බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට


බුදු දහමට අපහාස කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

(28.05.2023 – 06:19 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අගෞරවනීය ලෙස ප්‍රකාශකයක් සිදුකළා යැයි කියනු ලබන නතාෂා එදිරිසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මෙරටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී යි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පරිඝණක අපරාධ විමර්ශන අංශය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා බාර දී තිබෙනවා.

‘මෝඩාභිමානය’ නමින් සංවිධානය කර තිබූ වැඩසටහනකදී ඇය විසින් සිදුකරනු ලැබූ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුල කතාබහක් ඇති වී තිබූ අතර විවිධ පාර්ශවයන් විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විවේචනාත්ම මතයන් පළකරනු ලැබුවා.

එමෙන්ම ඊයේ (27) පස්වරුවේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් ඇය කළ ප්‍රකාශය මත පදනම්ව ඇයව අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ද පොලිස් මූලස්ථානය වෙත ඉදිරිපත් කරනු ලැබීය ෴

+++++++++

+++++++++

සියලු ආගම්වලට අපහාස කරන නතාෂා ගැන පැමිණිලි

(27.05.2023 – 19:02 +0530 – sinhala.adaderana.lk)

බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කරන ලද තරුණියක් සම්බන්ධයෙන් අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණි.

කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට නතාෂා නමැති තරුණියකට පසුගියදා අවස්ථාව හිමිවුණි.

ඇය ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහා ගැස්වීම සිදුකර තිබුණි.

ප්‍රේක්ෂකාගාරය ද ඊට ප්‍රතිචාර දැක්වූයේ කොක්හඬ ලා සිනහා නගමිනි.

ඇය බෞද්ධ පාසල් ද ප්‍රසිද්ධියේ බරපතළ ලෙස විවේචනය කළාය.

ඒ ප්‍රකාශය තුළ අපහාසය පමණක් නොව නරක වචන පවා ගැබ්වී තිබුණු බව වාර්තා විය.

ප්‍රහසන කලාව තුළින් ජනතාව පිනවන කලා ශිල්පීන් බහුතරයක් අප රටේ අදටත් සිටී.

නමුත්, ඔවුන් කිසිදු අවස්ථාවක ආගම්වලට අපහාස කිරීම් සිදුකර ඇති බවට වාර්තා වී නොමැත.

ඔවුන් සැමවිටම ප්‍රේක්ෂකයා අතරට රැගෙන ගියේ උසස් රසවින්දනයකි.

ආගම්වලට ගරහන නතාෂාගේ ප්‍රහසන කලාව විවිධ පාර්ශ්ව ද බරපතළ විවේචන එල්ල කරමින් පවතී.

අදාළ තරුණිය හා ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ ඊයේ (26) පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවය.

කෙසේවෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට අද පැමිණිලි කර තිබුණි.

මේ අතර අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානයද පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පැවසුවේ බෞද්ධ ආගමට අපහාස වන අයුරින් ප්‍රකාශ කළ එම තිරුණිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය.

++++++++++

++++++++++

ජෝක්ස් දන්නැත්තං අපි ළඟට එන්න. කියල දෙන්නං – නතාෂාට පේෂලගෙන් උපදෙසක් (27.05.2023)

+++++++++++

බෞද්ධ බාලිකාවකට ගිය නතාෂා කන්‍යාවියගේ පතිවත (27.05.2023)

++++++++++

මංජු නිශ්ශංක ගැන කඩිනම් පරීක්‍ෂණ අරඹන්නැයි පොලිස් ඇමතිට කියයි…

(28.05.2023 – 12:00 +0530 – lankacnews.com)

මංජු ශ්‍රී නිස්සංක නැමැත්තා විසින් ආගමික සහජීවනයට බරපතළ ලෙස බාධා පමුණුවමින් සිටින බවත් ඔහුගේ ක්‍රියාකාරීත්වට සම්බන්ධයෙන් ඉක්මනින් නීතිමය පියවර ගන්නා ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවිර මහතා ඉල්ලා සිටියි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය :

ටිරාන් අලස් මැතිතුමා,
මහජන ආරක්ෂක අමාත්‍ය,
මහජන ආරක්ෂක අමාත්‍යාංශය,
14 වැනි මහල,
සුහුරුපාය,
බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගැනීම

ආගමික සහජීවනයට බාධා පමුණුවන, විශේෂයෙන් බුදුදහමට ඉතාමත් නින්දිත ලෙස පහර පිට පහර දෙන යම් කල්ලි, කණ්ඩායම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන බව ඔබතුමන් ද දන්නා සත්‍යයකි. මෙම ප්‍රවණතාව දිනෙන් දින උග්‍ර වන බවක් පෙනී යන අතර ඉන් ආගමික සහජීවනයට බාධා පමුණුවන මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වය ඉතා බරපතල තත්ත්වයක පවතී.

යම් ආගමික ශාස්තෘවරයකුට, යම් ආගමකට එරෙහිව සිදු කරන ප්‍රකාශ මගින් මුළුමහත් සමාජයකට ගිනි ඇවිලවිය හැකි අතර ඒ බව හොඳින් දන්නා බාහිර බලවේග රට තුළ පවතින සාමකාමී වාතාවරණය විනාශ කිරීමට මෙවැනි ‘බළල් අත්’ යොදවා ඇති බව අපගේ විශ්වාසය වන අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳව ඔබතුමන්ගේ දැඩ් අවධානය යොමු විය යුතු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

විශේෂයෙන් ඉහත කී තැනැත්තා අතිවිශාල මුදලකට මෑතකදී මිලදී ගෙන ඇතැයි පැවසෙන එක්තරා සමාජ මාධ්‍ය නාලිකාවක් මගින් දිගින් දිගටම ආගමික සහජීවනයට බාධා පමුණුවන, මහජන කැළඹීමකට පාර කපන ප්‍රකාශ සමාජගත කරමින් සිටී.

මෙය හුදකලා සිදුවීමක් නොවන අතර ආගමික ගැටුම් ඇති කොට, රටට ගිනි ඇවිලවීමේ ප්‍රයත්නයක නිරතව සිටින ඉහත කී බාහිර බලවතුන්ගේ අනුග්‍රහය මේ සඳහා ලැබී ඇති බව ද පෙනී යයි.

අප ඔබතුමන් වෙතින් පළමුකොට ඉල්ලා සිටින්නේ ‘මහා ධනස්කන්ධයක් උපයාගෙන ඇමරිකාවේ සිට පැමිණියා’ යැයි පවසන මංජු ශ්‍රී නිශ්ශංක නැමැති පුද්ගලයාගේ ඉහත කී නින්දිත ක්‍රියාකාරිත්වයට මුදල් පොම්ප කරන විදේශ රටවල ඔත්තු සේවා සහ සංවිධාන කවරේ දැයි විමර්ශනය කිරීමට කඩිනමින් පරීක්ෂණ අරඹන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දෙන ලෙස ය.

එවැනි විධිමත් විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව ආගමික ගැටුම් ඇවිලවීමට තුඩුදෙන, මහජන කැළඹීමකට පාර කපන අපරාධ වැරදි සිදු කරන මෙකී තැනැත්තා ඇතුළු ඔහුගේ කල්ලියට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.

මෙයට ව්ශ්වාසී,

ජයන්ත සමරවීර(පා.ම.),
ජාතික සංවිධායක,
ජාතික නිදහස් පෙරමුණ

++++++++

+


දෙවියෙක් වගේ පුතා ඇවිත් අපිව බේරුවේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි – 18 වංගුවේ ජිවිත 50 ක් බේරූ වීරයා (27.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *