තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ්

තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ්


තම පියා මැරූ පුද්ගලයා මරා පළිය ගත් පුතා රිමාන්ඩ්

(31.05.2023 – 20:06 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට සූචී ගම්මානය පාරේදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු පසුගිය 21 වන දින වෙඩි තබා ඝාතනය කල 19 හැවිරිදි සැකකරු ජුනි මස 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි විසින් ඊයේ (30) සවස නියොග කළා.

වෙඩි තැබීමෙන් පසු සැකකාර තරුණයා ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර පසුව පසුගිය 29 වන දින වෙඩිතැබිම සිදුකල බව කියන මෙරට නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිණි අවියද රැගෙන සැකකරු හම්බන්තොට පොලිසියට පැමිණි බාර වී තිබෙනවා.

එහිදී සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනිමෙන් අනතුරුව ඊයේ (30) සවස සැකකාර තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසිය කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු තරුණයා විසින් පසුගිය 21 වන දින වෙඩි තබා ඝාතනය කෙරුණේ හම්බන්තොට පදිංචි ‘කොඩිතුවක්කුගේ සාගර’ නැමති 35 හැවිරිදි එක් දරු පියෙකි.

ඔහුටද මිනි මැරුම් දෙකක් (2) ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා සිය බිරිද හා වයස අවුරුදු 4 ක දරුවා සමග 21 දින රාත්‍රී 09:50 ට පමණ හම්බන්තොට සුචි ගම්මානයේ පිහිටි පල්ලිය පාරේ ගමන් කරමින් සිටියදී මාර්ගය හරහා ඇති බම්පර් එකකින් දැමීමට යතුරු පැදියේ වේගය අඩු කරන අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදුකර සැකකරු පලාගොස් තිබුණි.

වෙඩි තැබීම සිදුකල තරුණයා පොලිසියට පවසා ඇත්තේ සිය පියා සමග තමන් පියාගේ ගව ගාලට යමින් සිටි අවස්ථාවේ මරණකරු විසින් 2016 වසරේ දිනක තමන් ඉදිරිපිටදිම පියාට වෙඩි තබා ඝාතනය කල බවයි.

ඒ වන විට තමන්ට වයස අවුරුදු 12 ක් පමණ වූ බවත්, එයට පළි ගැනිමක් ලෙස වසර 07 කට පසු මෙලෙස මොහුව වෙඩි තබා ඝාතනය කර පලිගත් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

+


විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

(31.05.2023 – 17:14 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ එම මණ්ඩලයේ මූල්‍ය ශේෂ පත්‍රය පිළිබද විශේෂ සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු නියෝජිතයින් සමග පවත්වා තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සදහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

ලබන මස අවසන්වීමට පෙර විදුලිබල මණ්ඩලයේ මූල්‍ය ශේෂ පත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා වන සැලසුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කිරීමට එකගතාවය පළකර තිබෙනවා.

එමෙන්ම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු ණය පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ අනෙකුත් සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම 2023 වසරේ අලාභ පිරිමසා ගැනීම සදහා සැලසුම සකස් කිරීමටද නියමිතයි ෴


පතුරම් ගැබ් සහ උණ්ඩ විකිණූ කම්කරුවා මාට්ටු

(31.05.2023 – 17:44 +0530 – hirunews.lk/sinhala)

රුපියල් තුන්සිය විස්සකට (320) ගිනි අවි උණ්ඩ 58 ක් සමග ටී 56 පතුරම් ගැබ් තුනක් (3) විකුණූ අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කම්කරුවකු අනුරාධපුර පොලිසිය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය තුල අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබෙන කුටියේ තිබී මෙම භාණ්ඩ රැගෙන විත් විකුණා ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ජලය රැගෙන ඒම සඳහා ජීප් රථයේ රියදුරා ජිප් රථයෙන් ගිය අවස්ථාවේ දී මෙම සැකකාර කම්කරුවාද එම රථයෙන්ම රැගෙන ගොස් මෙම භාණ්ඩ විකුණා ඇති බවත් පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා ෴


කළුතර බෝධි පරිශ්‍රයේ මළසිරුරක්

(31.05.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)

කළුතර බෝධි පරිශ්‍රයේ බුදුමැදුර තුළ තිබී හිටපු විදුහල්පතිවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලීසිය සඳහන් කළේ අද (31) දහවල් කාලයේදී මෙම මළසිරුර සොයාගත් බවයි.

කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී අර්ල් මර්වින් මෙන්ඩිස් නමැති 72 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයෙකුවූ එක්දරු පියෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

මියගොස් ඇති තැනැත්තා බුදුන් වැඳීම සඳහා නිතර කළුතර බෝධි පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය පවසනවා.

පරීක්ෂණවලින් පසු මෘතදේහය කළුතර ශික්ෂණ රෝහලට යොමුකරන බව පොලීසිය පැවසුවා ෴


දරුවා මිය ගිය බව නොපිළිගෙන දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියා හමුවෙයි

(31.05.2023 – 18:35 +0530 – hirunews.lk/sinhala)

දරුවා මිය ගිය බව පිළිනොගෙන නුවරඑළිය රෝහලෙන් දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියා නුවරඑළිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් සිදු කළ මෙහෙයුමෙන් එම පියාව සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ ඥාතීන් මිය ගිය දරුවාගේ අවසන් කටයුතු ද සිදු කර ඇති බවයි.

පසුගිය (27) වනදා නුවරඑළියේ සංචාරයකට පැමිණි සිටි අවස්ථාවක ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිහිය නැති වීම හමුවේ මෙම දරුවා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

දරුවා ඇතුලත් කර ගැනීමට පෙර හදිසි අවශ්‍යතාවයක් බැවින් වෛද්‍යවරුන් විසින් මෙම දරුවා පරික්ෂා කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී දරුවා මිය ගොස් ඇති බව දරුවා රැගෙන ආ පියාට වෛද්‍යවරුන් සඳහන් කර සිටිය ද පියා එය නොපිළිගෙන නැවත තමන් පැමිණි වාහනයෙන්ම සිය දරුවා රැගෙන ගොස් තිබූ බව සඳහන්.

ඔහු ප්‍රකාශ කර තිබුණේ මීට පෙර ද දරුවාට මෙවැනි රෝගී තත්වයක් පවතින අතර පෞද්ගලික රෝහලකට ගොස් දරුවා බේරා ගන්නා බවයි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධව සැක සහිත බැවින් දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් නුවරඑළිය පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව රෝහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කර දරුවා රැගෙන රෝහලට පැමිණි රථයේ අංකය හරහා කරුණු සොයා බලා සිද්ධියට සම්බන්ධ දරුවාගේ පියා සහ පවුලේ සාමාජිකයන් නුවරඑළිය පොලිසියට ගෙන්වා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය පොලිසියට පැමිණි මියගිය දරුවාගේ පියා ඇතුළු පවුලේ අය මරණ සහතිකය සහ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ මීට පෙර ද මෙවැනි අවස්ථා කිහිපයකට දරුවා මුහුණ දුන් අතර එහිදී දරුවාට නැවත ශ්වසනය කිරීමට හැකි වූ බවයි.

මෙවර අසනීප වූ අවස්ථාවේදී ද එවැනි දෙයක් සිදුව ඇතැයි සිතා දරුවාට මුල සිටම ප්‍රතිකාර ලබාගන්නා පෞද්ගලික රෝහලටම ගෙනයාමට කටයුතු කළ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ පෞද්ගලික රෝහලට ගෙන ගිය අවස්ථාවේ දී එහි වෛද්‍යවරුන් ද සනාථ කර ඇත්තේ දරුවා මිය ගොස් ඇති බවයි.

අනතුරුව දරුවාගේ මෘත දේහය නිසි ආකාරයෙන් රෝහලින් බැහැර කර අවසන් කටයුතු ද නිසි ලෙස සිදු කර තිබෙන බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ නුවරඑළිය රෝහලට දරුවා රැගෙන ගිය ද ඇතුලත් කර ගැනීමේ ලේඛනයට තොරතුරු කිසිවක් සඳහන් නොකර තිබූ වාතාවරණයක් මත දරුවාගේ මෘත ශරීරය රැගෙන ගිය පියාට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි බවයි ෴


කඩුගන්නාව ප්‍රදේශයේ දී තරුණියක්ව පැහැරගෙන ගොස් දූෂණය කරලා

(31.05.2023 – 19:17 +0530 – hirunews.lk/sinhala)

කඩුගන්නාව හතරලියද්ද බුදු පිළිමය ආසන්නයේ දී 18 හැවිරිදි තරුණියක ත්‍රිරෝද රථයකින් ආ හතර (4) දෙනකු පැහැරගෙන ගොස් තිබෙනවා.

පැහැර ගත් පිරිස අදාළ තරුණියව පොත්තපිටිය කුරුලු වැව ඉස්මත්තට රැගෙන ගොස් ඇය දූෂණය කර ඇති බවයි වාර්තා වී ඇත්තේ.

පැහැරගෙන යෑමට යොදා ගත් ත්‍රීරෝද රථය තුළදීම එක් පුද්ගලයකු ඇය දූෂණය කිරීමෙන් පසු අනෙක් තිදෙනා (3) ඇයට ලිංගික අතවර කළ බව තරුණිය පොලිසියට පවසා තිබෙනවා.

අදාළ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිව් (4) දෙනා කිසියම් මත්ද්‍රව්‍ය වර්ගයක් පානය කර මත් වී සිටි බව පෙනී ගිය බව ද තරුණිය පොලීසියට පවසා ඇති බවයි සඳහන් ෴


‘මේ බජාර් එකට මල්ලී’ ගීතය සඳහා තහනම් නියෝගයක්

(31.05.2023 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනය කර ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ ‘මේ බජාර් එකට මල්ලී’ නමැති ගීතය වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදා හැරීම තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු අද (31) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගීතය අනුමැතියකින් තොරව වෙළෙඳ දැන්වීම් හා සමාජ මාධ්‍යවල මුදා හැරීම තුළින් සිය බුද්ධිමය දේපළ හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් ආචාර්ය රෝහණ වීරසිංහ ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘ඇඩ්ර්ස් නෑ’ චිත්‍රපටය ‘මේ බජාර් එකට මල්ලී’ නමැති ගීතය රචනා කර තිබුණා.

ආචාර්ය රෝහණ වීරසිංහ ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලද්දේ ‘සරිගම ෆිල්ම්ස්’, ‘සන්තුෂ් වීරමන්’ හා ‘සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්’ යන ආයතන සඳහා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තම බුද්ධිමය දේපළ හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලමින් බුද්ධිමය දේපළ පනත යටතේ ආචාර්ය රෝහණ වීරසිංහ අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා ෴


විගණන සේවයේ නිරත විධායක නිලධාරියකු හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට

(31.05.2023 – 20:02 +0530 – hirunews.lk/sinhala)

විගණන සේවයේ නිරත විධායක ශ්‍රේණියේ නිලධාරියකු හොර නෝට්ටු තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලව පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා ව්‍යාජ දහසේ නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට යාමේදී එම ව්‍යාපාරිකයාට ඇතිවූ සැකය මත කළ පැමිණිලික් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කල බවයි.

සැකකරුගේ ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ ව්‍යාජ දහසේ නෝට්ටු 16 ක් පොලිසියට හමුවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *