බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි

බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි


බුදු දහමට අපහාස වන ප්‍රකාශ කරන්නන් ගැන විවිධ පර්ශව අදහස් දක්වයි

(30.05.2023 – 20:42 +0530 – hirunews.lk/sinhala)

බුදු දහමට අපහාස වන ප්‍රකාශ සිදුකරන්නේ අරගලය තුළ සිටි නිරාගමික කණ්ඩායම බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසනවා.

බුදුදහමට අපහාස කළ නතාශාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ මංජු නිශ්ශංක නමැත්තාද එම කණ්ඩායමට අයත් බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෝඩාභිමානය නමින් සංවිධාන කර තිබූ වැඩසටහනක දී බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතියට අපහාස කිරීමේ චෝදනාව මත නතාෂා එදිරිසූරිය නමැත්තිය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

ඇය සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් විරෝධය එල්ල වන පසුබිමක අරගලයට සම්බන්ධව ක්‍රියාකාරීව කටයුතු කළ පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සිය පාර්ශ්වය පෙනී සිටින බවයි.

මේ අතර නතාශාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝපටය සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකු වන මංජු නිශ්ශංක නමැත්තාටද සෘජුවම චෝදනා එල්ල වනවා.

මේ අතර ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනාව මත පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන්වද ඊයේ (29) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙවැනි පසුබිමක රටේ සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමේ අපේක්ෂාවෙන් රටේ ආගමික ආරවුලක් ඇති කිරීමට උත්සාහ කරන විවිධ පාර්ශ්වයන් පිළිබඳව මේ වන විට ආරක්ෂක අමාත්‍යංශයේද අවධානය යොමු වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසන්නේ යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් එවැනි පටු අරමුණකින් කටයුතු කිරීමට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද අද (30) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

මේ අතර බුදු දහමට අපහාස කරමින් විවිධ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පූජ්‍ය පක්ෂය අදහස් පළ කළා.

+++++++++++

+


‘ආගමික ගැටුමක් හදන්න විදේශයකින් මුදල්.. භික්‍ෂු ගිණුම්වලටත් ලැබෙයි..’

(30.05.2023 – 22:22 +0530 – lankacnews.com)

“ආගමික ජාතික සංහිදියාව විනාශ කරනු ලබන සමාජ මාධ්‍ය යේ කැපී පෙනෙන අයට සහාය ලබා දෙන්න එපා. මේ කණ්ඩායම්වලට විදේශීය රටවලින් සහාය ලබා දෙනවා කියලා තොරතුරු පවතිනවා. අපේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාටත් එහෙම මුදල් එනවා කියලා හෙලිව තිබෙනවා” අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමිනි.

සමාජ මාධ්‍ය පාලනය කළ නොහැකි වුවත් ඔවුන් කරනු ලබන ප්‍රකාශ සදහා නීතිමය පියවර ගැනීමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා :

“බහු භාෂික බහු ජාතික බහු ආගමික ජනතාවක් ඉන්න රටක් ලෙස අපිට සංහිදියාව ඉතා වැදගත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කර තිබෙනවා. එහෙත් එම නිදහස භාවිතා කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන්නත් ව්‍යවස්ථාවේ පැහැදිලිවම සදහන් කර තිබෙනවා. භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීම භාවිතා කළ යුත්තේ ජාතික හා ආගමික සමගියට හානි නොවන පරිදි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් කර තිබෙනවා. ජනතාව භේද භින්න කරන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් නැහැ. අපේ රටේ ආගමික සුහදත්වය බිද දැමීමට බොහෝ අය උත්සාහ කළා. කිසිම ආගමකින් කියලා නැහැ තවත් ආගමකට අපහාස වන ආකාරයට කටයුතු කරන්න කියලා. ඒ නිසා අනිත් ආගම්වලට හානි නොවන පරිදි කටයුතු කරන්න අපි සියලු දෙනා වග බලා ගත යුතුයි. වෙනත් අය ගරු කරන ආගමික ශාස්තෘවරුන්ට අගෞරව වන පරිදි අපි කටයුතු නොකළ යුතුයි.

එහෙම කටයුතු කරනු ලබන පුද්ගලයින්ට දිය හැකි දඩුවම් පිළිබදව දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිවම සදහන් වෙනවා. අපේ රටේ සියලු දෙනාට පවතින අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි ආරක්ෂා කරනවා. ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි පිළි අර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවැනි වෛරී අදහස් ප්‍රකාශ කරන අයට එරෙහිව වසර දහයක් දක්වා සිර දඩුවම් ලබාදීමේ හැකියාව තිබෙනවා. ඒ අයිතිය තිබෙන්නේ සීමාවන්ට යටත්ව කියලා අපි අවබෝධ කර ගත යුතුයි. ආගමික සමගියට බාධා කරන අය ඉන්නවා නම් අපි ඒ පිළිබදව ක්‍රියා කරනවා.

නීතිය ක්‍රියාත්මක කරනවා. සත්‍ය ගවේෂණය කිරීමේ නව යාන්ත්‍රණයක් සකස් කිරිම අපි ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව අපි සත්‍ය ගවේෂණය කිරීමට මුලිකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. තම තමන්ට කැමති ආගමක් ඇදහීමේ අයිතියක් අදහන්න අයිතියක් තිබෙනවා. වෙන කෙනෙක් අදහනු ලබන ආගමකට හානි වන දේ කරන්න එපා. එහෙම කළොත් තරාතිරම නොබලා ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව තුළ වසර දහස් ගණනක් ජනතාව සමගියෙන් ක්‍රියා කළා. ඒ සමගියට බාධා වන දේ කරන්න ඉඩ දෙන්න බැහැ. ශ්‍රී ලංකා රාජ්‍ය බිද දැමීම සදහා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් කටයුතු කරන බව පැහැදිලියි.

කාරුණිකව සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍ය භාවිතය අවභාවිතා කරන්න එපා. සමාජ මාධ්‍ය භාවිතා කළ යුතු වන්නේ සමාජයට හිතකර වන ආකාරයටයි. ඒ නිසා ආගම්වලට හානි වන අයුරින් අගෞරව වන ආකාරයට ක්‍රියා කරන්න එපා. එවැනි කටයුතු කිරීමෙන් සිදු වන්නේ ජන ජීවිතය අඩාලවීම යි.”

මාධ්‍ය වේදින් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය :

“වර්තමානය වන විට උද්ගතව ඇති ආගම් විරෝධි හා වෛරී අදහස් ප්‍රකාශ කිරීමේ තත්ත්වය සංවිධානාත්මකව සිදු කළ දෙයක් බව අනාවරණය වී තිබෙනවා. අපේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අවභාවිතා කරනු ලබන අය ඉන්නවා. අවස්ථාවාදී දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. රටක කුමන ආකාරයේ සම්පත් පැවතියත් නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා නම් රට කඩා වැටෙනවා. ජනතාව අතර සංහිදියාව නැති කරන අයට අනවශ්‍ය ලෙස ඇතැම් ප්‍රධාන මාධ්‍ය තුලින් ප්‍රසිද්ධිය ලබා දෙනවා. ඒ නිසා ආගමික ජාතික සංහිදියාව විනාශ කරනු ලබන සමාජ මාධ්‍ය යේ කැපී පෙනෙන අයට සහාය ලබා දෙන්න එපා. මේ කණ්ඩායම්වලට විදේශීය රටවලින් සහාය ලබා දෙනවා කියලා තොරතුරු පවතිනවා. අපේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාටත් එහෙම මුදල් එනවා කියලා හෙලිව තිබෙනවා. රට නැවතත් ගොඩ ගන්න උත්සාහ කරන කොට නැවතත් විනාශ කරන්න එදනවා. දැන් ඇතැම් අය බෞද්ධ ආගමට හා භික්ෂුන් වහන්සේලාට අපහාස කරලා විනාශ කරන්න හදනවා.

විකාශන අධිකාරී පනතක් ගෙන ඒම තුළින් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය මර්දනය කිරීමක් වන්නේ නැහැ. මේ පනත් කෙටුම්පත සකස් කර තිබෙන්නේ මාධ්‍ය සිදු කරනු ලබන කටයුතු තවදුරටත් හොදින් කිරීමට සහාය වීමටයි. මෙම පනත් කෙටුම්පත සම්බන්ධව සියලු මාධ්‍ය සමග ඉදිරියේදී සාකච්ඡා කරනවා. වෛරී ප්‍රකාශන විද්‍යුත් මාධ්‍ය, පුවත් පත්, Tik Tok, Face book මේ කුමන මාධ්‍යයෙන් පළ කළත් වරදක් වෙනවා. නමුත් සමාජ මාධ්‍ය පාලනය කරන්න රජයට බැහැ. සමාජ මාධ්‍ය තුළින් සිදු කරනු ලබන වෛරී අදහස් සම්බන්ධව නීතිමය පියවර ගන්න පුළුවන්.

මේ විදිහට ක්‍රියා කරන්න ගියොත් ජනතාව විසින් ඇතැම් සමාජ මාධ්‍ය පාලනය කරන්න යොමු වෙන්නත් පුළුවන්. නව විකාශන අධිකාරී පනත් කෙටුම්පත ගෙන එන්නේ මාධ්‍ය පාලනය කරන්න නොවෙයි කියන එක අවධාරණය කරන්න ඕන. අපිට සමාජ මාධ්‍ය පාලනය කරන්න නීති සකස් කරන්න බැහැ.”


ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(30.05.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අහුන්ගල්ල, මරදාන ප්‍රදේශයේ දී ස්වයංක්‍රීය ගිනි අවියක් හා හෙරොයින් ග්රෑම් 50 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූ 35 හැවිරිදි සැකකරු, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත බහුදින යාත්‍රා හිමිකරුවෙකු බවයි වාර්තා වන්නේ ෴


ආහාර විෂවීමකින් ළමුන් හතළිහක් (40) රෝහල් ගත කෙරේ

(30.05.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

හික්කඩුවේ ප්‍රධාන පෙළේ හෝටලයකින් ආහාර ගත් ළමුන් 40 කට ආසන්න පිරිසක් රෝගී වී රෝහල් ගත කර තිබෙනවා.

ඉන් අනතුරුව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ හෝටලය සහ අවට පිහිටි ප්‍රධාන හෝටල්වල ආහාර පරීක්ෂාවට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හෝටල් ගණනාවකින්ම පරිභෝජනයට නුසුදුසු ආහාර හමු වී තිබෙන අතර, ඒවායේ හිමිකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා ෴


පොසොන් උත්සවයට ආධාර කිරීමට ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සූදානම්

(30.05.2023 – 22:38 +0530 – hirunews.lk/sinhala)

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බවට රජයේ වගකිවයුතු නිළධාරින් පැවසීමත් සමඟ පොසොන් උත්සවය සංවිධානය කර ගැනිම වෙනුවෙන් ආධාර එකතු කර ගැනිම වෙනුවෙන් මහ සඟරුවන පිඬු සිඟා වැඩිම සම්බන්ධයෙන් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සිය අදහස ප්‍රකාශ කලා.

එහිදී නායකතුමන් ප්‍රකාශකර සිටියේ මිහින්තලාව යනු මේ රටේ ඉතිහාසයක් ඇති, බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම මේ රටට පළමුව රැගෙන ආ ස්ථානය බවත් අතීතයේ සිට මිහින්තලා පෙරහැර, පොසොන් පෙරහැර සමරා ඇති බවයි.

එම නිසා ම මෙවර එය නොපැවැත්වුවහොත් එය නුසුදුසු දෙ‍යක් බවත් මිහින්තලාවේ නායක ස්වාමින් වහන්සේ විශාල කරදරයකට පත්ව සිටින බවත් නායක ස්වාමින් වහන්සේට වැඩියෙන් වඩා විශාල වගකීමක් ආණ්ඩුවට ඇති බවත් වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටිනවා.

“මගේ පරම්පරාවේ මිනිස්සු එක වේලක වැය කරන මුදල් එකතු කරලා මිහින්තලේ පොසොන් සැමරුම සැමරීමට ආධාර කරන්න සූදානම් වෙලා ඉන්නවා” යැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රකාශ කරන අතර රටේ අර්බුදයක්, අහේනියක් පැවතුන ද රජයට පොසොන් උත්සවය මඟහැර සිටීමට හැකියාවක් නොමැති බවයි වන්නිල ඇත්තන් වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ ෴


මිනිස් විකෘතිය සහ තැන තැන මරණ ! විෂ බෙහෙත් නිසා මිය යන්න කලින් මේ දිව්‍ය ඖෂධය හදාගෙන හැමෝම කන්න – නාරායන් දේවී (29.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *