි විභාග ශාලාවක් අසල සිදු වූ ආරවුලක් සම්බන්ධව කරුණු දැක්වූ බව වාර්තා වෙනවා.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කටයුතුවලට බාධා කිරීම, ඔහුට පහර දීමට උත්සාහ ගැනීම, බැන වැදීම හා තර්ජනය කිරීම සම්බන්ධවයි මන්ත්‍රීවරයා මරදන්කේණි පොලිසියට එරෙහිව මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ.

හෙට (09) දිනයේ ද තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) මානව හිමිකම් කාර්යාලයට පැමිණ කරුණු දැක්වීමට නියමිතයි ෴


ශ්‍රී ලංකාවේ තැඹිලිවලට ජපානයේදී වැඩි ඉල්ලුමක්

(08.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවති බව වැවලි කර්මාන්ත අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයන්ට එය සුබදායි පණිවුඩයක් බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් අදාළ උත්සවය ජපන් – ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධාන කෙරුණා.

එහිදී තැඹිලිවලට අමතරව වෙනත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් මිලදී ගැනීමට ජපන් වැසියන් කටයුතු කළ බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ ෴


තාවකාලික බලපත්‍ර සහ කල් ඉකුත් වූ ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කිරීමට විදුලිබල මණ්ඩලයෙන් උපදෙස්

(08.06.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

තාවකාලික බලපත්‍ර සහ කාලය ඉක්මවා ඇති ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කිරීමට සහ ‘ටෙන්ඩර් කර ඇති නමුත් සාධනීය කාර්යයක් සිදුනොකරන’ සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදුන් බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.

2023 සිට 2026 දක්වා සහ 2026 සිට 2030 දක්වා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සැළසුම් පිළිබඳ සාමාලෝචන රැස්වීම ඊයේ (07) පැවති අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴


ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

(08.06.2023 – 12:20 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ලබන 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු ‘හිරු ප්‍රවෘත්ති’ වෙත සදහන් කළේ.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ පසුගිය මස 16 වනදා තමන් සමඟ පත්වූ ආණ්ඩුකාරවරියක් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු (2) ඉවත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බවයි.

කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකිරීමට ප්‍රමාද වූයේ තමන් විදෙස්ගතව සිටින නිසා බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *