රංග නිශාන්තගේ මරණය ගැන ‘මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්’ පවත්වන්න – ‘දිනන දකුණ’ සාමුහිකයෙන් රජයට ඉල්ලීමක්

රංග නිශාන්තගේ මරණය ගැන ‘මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්’ පවත්වන්න – ‘දිනන දකුණ’ සාමුහිකයෙන් රජයට ඉල්ලීමක්


රංග නිශාන්තගේ මරණය ගැන ‘මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක්’ පවත්වන්න – ‘දිනන දකුණ’ සාමුහිකයෙන් රජයට ඉල්ලීමක්

(06.05.2026 – hirunews.lk)

විදේශ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් පවතින විවිධ සැකසංකා දුරු කිරීම සඳහා වහාම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පවත්වන ලෙස ‘දිනන දකුණ’ දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමුහිකය රජයෙන් ඉල්ලා සිටිනවා.

අද (06) දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් එම සාමුහිකය පෙන්වා දෙන්නේ මෙම මරණය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමු, පාර්ලිමේන්තු විවාද සහ සමාජ මාධ්‍ය හරහා විවිධ පරස්පර අදහස් සහ සැකයන් මතු වී ඇති අතර අතිශය සංවේදී ඡායාරූපද සංසරණය වෙමින් පවතින බවයි එම සාමුහිකය පවසන්නේ.

ඉතිහාසයේ සිදු වූ විසඳුම් නොලැබුණු වසිම් තාජුඩීන් ඝාතන පරීක්ෂණය මෙන් මෙම මරණයද අතිශය සංකීර්ණ එකක් වනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කරන්නේ.

මියගිය රංග නිශාන්තගේ පවුලට සාධාරණය ඉටුවීම මෙන්ම, ඩොලර් මිලියන 2.5 ක භාණ්ඩාගාර ගනුදෙනුවක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට මෙම මනෝවිද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය අත්‍යවශ්‍ය බවයි එහිදී මෙම සාමුහිකය පෙන්වා දෙන්නේ.

විද්‍යාව සහ නීතිය සුසංයෝගීව භාවිත කරන විමර්ශන පද්ධතියක් රටට අවශ්‍ය බව පෙන්වා දෙන එම සාමුහිකය, වත්මන් පාලනයෙන් ඉල්ලා සිටින්නේ සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය නිසි පියවර ගන්නා ලෙසයි ෴


‘දිට්වා’ ආධාර මුවාවෙන් රු. ලක්ෂ ගණනින් වංචා කළ අයෙක් රිමාන්ඩ්

(06.05.2026 – hirunews.lk)

= හිමිවරුන් දෙනමකගේ සම්බන්ධයක් ගැනත් සැක – මුදල් කැසිනෝ ගිණුම්වලට =

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර ලබාදෙන බව පවසා බලශක්ති අමාත්‍යවරයා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස මුදල් රැස්කළ බව කියන පුද්ගලයෙකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (06) නියෝග කළා.

වංචාව සිදු කළ ආකාරය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සුදේශ් නලින්ද අල්විස් නමැත්තෙක්.

සැකකරු ව්‍යාජ ලේඛන සකස් කරමින් අමාත්‍යවරුන්ගේ නම භාවිත කර මෙරට සහ ඩුබායි රාජ්‍යයේ සිටින ව්‍යාපාරිකයන්ගෙන් ආධාර එකතු කර ඇති බව කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු කැසිනෝ ක්‍රීඩාවල නිරත වන්නෙකු බවත්, වංචනික ලෙස ලබාගත් මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට සහ කැසිනෝ ගිණුම්වලට බැර වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයේදී කරුණු හෙළිවුණා.

දැනට ලැබී ඇති තොරතුරු අනුව රුපියල් ලක්ෂ පහක (5) මුදලක් සැකකරු ලබාගෙන ඇති අතර, තවත් ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බව පොලිසිය පැවසුවා.

මෙම මහා පරිමාණ වංචාව සඳහා හිමිවරුන් දෙදෙනෙකුගේ (2) සම්බන්ධතාවක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වන බව ද පරිගණක අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.

එමෙන්ම සාක්ෂිවලට බලපෑම් කිරීමට සැකකරුට හැකියාවක් නොමැති බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියද, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ෴


අනිල් ජයන්තට ලැජ්ජා නැද්ද මෙහෙම කියන්න | මාලිමාවට බලය දුන්නේ මේවා කරන්නද..? | නීතිඥ මෛත්‍රී ගුණරත්න (06.05.2026)

+


ජනාධිපතිට ධුරය අහිමි වීමෙන් පසුව දඬුවම් විඳින්න වෙනවා..

(06.05.2026 – lankacnews.com)

ජනාධිපති අනුර දිසානායක මහතා අධිකරණයට අපහාස කරනවා නම්, අධිකරණයට බලපෑම් කරනවා නම් ධුරය අහිමි වීමෙන් පසුව අනිවාර්යයෙන් දඬුවම් විඳින්න වෙනවා යයි පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (06) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

ලෝක කම්කරු දිනයදා ජනාධිපතිතුමා කළ කතාවෙන් අධිකරණයට අපහාසයක් වගේම අධිකරණයට බලපෑම් කිරීමකුත් සිද්ධ වෙලා තිබෙනවා. ජනාධිපතිතුමා මොකක්ද කිව්වේ? අප්‍රේල් 30 වැනිදා අවසන් වුණු නඩුවක මැයි 25 වැනිදා තීන්දුව දෙන්න නියමිතයි අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්න.

කාටද මේ අමතන්නේ? මේ වෙන තැනක කරපු ජනාධිපතිතුමාගේ නිල රැස්වීමක් නෙවෙයි, මේ අමතන්නේ මාලිමා පාක්ෂිකයා මැයි රැලියේ. ඒ අයට අත්පුඩි ගහන්න පෙළඹෙන්නේ මොකටද? මාලිමා පාක්ෂිකයා සතුටු වෙන වෙලාවේ. ඉතා මාලිමා පාක්ෂිකයා සතුටු වෙන්නේ කොතැනදීද? විපක්ෂයේ දේශපාලකයෙක් කුදලගෙන ගෙනිහිල්ලා හිරේ දැම්මම. එහෙමනම් මේ නොකියා කියලා තියෙන්නේ විපක්ෂයේ දේශපාලකයෙකු හිරේ දමන නඩු තීන්දුවක් මැයි 25 එනවා කියන එකයි.

එතකොට අද මුළු රටම හොයනවා අප්‍රේල් 30 වැනිදා අවසන් කරලා මැයි 25 නඩු තීන්දුව දෙන්න තියෙන්නේ කාගේ නඩුවක්ද, කුමන උසාවියේද? නඩු තීන්දුවේදී අත්පුඩි ගහන්න ජනතාව ගිහිල්ලා උසාවියේ වාඩි වෙලා ඉන්න එපැයි. හැබැයි ජනාධිපතිතුමා විසින් මේ කරපු ප්‍රකාශය හරහා මොකක්ද ලබා දෙන්න උත්සාහ කරන්නේ? ජනමාධ්‍යවල ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කිරීමෙන් ජනාධිපතිතුමා නඩුකාරතුමාට දැනුම් දෙනවා මොකක්ද, “මට ඕන තීන්දුව මෙන්න මේකයි” කියලා. මොකද මේකේ එතුමා හිරේ දාන අයගේ නම් ලැයිස්තුවකුත් කියලා මේ විපක්ෂයේ දේශපාලකයන් ඉලක්ක කරන බව එතුමාගේ කතාවේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා.

දැන් මේක අධිකරණයට අපහාසයක් වෙන්නේ, ජනාධිපතිතුමා මැයි 25 වැනිදා දෙන්න තියෙන නඩු තීන්දුව කලින්ම තමන් දන්න බව අඟවන නිසා. එහෙම දැනගන්න පුළුවන් කොහොමද? එක්කෝ ජනාධිපතිතුමා අදාළ විනිසුරුවරයාට කතා කරලා කියන්න ඕනේ “ඔන්න ඕකව හිරේ දාන තීන්දුවක් දෙන්න” කියලා. එතකොට ඒ පැත්තෙන් “හරි සර් කරන්නම්” කියන්නත් ඕනේ. එහෙම නැත්නම් නඩුකාරතුමා කලින්ම නඩු තීන්දුව ලියලා ජනාධිපතිතුමාට “මේක හරිද?” කියලා පෙන්නුවා වෙන්න ඕනේ. ඔය දෙකෙන් මොකක් ජනතාවට සන්නිවේදනය වුණත්, දැඩි ලෙස අපහසුතාවයට පත්වෙන්නේ අර නඩුකාරතුමා. ඒ හරහා මේ රටේ අධිකරණය පිළිබඳ ජනතාවගේ තියෙන ගෞරවය, පිළිගැනීම සුන්නද්දූලි වෙලා යනවා. ඒ නිසා මේක ඍජුවම අධිකරණයට කළ අපහාසයක්.

අපහාසයක් විතරක් නෙවෙයි, මෙතන බලපෑම් කිරීමකුත් තියෙනවා. ඇයි? මේ නඩු තීන්දු ලබා දෙන මහාධිකරණ විනිසුරුවරුන් පත් කරන්නේ ජනාධිපතිතුමා. ඔවුන්ට ඔවුන්ගේ ඊළඟ උසස්වීම් වෙන අභියාචනාධිකරණයට කාවද පත් කරන්නේ කියන එක ජනාධිපතිතුමා ගන්නා තීන්දුවක්. එහෙමනම් මේ ප්‍රකාශය හරහා ජනාධිපතිතුමා අධිකරණයට බලපෑමක් කරලා තියෙනවා. “ඊළඟ උසස්වීම දෙන්නේ මමයි, මෙන්න මේ විදිහට තීන්දුව දුන්නොත් නම් උසස්වීම ලබා ගත හැකියි.” මේක බලපෑමක් නෙවෙයිද?

හැබැයි ජනාධිපතිතුමා කිසිම වගකීමකින් තොරව මේ වගේ චණ්ඩි කතා කියන්නේ ජනාධිපති මුක්තිය පිළිබඳ අපේ රටේ නීතිය පිළිබඳ එතුමාට කිසිම අවබෝධයක් නැති නිසා. ඇත්තටම ජනාධිපතිවරයාට මුක්තිය ලබා දීලා තියෙන්නේ ජනාධිපතිතුමාට ආරක්ෂාවක් ලබා දෙන්න නෙවෙයි, ජනාධිපතිතුමාගෙන් අපිව ආරක්ෂා කරගන්න. ඇයි? ජනාධිපතිතුමාගෙන් අපට වැරැද්දක් වුණොත්, ජනාධිපතිතුමා යටතේ තියෙන පොලිසියෙන් විමර්ශනය කරලා, ජනාධිපතිතුමා යටතේ තියෙන නීතිපති චෝදනා ගොනු කරලා, ජනාධිපති පත් කරපු විනිසුරුවරුන්ගෙන් තීන්දු ගත්තොත් අපට සාධාරණයක් නොවෙන්න පුළුවන්. බැලූ බැල්මට ඒක සාධාරණ නැහැ කියලා පේනවා. ඒ නිසා තමයි ජනාධිපති ධුර කාලයේ ඉන්න තුරු එයාට මුක්තියක් දීලා තියෙන්නේ.

හැබැයි මතක තියාගන්න, ලංකාවේ මුක්තිය පිළිබඳ නීතිය අනුව ජනාධිපති ධුරය අහිමි වුණාට පස්සේ, ධුරයේ කටයුතු කරපු කාලයේදී කළ වැරදිවලටත් නඩු දාන්න පුළුවන්. සමහර රටවල එහෙම නැහැ. ලංකාවේ එහෙම තමයි. ජිප්සීස් සුනිල් කියන්නා වගේ මේක ලංකාවේ එහෙම නැහැ නෙවෙයි ලංකාවේ එහෙම තමයි. ඒ නිසා ජනාධිපතිතුමා මේ විදිහට අධිකරණයට අපහාස කරනවා නම්, අධිකරණයට බලපෑම් කරනවා නම්, අනිවාර්යයෙන් ධුරය අහිමි වීමෙන් පසුව ඔබට අනිවාර්යයෙන් දඬුවම් විඳින්න වෙනවා. ඒ නිසා නීතිය දන්න කෙනෙක්ගෙන් ජනාධිපති මුක්තිය ගැන හරියට ඉගෙනගෙන අමාරුවේ නොවටෙන්න කතා කරන්නයි කියලා අපේ පරණ මිත්‍රයා ජනාධිපති අනුර දිසානායක මැතිතුමාට අපි පුංචි අනතුරු ඇඟවීමක් කරනවා ෴

+


කොල්ලුපිටියේ නිවාස සංකීර්ණයක සිට සයිබර් අපරාධ රැසක් සිදුකළ චීන්නු කල්ලියකට අදත් (06) වැඩ වරදී (06.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *