වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට

වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට


වැඩි කළ ඉන්ධන කෝටාව අද (30) මැදියමේ සිට

(30.05.2023 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ඉහළ දමන ලද ඉන්ධන කෝටාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළදමා ඇති බවයි විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ.

මීට පෙර යතුරුපැදියක් සඳහා සතියකට ලීටර් 07 ක් සහ ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණා.

එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණා.

මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ.

වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

මිට අමතරව ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ ෴


පොසොන් සතිය හෙටින් (31) ඇරඹේ

(30.05.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

පොසොන් සතිය හෙටින් (31) ආරම්භ වනවා. එය ලබන මස 06 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලය පුද බිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

කෙසේ වෙතත් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය පිළිබඳව මේ වන විට සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් පොසොන් උත්සවයට නිසි අනුග්‍රහයක් නොලැබෙන බවට රජයට චෝදනා කිරීමත් සමඟයි ෴


මහවැලි ගඟේ නාන්න ගිය සිසුවා ගිලී මරුට

(30.05.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (29) දහවල් කාලයේදී ගම්පොළ, බොතලාපිටිය ප්‍රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසුවකු දියේ ගිලී තිබෙනවා.

දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයේ සිටි සිසුවා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසියට තොරතුරු ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක ගම්පොළ, කහටපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ගම්පොළ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


වී වගාවේ පැතිර යන ගොඩවෙල්ලා පණු රෝගය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(30.05.2023 – 10:17 +0530 – hirunews.lk/sinhala)

වී වගාවේ පැතිර යන ගොඩවෙල්ලා නමැති පණු රෝගය පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මේ වනවිට මෙම රෝගය ආනමඩුව – දිඹුලාගල ප්‍රදේශවල වී වගාව පුරා පැතිර යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම පණුරෝගයෙහි දළඹු විශේෂ 3 ක් මගින් වී වගාවේ ගොයමට හානිකරන අතර එය සේනා දළඹුවාගෙන් ගොයමට සිදුවූ හානියට සමාන වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා ෴


තලවතුගොඩදී මෝටර් රථයක් කොල්ලකෑ දෙදෙනා (2) අත්අඩංගුවට

(30.05.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 27 දින තලවතුගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (29) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා (2) සමඟ සොරකම් කරන ලද මෝටර් රථය, ජංගම දුරකතන 2 ක්, විවිධ වර්ගයේ සිම්පත්, නවතා තිබූ මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීමට භාවිත කළ යන්ත්‍රයක් සහ සැකකරුවන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 39 වයස්වල පසුවන තිහගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (30) කඩුවෙල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


නවාතැන්පළක් ලෙස ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිහින්

(30.05.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

යාපනය, චුණ්ඩික්කුලි ප්‍රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු (2) හා ගණිකා නිවාසය පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය පොලිසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (29) දිනයේදීයි.

කුලියට ගත් නිවාසයක් නවාතැන් ලබා දීමේ මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මීට මාසයකට පමණ පෙර කොළඹ සිට කාන්තාවන් දස (10) දෙනෙකු පමණ මෙම ගණිකා නිවාසයට පැමිණ යාපනයට පැමිණෙන පුද්ගලයන්ට ගණිකා සේවය ලබා දුන් බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

අත්අඩංගුවට පත් වුණු කාන්තාවන් දෙදෙනා (2) කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර අනෙක් පුද්ගලයා යාපනයේ පදිංචිකරුවෙක්.

මෙම කාන්තාවන් දෙදෙනා (2) සහ ගණිකා නිවාසයේ හිමිකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


විදේශ ගමන් බලපත්‍රය දින තුනෙන් (3) නිවසටම

(30.05.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදෙන බව ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

ඒ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයෙකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් (3) වැනි කෙටි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි ඔහු පවසන්නේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ http://www.immigration.gov.lk/ වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කළ හැකි අතර, අනතුරුව ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සළකුණු ලබාදීමෙන් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ ගෙවීම් කටයුතු සිදු කළයුතු වෙනවා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක මේ වන විටත් ඇඟිලි සළකුණු ලබාගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර තිබෙන බවත්, මෙම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව කූරියර් සේවාවක් ද හඳුන්වාදී ඇති බවත් පාලක ජනරාල්වරයා පවසනවා ෴


වනඅලි පහරදීම්වලින් දෙදෙනෙකු (2) මරුට

(30.05.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වනඅලි පහරදීම්වලින් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයේ ගමන්කරමින් සිටි පුද්ගලයෙකු වන අලි පහරදීමකින් ඊයේ (30) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා 64 හැවිරිදි බක්මීගම ප්‍රදේශයේ පදිංචි අයෙක්.

එමෙන්ම මැදවච්චිය – පූනෑව – කුඩා හල්මිල්ලෑව ප්‍රදේශයේදී ද අද (30) අලුයම වනඅලි පහරදීමකින් 73 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය පුද්ගලයා තම වගාබිමට ගොස් යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ දිගින් දිගටම එල්ලවන වනඅලි තර්ජන හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ෴


බොරැල්ලේ ඝාතන සැකකරුවන් පැමිණි කැබ් රථය සොයා ගැනේ

(30.05.2023 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ලූතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතන සිද්ධියේ සැකකරුවකු වූ ව්‍යාපාරිකයා පසුගියදා බොරැල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩිකරුවන් පැමිණි කැබ් රථය ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන තිබෙනවා.

එම කැබ් රථයේ හිමිකරු යුද හමුදා මේජර්වරයකු වන අතර ඔහු එය කොල්ලු‍පිටිය කුලී රථ සපයන ආයතනයකට කුලී පදනම මත ලබාදී ඇති බව සඳහන්.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සැකකරුවන් දෙදෙනා (2) මෙම කැබ් රථයෙන් බොරැල්ල හරස් මාර්ගය වෙත පැමිණ ඇති අතර පසුව ඔවුන් එතැන් සිට යතුරුපැදියකින් බේස්ලයින් මාර්ගය ඔස්සේ ලෙස්ලි රණගල මාවතට පැමිණ මෙම ඝාතනය සිදු කර තිබුණා.

ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවන් හතර (4) දෙනකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා බොරැල්ල – ලෙස්ලි රණගල මාවතදී මෙලෙස වෙඩි තබා ඝාතනයට ලක්වුණේ පෞද්ගලික ආයතනවලට සේවකයින් සැපයීමේ සේවාවක් පවත්වාගෙන යන පුද්ගලයෙක්.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු හදුනා ගැනිම සඳහා පොලිසිය ජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

33 හැවිරිදි එම සැකකරුගේ ඡායාරූපයක් පොලිස් දෙපාර්තමේන්තුව අද (30) මාධ්‍ය වෙත නිකුත් කළා.

ගොතටුව ප්‍රදේශයේ පදිංචි සමාජශාලා කළමනාකරුවෙකු වන මොහු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

මෙම සැකකරුගේ වම් අතේ පහළ බාහුවේ මැණික් කටුවේ සිට ඉහළට කුරුල්ලෙකුගේ පිහාටු සහිත රුව කළු පැහැයෙන් කොටා ඇති බවද පොලිසිය සඳහන් කළා.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 859 1733 සහ 071 859 1735 යන කොළඹ අපරාධ කොට්ඨාසයේ දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරා අත්අඩංගුවට

(30.05.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

දොළොස් (12) හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ.

පසුගිය වසරේ (2022) අවස්ථා කිහිපයකදී මොහු මෙම පිරිමි දරුවා අපයෝජනය කර ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිහිපයක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකළ විමර්ශනයකට අදාළවයි දඹුල්ල මහනගර සභාවේ වැඩ පාලකවරයෙකු ලෙස කටයුතු කරන දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ෴

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් 12 හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දඹුල්ල හිටපු නගරාධිපතිවරයෙකුගේ සොහොයුරා ජූනි 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *