තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක්

තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක්


තහනම් පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන ගැන මහ බැංකුවෙන් විශේෂ මහජන නිවේදනයක්

(31.05.2023 – 10:39 +0530 – hirunews.lk/sinhala)

තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කළ ආයතන 8 ක් ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම ආයතනවලට එරෙහිව අපරාධ නඩු පැවරීම ගැන නීතිපතිවරයාට සලකා බලන ලෙස ඉල්ලා ඇති බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරතවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

එම තහනම් කළ ආයතන පහතින් දැක්වේ :

  1. Tiens Lanka Health Care (PVT)Ltd.
  2. Best Life International (PVT)Ltd.
  3. Global Life Style Lanka (PVT)Ltd.
  4. Mark-Wo International (PVT)Ltd.
  5. V M L International (PVT)Ltd.
  6. Fast 3 Cycle International (PVT)Ltd.
  7. Sport Chain App, Sports Chain ZS Society Srilanka
  8. OnmaxDT

+


අත්අඩංගුවට ගත් සැකකරු මුහුදට පැන පලා යයි

(31.05.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු මාංචු සහිතව මුහුදට පැන පලාගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

අහංගම ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් ඊයේ (31) අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටියදී මෙලෙස මුහුදට පැන පලාගොස් තිබෙන බව සඳහන්.

කොග්ගල ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට නැවතත් පොලිසිය ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී එම ස්ථානයෙන්ද සැකකරු පලාගොස් තිබෙනවා ෴


මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය පහළට

(31.05.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය පහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව වාර්තාවන්ට අනුව පසුගිය 2022 වසර අවසන් වන විට මෙරට මුළු සක්‍රීය ක්‍රෙඩිට් කාඩ් පත් සංඛ්‍යාව දහනව ලක්ෂ පනස් දෙදහස් නමසිය අනූ එකක් (19,52,991).

එය මේ මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට 19,39,541 දක්වා අඩුවී තිබෙනවා.

එමෙන්ම 2022 වසර අවසන් වන විට ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් නොපියවූ ශේෂය සටහන් වූයේ, රුපියල් මිලියන 1,43,098 ක් ලෙසයි.

එම ශේෂය ද මේ වසරේ මාර්තු මාසය වන විට රුපියල් මිලියන 1,40,509 ක් ලෙස අඩුවී තිබෙනවා ෴


නෙලුම් කුලුනේ කුරුටු ගාමින් සිටි යුවළක් අත්අඩංගුවට

(31.05.2023 – 10:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නෙළුම් කුලුන නැරඹීමට පැමිණි තරුණ යුවළක් කුලුන මත ඇති බිත්තියක් කුරුටුගාමින් සිටිය දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ (30) සවස ඔවුන් දෙදෙනා (2) කුලුනේ යොදවා සිටින ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

මහජනතාව වෙත නෙළුම් කුලුන විවෘත කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් එහි නිලධාරීන් පවසා සිටියේ නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙන ජනතාව එහි දේපළවලට හානි සිදුකළහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවයි.

ඒ අනුව මෙම යුවල අත් අඩංගුවට පත්ව තිබෙනවා ෴


යල කන්නයේ පොහොර වවුචරපත මෙතෙක් නොලැබුණු බවට මින්නේරියේ ගොවීන්ගෙන් චෝදනා

(31.05.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

යල කන්නය සදහා රජය පොරොන්දු වු පොහොර වවුචරපත මෙතෙක් තමන්ට නොලැබුණු බවට මින්නේරියේ ගොවීන් චෝදනා කරනවා. යළ කන්නයේ වගා කටයුතු ආරම්භයේදී මෙවැනි වතාවරණයකට තමන්ට මුහුණ පෑමට සිදුවන්නේ නම් ගොවිතැන් කටයුතු වලින් ඉවත්වීමට සිදුවන බවයි ඔවුන් කියා සිටියේ.

පොහොර සහනාධාරය ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දුවත් සමග යල කන්නය සදහා වී වගා කිරීමේ කටයුතු ගොවීන් ආරම්භ කළ අතර යුරියා, මඩපොහොර සහ බණ්ඩි පොහොර ලබාගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,000 ක මුදලක් වවුචර පතක් මගින් ලබාදෙන බවට රජය දැනුම් දී තිබුණා.

නමුත් එවැනි වවුචර පතක් මෙතෙක් තමන්ට නොලැබුණු බවයි මින්නේරිය ගොවීන් පවසන්නේ.

මේ අතර, ආණමඩුව සහ කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යා කරන මී ඔය ආසන්නයේ ඇති කුඹුරු පණු විශේෂයක් හේතුවෙන් විනාශ වීමේ අවදානමක් පවතිනවා. ඉගිනිමිටිය ව්‍යාපාරයේ ගල්ඔය අමුණ යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 250 ක් පමණ මෙම පණු රෝගය හේතුවෙන් මේවන විටත් විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල වී වගාවට බලපා ඇති මෙම ‘ගොඩවෙල්ලා’ නමැති පණු රෝගය නව තත්ත්වයක් නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියා සිටියේ. 2017 වසරට පෙරද මෙම පණු රෝගය මෙරට පැවති බව බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ප්‍රකාශ කළා. විශේෂයෙන් නැගෙනහිර, උතුර පළාත්වලින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මෙම කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් (3) පැළ ගොයමට හානිකරන බවට වාර්තා වී තිබෙනවා ෴


ගිනි අවි සන්තකයේ: දෙදෙනෙක් (2) දැලේ

(31.05.2023 – 10:46 +0530 – hirunews.lk/sinhala)

විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමඟ සැකකරුවකු ඊයේ (30) ආණමඩුව, කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 66 ක් වන කුමාරගම, ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (31) ආණමඩුව මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර, නාවලපිටිය, හපුගස්තලාව ප්‍රදේශයේදී ද විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් හා පතරොම් 03 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි කොත්තුනුගොඩ, කලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


රත්‍රං මිල ගණන් පහළට

(31.05.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 154,500 ක් ලෙසයි.

මේ අතර සිකුරාදා රු. 167,000 ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද (31) වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ෴


ඩොලරයේ පහළ යාමට සාපේක්ෂව ඖෂධ මිල අඩු කරන්න සුව ඇමතිගෙන් උපදෙස්

(31.05.2023 – 11:20 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ අගය පහළ යාමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඩොලරයේ අගය පහළ ගියද ඊට සාපේක්ෂව ඖෂධ මිල අඩු නොවීම ගැටළුවක් බවයි.

මේ අතර සිමෙන්ති, යකඩ, ඇළුමිනියම් ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, රුපියල ශක්තිමත් වීමට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල පහළ නොයෑම ද ගැටළුවක් බවයි ෴


මගීන්ගේ දුරකතන සොරකම් කළ අයෙක් හෙරොයින් සමඟ දැලේ

(31.05.2023 – 11:44 +0530 – hirunews.lk/sinhala)

මාර්ගවල සහ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකතන සොරකම් කිරීම සම්බන්ධව සැක පුද්ගලයකු ඊයේ (30) ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොටාඨාස අපරාධ අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 12 යි මිලි ග්‍රෑම් 200 ක් සහ සොරකම් කරන ලද ජංගම දුරකතන 8 ක් තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වන ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (31) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුරකතන මාර්ගවල බිඳවැටීම යථා තත්ත්වයට පත් කෙරේ

(31.05.2023 – 11:45 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණික දෝෂයක් නිසා, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ දුරකතන මාර්ගවල බිඳවැටීමක් ඊයේ (31) සිදුවුණා.

එය නැවත යථා තත්ත්වයට පත් කර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිසා සුපුරුදු පරිදි හදිස්සි ඇමතුම් අංක ඇමතීමට හැකියාවක් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ෴


යුරියා මිල පහළට

(31.05.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

යුරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා

ඒ අනුව ජූනි 15 වනදා සිට යුරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000 කට ගොවීන්ට ලබාගත හැකි බවයි ඔහු පවසන්නේ ෴


ජනපති උපදෙසින් කෘෂිකර්ම දත්ත ඩිජිටල්කරණයට

(31.05.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ‘බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ’ නිලධාරීන් අතර ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.

මෙහිදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නවීකරණය, පෝෂණය, දේශගුණික විපර්යාසවලට මුහුණදීම සහ මූල්‍ය සුරක්ෂිතතාවය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමේදී දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ ප්‍රවේශය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඒ සඳහා මුල්‍ය ආධාර සහ නවීන තාක්‍ෂණය සැපයීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව මෙම ප්‍රයත්නයන්ට සහාය වීමට ‘බිල් සහ මිලින්ඩා ගේට්ස් පදනමේ’ නිලධාරීන් එහිදී ජනාධිපතිවරයාට කැමැත්ත පළ කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා ෴


රුපියල තව දුරටත් ඉහළට

(31.05.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

අද (31) ගැනුම් මිල රු. 287.87 යි ; විකුණුම් මිල රු. 300.92 ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *