‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි

‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි


‘බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ’ සභාපති කියයි

(07.06.2023 – 10:48 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල අඩු කළද බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කරනවා.

බේකර් හිමියන්ගෙන් (25%) පමණ ගෑස් භාවිත කිරීම එසේ මිල අඩු නොකිරීමට හේතුව බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

ගෑස් මිල වැඩි වූ කිසිදු අවස්ථාවකදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ ගෑස් මිල වැඩි වූ සැණින් මාධ්‍ය ඉදිරියට පැමිණ බේකර් නිෂ්පාදනවල මිල ඉහළ දමන බේකරි හිමියන්ගේ සංගමය මේ අවස්ථාවේදී එම නිෂ්පාදනවල මිල අඩු කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම විහිළුවට කාරණාවක් බවය.

බේකරි හිමියන්ගේ සංගමය හා වෙළෙඳ ප්‍රජාව මේ අවස්ථාවේදී පාරිභෝගිකයන් තළාපෙළා දමමින් පාතාලය ලෙස හැසිරෙන බවද සභාපති විතානගේ සඳහන් කළා.

මෙවැනි සංගම් පිළිබඳව තමන්ට ඇත්තේ දැඩි පිළිකුලක් බවද පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා ෴


සුදු වීමට ආලේපනය කරන ක්‍රීම්වලින් වකුගඩු නරක් වීමේ අවදානමක්

(07.06.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවන් සුදු වීමට ආලේපනය කරන ක්‍රීම් සහ දියර වර්ගවල තිබිය යුතු රසදිය ප්‍රමාණය අනුමත සීමාවට වඩා ඉතා අධික ලෙස අඩංගු බවට ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වාර්තා මඟින් තහවුරු කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ රංජන සඳහන් කරනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මෙවන් අදහසක් :

“ඉකුත් සතිය තුළ පාරිභෝගික කටයුතු අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයෙන් පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී ආනයනකරුවකුගේ හෝ නිෂ්පාදකවරයකුගේ තොරතුරු සඳහන් නොමැති නීති විරෝධී ශරීර ආලේපන හමු වුණා. පසුව ඒවායෙන් අහඹු ලෙස තෝරා ගත් වර්ග 7 කින් යුත් ආලේපන ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයේ පරීක්ෂණාගාරයට යොමු කළා. එසේ යොමු කළ ශරීර ආලේපන ක්‍රීම් සහ දියර වර්ග 7 න් 6 කම අඩංගුව තිබූ රසදිය ප්‍රමාණය කිලෝ ග්‍රෑමයකට මිලිග්‍රෑම් 8.1 සිට මිලිග්‍රෑම් 31.540 දක්වා ඉතා අධිකව තිබූ බවට දුන් වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.”

වෙළෙඳපොළේ බහුලව විකිණීමට තිබෙන ශරීරය සුදු වීමේ ආලේපනවල ඉතා අධික ලෙස රසදිය අඩංගු වීමෙන් පිළිකා රෝග කාරක සහ වකුගඩු නරක් වීමේ අවදානමක් ඇති බවටත්, සෑම ඉන්ද්‍රියකටම අහිතකර බලපෑම ඇති විය හැකි බවටත් වෛද්‍ය වාර්තාවලින් පෙන්වා දී ඇති බව සඳහන්.

මේ ක්‍රීම් වර්ග සහ දියර වර්ග මිල දී ගැනීමේදී විශේෂයෙන් ආනයනකරුගේ නම සහ ලිපිනය වගේම මෙරට නිෂ්පාදනය කරනවා නම් එහි ද නම සහ ලිපිනය සටහන්ව තිබෙනවා දැයි විමසිලිමත් වන ලෙසයි පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ෴


නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකර ජුනි 21 තෙක් රිමාන්ඩ්

(07.06.2023 – 12:06 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළ බවට රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි නතාෂා එදිරිසුරිය සහ ඇයගේ ප්‍රකාශ යු ටියුබ් නාලිකාවක් හරහා ප්‍රතිචාර කළ බෘනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එම නඩුව අද (07) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී.

සැකකරුවන් අද (07) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේයි.

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කලැයි නතාෂා එදිරිසුරිය පසුගිය මස 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පුරුව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදීයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය පසුගිය පළමු වැනිදා (01) කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර ඇය අද (07) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඒ අනුව සැකකාර නතාෂා එදිරිසුරිය අද (07) ස්කයිප් තාක්ෂනය ඔස්සේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

+


සද්ධාරතන හිමියන් ජුනි 21 දක්වා යලි රිමාන්ඩ්

(07.06.2023 – 12:35 +0530 – hirunews.lk/sinhala)

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුනි 21 දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් එම නියෝගය ලබා දුන් බවයි වාර්තා වන්නේ ෴


පොලොන්නරුව චීන වකුගඩු රෝහලේ ඖෂධ හිගයක්

(07.06.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

චීනයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු පොළොන්නරුවේ වකුගඩු රෝහලේ මේ වන විට දැඩි ඖෂධ හිගයක් මතුව ඇති බවට රෝගීන් චෝදනා කරනවා.

2021 වසරේ විවෘත කෙරුණු මෙම රෝහල තුළ වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත වුවත් මේ වන විට ඖෂධ නොමැති වීම හේතුවෙන් පෞද්ගලික ඔසුසැල් හරහා වැඩි මිලට ඖෂධ ලබා ගැනීමට සිදුව ඇති බවයි වකුගඩු රෝගීන් සඳහන් කළේ.

මේ අතර, තව දුරටත් ඖෂධ මිල පහළ දැමීමට හැකියාව පවතින බව පොළොන්නරු දිස්ත්‍රික් පෞද්ගලික ඔසු සැල් හිමියන්ගේ සංගමය පවසනවා.

ලබන 15 වැනිදා සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ 60 ක මිල 16% කින් අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

කෙසේ වෙතත් පොළොන්නරු දිස්ත්‍රික් පෞද්ගලික ඔසු සැල් හිමියන්ගේ සංගමයේ සභාපති සුජීව ගුණතිලක සදහන් කළේ, 50% කින් පමණ ඖෂධ මිල පහළ දැමීමේ හැකියාවක් පවතින බවයි ෴


ලබන වසරේ (2024) සිට බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක්

(07.06.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

බදු ගෙවීම නිසි ආකාරයෙන් සිදු කිරීම සදහා ලබන වසරේ (2024) සිට ඩිජිටල් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ගාල්ලේ ඊයේ (06) පැවති වැඩසටහකට එක්වෙමින් ඔහු සදහන් කළේ, බදු ගෙවීමේ ජාලය හදුනාගනිමින් එය පුළුල් කිරීම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි ෴


සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අත්අඩංගුවට

(07.06.2023 – 13:00 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගන්නා අවස්ථාවේ සූරිය වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අද (07) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ප්‍රාදේශීය සභා පරිශ්‍රය තුළදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අම්බලන්තොට, බැරගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

2020 – 2021 වසර සඳහා පැමිණිලිකරු ඔහුගේ සහෝදරයාගේ නමින් සූරියවැව පොළ භූමිය බදු පදනම මත ලබාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කොවිඩ් හේතුවෙන් අදාළ පොළ පවත්වාගෙන යාමට නොහැකිවී ඇති අතර එහිදී තැන්පතු මුදලින් කොටසක් නැවත පැමිණිලිකරුට ලබාදීම සඳහා ප්‍රාදේශීය සභා ලේකම්වරයා රුපියල් ලක්ෂයක (100,000) අල්ලස් මුදලක් ඉල්ලා එය 50,000 ක් දක්වා අඩුකර ලබාගැනීමට යාමේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට නව සභාපතිවරයෙක්

(07.06.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත්කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකළ යෝජනාවකට අනුවයි.

ජනාධිපතිවරයා සහ රාජ්‍ය මුදල් කාරක සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවති අතර එහිදී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබෙනවා.

එය මුදල් කාරක සභාවේ සාමාජිකයින් ඒකමතිකව පිළිගෙන ඇති අතර අනතුරුව පැවති පාර්ලිමේන්තු තේරීම් පිළිබඳ කාරක සභාවේදී හර්ෂ ද සිල්වා සභාපති ධුරයට පත්කිරීමට අනුමැතිය ලබාදුන් බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴


ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ ප්‍රබල තනතුරක්

(07.06.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික කාන්තාවකට එංගලන්තයේ අධිකරණයක විනිසුරු තනතුරක් හිමිව තිබෙනවා.

මෙලෙස විනිසුරු පදවියක් ලබාදී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන අයේෂා නමැති තරුණියකටයි.

ඒ අනුව ඇය එංගලන්තයේ විනිසුරුවරියක වූ සුදු ජාතික නොවන ලාබාලතම කාන්තාවයි.

ඇය විශේෂඥ වෛද්‍යරියක් ද වනවා. වයස අවුරුදු 14 දී එංගලන්තයට සංක්‍රමණය වන ඇය ලීඩ්ස් සරසවියන් වෛද්‍ය විද්‍යාව හදාරා තිබෙනවා.

පසුව ඇය හැරොගේට් හි විශේෂඥ වෛද්‍යවරිය ලෙස කටයුතු කර ඇති අතර ලීඩ්ස් සරසවියෙන්ම නීතිවේදය හදාරා ඇති බවයි වාර්තා වන්නේ.

ඇය බැරිස්ටර්වරියක් ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව මෙලෙස විනිසුරුවරියක ලෙස පත්වීම් ලබාගෙන තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *