මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා

මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා


මිහින්තලා ගිණුමට රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් ලැබුණා

(29.05.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලා රජ මහා විහාරයේ පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් මහජනතාවගෙන් මේ වන විට විශාල වශයෙන් දායකත්වයක් ලැබෙමින් තිබෙන බව මිහින්තලා රජ මහා විහාරධ්පති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිම්යන් පවසනවා.

උන්වහන්සේ එළෙස පැවසුවේ අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින්.

මිහින්තලා රජ මහා විහා‍රාධිපති නාහිමියන් පසුගිය දින කිහිපයේම ප්‍රකාශ කර සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබීම පිළිබඳ ගැටලු පවතින බවයි.

මේ නිසා මිහින්තලා ආලෝක පූජාව සහ මිහිඳු පෙරහර පැවත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා.

අද (29) වන විට පොසොන් උත්සවය වෙනුවෙන් දෙස් විදෙස් බැතිමතුන් විශාල පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මිහින්තලා රජ මහා විහා‍ර ගිණුමට ලැබී ඇති බව නාහිමියක් පැවසුවා ෴


රාජාංගණයේ සද්ධාරතන ‘කුණුහබ්බ සාදු’ රිමාන්ඩ්

(29.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු රාජාංගණයේ සද්ධාරතන ‘කුණුහබ්බ සාදු’ අද (29) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.

සද්ධාරතනයා ඊයේ (28) රාත්‍රියේ අනුරාධපුර ශ්‍රාවස්ත්‍රීපුර ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මෙම ‘කුණුහබ්බ සාදු’ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුතාවක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඊයේ (28) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම ‘කුණුහබ්බයා’ අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා ෴

+++++++++++

+++++++++++

ශාසනය ඇතුලේ ඉඳන් කඳ පණුවන් වගේ ශාසනය විනාශ කරන කෙනෙක් තමයි , රාජාංගනයේ සද්ධාරතන

+++++++++++

අපරාදේ හාමුදුරුවනේ අපි කියපු දේ ඇහුවා නම් ඔහොම වෙන්නේ නෑනේ – සුදත්ත තිලක්සිරි (29.05.2023)

+


හිටපු ජනපති මෛත්‍රීගේ සොයුරාගේ මුද්ද සොරකම්කල අය සොයා විමර්ශන

(29.05.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරාගේ රුපියල් කෝටියක් (1,00,00,000) වටිනා නිල් මැණිකක් සහිත මුද්ද සොරාගත් පුද්ගලයා සොයා පොළොන්නරුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසූවේ පොළොන්නරුව ලක්ෂ උයන ප්‍රදේශයේ වාසය කරන ඔහුගේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බවයි.

එම මුදුවට අමතරව ඇමරිකානු ඩොලර් පන්දාහක් (5000) සහ ශ්‍රී ලංකා මුදල් රුපියල් ලක්ෂයක් (1,00,000) ද එම සේවකයා විසින් සොරාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා ෴


දරුවන් දෙදෙනෙකු (2) අපයෝජනය කළ වැඩබලන විදුහල්පති අත්අඩංගුවට

(29.05.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

දොළොස් (12) හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු (2) අපයෝජනයට ලක් කළ කොඩිප්පිලිකන්ද විදුහලේ හිටපු වැඩබලන විදුහල්පති මෙන් ම නැටුම් විෂය ඉගැන්වූ ගුරුවරයා සොයා කලවාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම විදුහලේ නානකාමරය තුළ දී මෙම දරුවන් අපයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

කලවාන පොලීසියට ලද තොරතුරු මත සිදුවීම සම්බන්ධව විමර්ශන කිරීමෙන් අනතුරුව කරුණු අනාවරණය වී ඇති අතර මෙම පුද්ගලයා මීට පෙරද මෙවැනි ම ක්‍රියා හේතුවෙන් වැඩ තහනමට ලක් වී සිටින අයකු බවද හෙළි වී තිබෙනවා ෴


සා/පෙළ උත්තර පත්‍ර ඇගයීමට පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවයි

(29.05.2023 – 17:20 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙනවා.

අද (29) සිට ඒ සඳහා අයදුම්පත්‍ර යොමුකළ හැකි අතර එය අවසන්වන්නේ එළැඹෙන ජුනි මස 15 වැනිදායි.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාස 04 ක් තුළ ලබාදිය හැකි වුවත් උසස්පෙළ පිළිතුරුපත් ඇගයීම් තවමත් අවසන්ව නොමැති වීම නිසා එය ගැටලුවක් විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වූ අතර එය ලබන මස 08 වැනිදා දක්වා දිවයින පුරා පැවැත්වෙන්නේ විභාග මධ්‍යස්ථාන 3,568 ක දීයි.

ඒ සඳහා මෙවර ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 472,553 ක් ෴


උණුසුම ගැන කාලගුණයෙන් දැනුම් දීමක්

(29.05.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද (29) සහ හෙට (30) යන දෙදින (2) තුළ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මෙම උණුසුම් සහිත කාලගුණයෙන් සිදුවන පීඩා අවම කරගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි ෴


“සිසුන් නුපුරුදු පරිසරයක විභාගවලට මුහුණ දීම ඔවුන්ගේ මානසික නිදහසට බාධාවක්” – ජනපති

(29.05.2023 – 17:39 +0530 – hirunews.lk/sinhala)

තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව අවම වශයෙන් සිසුන් 75 දෙනෙකු පමණ විභාගයට සුදුසුකම් ලබා ඇති යම් පාසලක් වේද, එම පාසල විභාග මධ්‍යස්ථානයක් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා මේ වන විට ආරම්භ වී ඇති විභාග කටයුතුවලට බාධා නොවන අයුරින් යම් පහසුවක් සැලසිය හැකි නම් ඒ වෙනුවෙන් ද ඉදිරි දින කිහිපය තුළ පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විභාග කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී යි.

අද (29) ආරම්භ වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මධ්‍යස්ථාන 3,568 කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 472,553 ක් පෙනී සිටින අතර ඒ වෙනුවෙන් සේවයේ යොදවා ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව 40,000 කට ආසන්නයි.

පාසල් කිහිපයකම සිසුන් තමන් අධ්‍යාපනය ලබන පාසල වෙනුවට වෙනත් පාසලක විභාග මධ්‍යස්ථානයකට යොමු කිරීමට බලධාරීන් කටයුතු කිරීම නිසා දරුවන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින බව දෙමාපියන් සහ දරුවන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව සොයා බැලීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන සීමා කිරීමට තීරණය කළ බවයි.

මෙය සිසුන්ගේ මානසික මට්ටමට සෘජුවම බලපාන තත්ත්වයක් හෙයින් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමේ දී අවම වශයෙන් වසරක (1) පමණ කාලයක් එම පාසල් සහ සිසුන් දැනුවත් කොට එය ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පවත්වන සියලු විභාග ප්‍රමාදයකින් තොරව පැවැත්වීමට විධිමත් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවත්, ඒවා නොපවැත්වීමට හේතු දැක්වීම විභාග දෙපාර්තමේන්තුවේ කාර්යයක් නොවන බවත් පැවසු ජනාධිපතිවරයා සිසුන්ට හුරු පරිසරයේ විභාගයට පෙනී සිටීමට පසුබිම සැකසීම අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමක් බව ද අවධාරණය කර සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *