දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින්

දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින්


දරුවා මියගිය බව නොපිළිගත් පියෙකු මළ සිරුර රැගෙන පලා ගිහින්

(28.05.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරු දරුවා මිය ගිය බව පැවසුව ද, එය පිළිනොගත් පියකු විසින් දරුවාගේ මළ සිරුර ද රැගෙන පලාගොස් තිබෙන පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ආබාධිත දරුවකු රැගෙන නුවරඑළිය රෝහලට පැමිණි පුද්ගලයකු දරුවාට අසනීප තත්ත්වයක් තිබෙන බව වෛද්‍යවරුන්ට පවසා තිබෙනවා.

වෛද්‍යවරුන් විසින් එම දරුවා පරික්ෂා කිරීමේදී දරුවා මිය ගොස් ඇති බව තහවුරු වී තිබුණෙන් එම දරුවා මිය ගොස් ඇති බව එම පියාට වෛද්‍යවරු පවසා ඇති බවයි ඔවුන් පවසන්නේ.

අනතුරුව එම පියා වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ “මේ වගේ අසනීප දරුවාට නිරතුරුවම හැදෙනවා” යනුවෙන්.

පසුව ඔහු දරුවාගේ සිරුර රැගෙන රෝහලෙන් පලා ගොස් තිබෙන බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කොට තිබෙනවා ෴


මාරක රිය අනතුරු දෙකක් (2)

(28.05.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) උදෑසන මහනුවර යාපනය මාර්ගයේ චාවකච්චේරිය නගරය අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම අන්තුර සිදු වී ඇත්තේ මහනුවර දෙස සිට යාපනය දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදියක ගැටීමෙන් බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිර්‍රිමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 73 හැවිරිදි නූනාවිල් මධ්‍යම, චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය අයගේ මෘත ශරීරය චාවකච්චේරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.

වැඩිදුර විමර්ශන සිදු කරන චාවකච්චේරිය පොලිසිය පැවසුවේ අනතුර සිදු කළ මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම, ඊයේ (27) දහවල් කාලයේදී දැදිගම, කෝපිවත්ත ප්‍රදේශයේදී බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන සිදු වී අනතුරකින් පුද්ගලයකු මරණයට පත් වී තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ කෝපිවත්ත වේරගොඩ දෙස සිට යට්ටෝගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගය අයිනේ නවතා තිබියදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් එම බස් රථයේ ගැටීමෙන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු බෙලිගල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 81 ක් වූ මොරගොල්ල, ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දැදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය විරෝධතාවයක

(28.05.2023 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ලීසිං වාරික නොගෙවූ වාහන අත්පත් කරගැනීමේදී ඊට වක්‍රාකාරයෙන් පොලිසිය සහාය නොදිය යුතු බව පවසමින් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඊයේ (27) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

පොලිසිය එම විරෝධතාවයට ඉඩ ලබා නොදීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා ෴


පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජන කළ හමුදා සෙබළෙක් අත්අඩංගුවට

(28.05.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

තරුණියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව සහ පවුලේ අයට ලබාදෙන බව පවසා තර්ජනය කල යුද හමුදා සෙබළෙකු වාරියපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාරියපොල ප්‍රදේශයේ තරුණියක සමඟ මෙම යුධ හමුදා සෙබලා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව සඳහන්.

එම සම්බන්ධතාවය පවතින අවධියේ ඇය සමග ලිංගිකව එක් වන අවස්ථා වීඩියෝ ගත කිරීමට මෙම සෙබලා පියවර ගෙන තිබෙනවා.

මෙම තරුණිය මොහු සමග ඇතිවූ විරසකයක් මත ප්‍රේම සම්බන්ධතාවය නැවැත්වීමෙන් අනතුරුව මෙලෙස තර්ජනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


වේයන්ගොඩදී පොලිස් කොස්තාපල්වරියට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට

(28.05.2023 – 16:52 +0530 – hirunews.lk/sinhala)

වේයන්ගොඩ – කුඹල්ඔළුව දෙකේ කණුව ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරියෙකුට තියුණු ආයුධයකින් පහරදුන් පුද්ගලයා පොලිසිය අද (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය මේ වන විට වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ හිසට සහ එක් අතකට බරපතල තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මීරිගම අක්කර 20 ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරිය පොලිස් තූර්යවාදක කණ්ඩායමට අනුයුක්තව සේවය කරන තැනැත්තියක්.

අද (28) දින ඇයගේ විවාහ උත්සවය පැවැත්වීමටද නියමිතව තිබී ඇති අතර ඒ වෙනුවෙන් කිසියම් අවශ්‍යතාවක් සඳහා ඊයේ (27) පස්වරුවේ නගරයට පැමිණි අවස්ථාවේදී ඇයට මෙම පහරදීම සිදුව තිබෙනවා.

පහරදුන් පුද්ගලයා සමඟ ඇතිවූ බහින්බස්වීමකින් අතුරුව ඔහු විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිට ඇති අතර පොලිසිය සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහු අද (28) අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴


උතුරු පළාතේ ගැටලු සහිත පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ දෙමළ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක්

(28.05.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතේ පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ පවතින ගැටලු සම්බන්ධයෙන් එම ප්‍රදේශයන්හි දෙමළ මන්ත්‍රීවරු සමඟ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සංස්කෘතික අමාත්‍යංශයේ පසුගියදා පැවති මෙම හමුවේදී ඔවුන් අතර එකඟතාවයක්ද ඇතිකරගත් බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම කුරින්දිමලේ, වඩුකානරි යන පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් සියලු දෙනාටම එකඟවිය හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමටද එම හමුවේදී එකඟ වී තිබෙනවා ෴


අසුපිණි ඇල්ල ව්‍යාපෘතියේ බට ගිනිගැනීමේ සිද්ධියට හේතුව දුම්වැටියක් – O/L 06 ක් අත්අඩංගුවට

(28.05.2023 – 19:17 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට හෙට (29) දිනයේදී පෙනී සිටීමට නියමිතව පාසල් සිසුන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙම සිසුන් 06 දෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ අරණනායක, අසුපිනිඇල්ල ජල යෝජනා ක්‍රමය වෙනුවෙන් රැගෙන විත් තිබූ ජල නළ තොගයකට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

අදාළ යෝජනා ක්‍රමය පසුගිය සෙනසුරාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කළ අතර, ඊට දින දෙකකට (2) පෙර මෙම ජලනල තොගය ගිනිගැනීමට ලක්ව තිබුණා.

පසුව අනාවරණය වූයේ මෙම පාසල් සිසුන් පාසල් නිමවීමෙන් පසු ජල නළ තොගය ගබඩා කර තිබූ ස්ථානයට ගොස් දුම්පානය කර ඇති බවයි. එහිදී ඉවත දැමූ ගිනිකූරක් නිසා මෙම ගින්න හටගෙන තිබූ බවට අනාවරණය වී තිබුණා.

ඒ අනුව මෙම සිසුන් 06 දෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් මාවනැල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිසුන් 06 දෙනා අරණායක ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් බවයි පොලිසිය සඳහන් කළේ.

+


දඹුල්ල හිටපු නගරාධිපතිවරයාගේ සොහොයුරාට ළමා අපයෝජන චෝදනා

(28.05.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ක පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාතගේ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලද පැමිණිල්ලක් අනුවයි පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස විමර්ශන ආරම්භ කර ඇත්තේ.

මොහු විසින් වසරක (1) පමණ කාලයක සිට වරින් වර මෙම දරුවා අපයෝජනයට ලක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ෴


සිසුන්ගේ නාසයෙන් කටෙන් ලේ හැලෙන්න ගුටි දුන් ගුරුවරයෙකු අත්අඩංගුවට

(28.05.2023 – 20:01 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ තෙලිප්පලෙයි මහජන විද්‍යාලයේ සිසුන් තුන් දෙනෙකුට (3) පහර දුන් ගුරුවරයෙකු තෙලිප්පලෙයි පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුන් පිරිසක් කොණ්ඩය නොකපා පාසලට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට බැන වදිමින් අදාල ගුරුවරයා සිසුන්ට පහර දී ඇති අතර ඉන් සිසුන් තුන් දෙනෙකු (3) නාසයෙන් හා කටෙන් ලේ ගැලීම නිසා එම අවස්තාවේ දී රෝහල් ගත කොට තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

එම සිසුන් තුන් දෙනා (3) ගෙන් එක් (1) අයෙකු අපස්මාර රෝගයෙන් පෙළෙන නිසා ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සිසුන්ගේ දෙමව්පියන් මේ සම්බන්ධයෙන් යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ මෙම ගුරුවරයා සිසුන්ට ඉතා අමානුෂික අන්දමට දිනපතාම පහර දෙන නිසා එම ගුරුවරයාව මනෝ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් දෙමව්පියන්ගේ පැමිණිලි මත අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මැයි මස මුල් දින විස්සේ (20) දී සංචාරකයින් 57,000 ක් දිවයිනට

(28.05.2023 – 21:44 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ මුල් දින 20 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය 57,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව මුල් දින විස්ස (20) තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 57,142 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙලෙස පැමිණි සංචාරකයින්ගෙන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු පිරිස ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව සහ චීනය යන රටවලින් පැමිණ තිබෙනවා.

එමෙන්ම මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 4,98,319 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ෴


සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ පොලිස් ආරක්ෂාවක්

(28.05.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

හෙට (29) දිනයේ ඇරඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ජංගම සංචාර, පාමුර සංචාර සහ විශේෂ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පවසන්නේ.

විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ පිළිතුරු පත් එකතු කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් ද පොලිස් නිලධාරීන් 1707 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම තමන් පදිංචි ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් පිහිටා ඇත්නම් එම විභාග කටයුතු බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසටයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *