මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ

මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ


මැයි 30 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි වේ

(28.05.2023 – 15:54 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ යතුරුපැදියකට සහ ත්‍රීරෝද රථයකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 14 දක්වා ඉහළ දමා ඇති බවයි.

මීට පෙර යතුරුපැදියක් සඳහා ලීටර් 7 ක් සහ ත්‍රීරෝද රථයක් සඳහා ලීටර් 08 ක් ලබාදී තිබුණා.

එමෙන්ම ලියාපදිංචි ත්‍රිරෝද රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 15 සිට ලීටර් 22 දක්වා ඉහළ දමා ඇති බවයි විෂය භාර අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

එමෙන්ම බස් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන තිබුණේ.

බස් රථ සඳහා මීට පෙර ලීටර් 60 ක ඉන්ධන කෝටාවක් ලබාදීමට රජය කටයුතු කර තිබුණා.

මීට අමතරව මෝටර් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 30 සිට 40 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම ලොරි රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාවද ලීටර් 75 සිට 125 දක්වා ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.

වෑන් රථ සඳහා ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර් 30 සිට 40 දක්වා ලීටර් 10 කින් ඉහළ නංවා තිබෙනවා.

විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඉඩම් වාහන සඳහාද ලබාදී තිබූ ඉන්ධන කෝටාව ලීටර 25 සිට 45 දක්වා ඉහළ නංවා ඇති බවයි ෴

මේ අතර සිනොපෙක් සමාගම සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සහ ඇතැම් මාධ්‍යවවල පළවූ වාර්තා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සුදුසු නීතිමය සහ විනය කටයුතු සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම අදාළ පාර්ශවයන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් ෴


ඩිජිටල් උප්පැන්න සහතිකය කඩිනමින් ලබා දීමට සැළසුම්

(28.05.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පවසනවා.

තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔහු පවසා සිටියේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ, විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමින්.

අලුත් ගමක් – අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මක බවද සඳහන් ෴


කුඩා දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

(28.05.2023 – 07:46 +0530 – hirunews.lk/sinhala)

රාජාංගනය යාය 04 ප්‍රදේශයේ දී කුඩා දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රාජාංගනය ජලාශයේ ප්‍රධාන වාරි ඇලට වැටී මෙම දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මියගිය දරුවා වයස අවුරුදු 01 මාස 08 ක් පමණ වූ මලියදේවපුර, තඹුත්තේගම ලිපිනයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

දරුවා දියේ ගිලී බරපතල තතත්වයෙන් රාජාංගනය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි තඹුත්තේගම පොලිසිය පවසන්නේ ෴


තරුණයන් දෙදෙනෙක් (2) අකුණු සර වැදී මරුට

(28.05.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

බුත්තල, ගෝනගංආර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකුට (2) අකුණු සර වැදී මිය ගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (27) බුත්තල, ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයන් දෙදෙනා (2) ඊයේ (27) පස්වරුවේ වගුරුවෙල කුඹුරු ඉඩමක වගා කරමින් සිටියදී එක වර කුඹුරට අකුණු ගසා තිබෙන අතර එම අකුණු සර ඔවුන් දෙදෙනාට (2) වැදී කම්පනයට පත් වී මිය ගොස් තිබෙනවා.

මිය ගිය තරුණයන් දෙදෙනා වයස අවුරුදු 31 ක සහ 32 ක බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන ගෝනගංආර පොලිසිය විසින් සිදු කරන බවයි වාර්තා වන්නේ ෴


සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ඇරඹේ

(28.05.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) සිට ආරම්භවීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනක් (4,72,553).

එමෙන් ම බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

වටරැක සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පස්දෙනෙකු (5) බැගින් ඊට ඇතුළත්.

ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නව මැගසින් බන්ධනාගාරයේයි.

මේ අතර, විභාගයට මුහුණදෙන සිසුන් හට සමබර ආහාර වේලක් සහ සුව නින්දක් ලබාදීම වැදගත් බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසන්නේ ෴


පිරිත් මණ්ඩපයට පහරදුන් කැකිරාවේ පාසලක සිසුන් හත්දෙනෙක් (7) අත්අඩංගුවට

(28.05.2023 – 08:56 +0530 – hirunews.lk/sinhala)

පාසලේ පිරිත් පිංකමක් අතරතුරදී කළහකාරි ලෙස හැසිරුණු බව කියන කැකිරාව නගරාසන්නයේ ජනප්‍රිය ජාතික පාසලක සිසුන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් පාසලේ ඉදිකර තිබූ පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ කළහකාරී සිද්ධිය ඇතිවන අවස්ථාවේ එම ප්‍රදේශයේ ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12 හා 13 වන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තාවන්නේ ෴


කටුනායකට පැමිණෙමින් තිබූ යානයක සිටි මගියෙක් ජීවිතක්ෂයට

(28.05.2023 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක දී පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ඔහු යාපනයේ පදිංචි වයස අවුරුදු 73 ක පුද්ගලයෙක් බව සඳහන්.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ ෴


හෙරොයින් සමඟ සැකකරුවන් අල්ලයි

(28.05.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ ශ්‍රී බෝධි මාවතේ ඊයේ (27) කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 470 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු 38 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (28) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගම්පහ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මේ අතර ඊයේ (27) දෙහිවල එකමුතු පාර ප්‍රදේශයේදී ද හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි 44 වියැති සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 100 තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකශක කොට්ඨාසය පවසන්නේ.

සැකකරු අද (28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ගිනි අවි සන්තකයේ : සැකකරුවන් දැලේ

(28.05.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ සිරිධම්ම මාවතේදී ඊයේ (27) රාත්‍රී විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සහ පතරොම් 08 ක් සමඟ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

මේ අතර, කොටහේන කොලීජි වීදිය ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 45 ක අයෙක්. ඔහු අද (28) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.

කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

(28.05.2023 – 10:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකට අද (28) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

උතුරු, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ක්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධාන යොමු කළ යුතු මට්ටමක පවතිණු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව ඊට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි අතර විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම් සිදුවිය හැකි බවද අනතුරු ඇඟවීම් ද සිදුකොට තිබෙනවා ෴


පාදුක්කේදී දුම්රියක ගැටී තරුණයෙක් මරුට

(28.05.2023 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන කළු පාලම ප්‍රදේශයේදී ඊයේ (27) දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ ඊයේ (27) දහවල් කාලයේදී කොළඹ කොටුව සිට පාදුක්ක බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් බවයි කිරුළපන පොලිසිය පවසන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ 05, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තරුණයෙක්.

ඔහුගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිරුළපන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


චර්ම රෝගයක් පැතිරීම නිසා වයඹ පළාතෙන් ගව ප්‍රවාහනය අත්හිටුවයි

(28.05.2023 – 14:00 +0530 – hirunews.lk/sinhala)

චර්ම රෝගයක් පැතිරීම නිසා වයඹ පළාතෙන් ගව ප්‍රවාහනය අත්හිටුවා තිබෙනවා .

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වැඩබලන අධ්‍යක්ෂ, බී.සී.එස්. පෙරේරා සඳහන් කළේ, කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් එම තීරණය ගත් බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *