මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි

මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි


මෝඩාභිමානයෙන් බුදු දහමට නිගරු වුණා ද ? – CIDයට පැමිණිලි

(27.05.2023 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, දිගින් දිගටම බුදු දහමට එල්ල වන අපහාස වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට, නීතිපතිවරයාට, බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ද අදාළ ලිපියේ පිටපත් යොමුකර ඇති බව සඳහන්.

එමෙන්ම, මෝඩාභිමානය නමින් සංවිධානය කර තිබූ වැඩසටහනක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව පිළිබද සොයා බලා විමර්ශන සිදුකරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

එම වීඩියෝ පටයෙන් බුදුදහමට අගෞරවයක් සිදුවන බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එමෙන්ම, අල්ලසට දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය ද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

++++++++

බුදු දහමට අපහාස කරන SL Vlog කල්ලියේ තොරතුරු එළියට – ආධාර ලැබෙන්නේ අමෙරිකාවෙන්

(27.05.2023 – 13:26 +0530 – lankaleadnews.com)

පසුගිය දා ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ දී SL Vlog නම් කණ්ඩායම විසින් ‘මෝඩාභිමානය‘ නමින් පැවැත්වූ වැඩසටහනේ දී බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව මේ වන විට සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබේ.

SL Vlog නමින් හඳුන්වන මෙම කණ්ඩායම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය(USAID) මගින් සෘජුවම ආධාර ලබන කණ්ඩායමක් බව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම කල්ලිය පිළිබඳව ලංකා ලීඩ් කළ හෙළිදරව් කිරීම්වලින් පසු ලංකා ලීඩ් පාඨකයන් විසින් මෙම කණ්ඩායමට අභියෝග කරමින් පවසන්නේ හැකි නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ‘නවය; සැඟවුනු කතාව‘ කෘතිය පිළිබඳව වැඩසටහනක් කරන ලෙසය. එහෙත් එබඳු අභියෝගයක් මෙම කණ්ඩායම භාර නොගන්නා බවත්, එයට හේතුව එබඳු වැඩසටහනක් කිරීමෙන් ඔවුන්ට USAID හරහා ලැබෙන ආධාර අහිමිවී යන බවත් එම පාඨකයන් පෙන්වා දෙයි.

මෙම කණ්ඩායම හා මෙබඳු තවත් කල්ලි මගින් දිගින් දිගටම බුදු දහමට පහර ගසමින් සිටින්නේ නීතිය මගින් තමන්ට එල්ලවන බලපෑම ද මෙම ක්‍රියාදාමය සඳහා වක්‍රාකාරයෙන් භාවිත කිරීමට හැකි බව ඔවුන් දන්නා නිසා බවත්, එමගින් මෙම අපහාස කිරීම් සමාන්‍යකරණයට ලක් කිරීමෙන් සමාජය තුළ තමන්ට අවශ්‍ය ඊනියා මතයන් ගොඩ නැගීමට හැකි වන බවත් විචාරකයෝ පෙන්වා දෙති.

ඉස්ලාම් අගමට හෝ ක්‍රිස්තියානි ආගමට මෙබඳු ප්‍රහාරයන් ඔවුන් එල්ල නොකරන්නේ එම ආගම්වල දඬුවම් දැඩි බව දන්නා නිසා බවද, එහෙත් බුදු දහම යනු අවිහිංසාවාදී දහමක් නිසා තමන්ට බුදු දහමට ඕනෑම පහර ගැසීමක් සිදුකළ හැකි යැයි මෙම කණ්ඩායම් විශ්වාස කරන බවත් විචාරකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි ෴


ඌරන් අතරටත් වසංගතයක් එයි

(27.05.2023 – 19:26 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඌරන් අතර, වසංගත රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය පවසනවා.

එහි සභාපති කුලරාජ් පෙරේරා අද (27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ‘පී.ආර්.ආර්.එස්.’ නමැති රෝගය මෙලෙස ව්‍යාප්ත වන බවයි.

ඒ අනුව, බස්නාහිර පළාතේ මෙන්ම, යාපනය, කළුතර, මාතලේ, වහකෝට්ටේ, ගලේවෙල ආදී ප්‍රදේශ රැසකින් මෙම රෝගය සහිත ඌරන් වාර්තා වී තිබෙනවා.

මෙම රෝගය ව්‍යාප්ත වීමට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඌරුගොවිපලවල් හිමියන් විසින් අදාළ සත්ත්වයන්ට එන්නත් ලබා නොදීම බවයි.

පෙනහළු ආසාදනය වීම තුලින් මෙම ඌරන් විජලන තත්ත්වයට පත්වී අධික නියුමෝනියා තත්ත්වයෙන් මියයන බවයි ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් සිදුකළ අතර එහි උසස් වෛද්‍යවරයෙකු කියා සිටියේ මෙම රෝගය 2020 වර්ෂයේ මෙරටින් පළමු වරට වාර්තා වූ අතර, වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

+


මාස 5 කදී වෙඩි තැබීම් 27 ක්

(27.05.2023 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ගත වූ මාස 5 තුල සිදුවූ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගත වූ දින 12 තුල පමණක් වාර්තා වී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 10 ක් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම් රැසකට හේතු වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ආරවුලක් බව සඳහන්.

බස්නාහිර සහ දකුණ පළාත්වලින් වෙඩි තැබීම් බහුලව වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ දකුණු පළාතෙන්.

මෑත කාලයේ වෙඩි තැබීම් දහයක්ම වාර්තා වී ඇත්තේ හම්බන්තොට, අම්බලංතොට සහ හබරාදුව ඇතුලු දකුණේ ප්‍රදේශ මුල් කර ගනිමින්.

‘අහුංගල්ලේ ලොකු පැතූ’ගේ පාතාල කණ්ඩායම සහ ‘කොස්ගොඩ සුජී’ මෙහෙයවන පාතාල කණ්ඩායම මෙම වෙඩි තැබීම් පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වනවා ෴


නිවසක් බිඳ භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට

(27.05.2023 – 21:12 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරයෙන් නිදහස් වී පැය හතළිස් අටක් (48) යාමට පෙර නිවසක් බිඳ භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනකු (2) ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොච්චියාගම ප්‍රදේශයන් සොරකම් කරන ලද යතුරු පැදියකින් මෙම පුද්ගලයින් දෙදෙනා (2) ආරච්චිකට්ටුව ප්‍රදේශයට පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් සොරා ගැනීමට උත්සාහ දරා තිබෙන අතර කාන්තාවගේ කෑ ගැසීමට බිය වූ මෙම දෙදෙනා (2) යතුරුපැදිය අතහැර පලාගොස් තිබෙනවා.

පැය කිහිපයකට පසුව පලාගිය දෙදෙනා (2) ඒ අසල තිබු තවත් නිවසකට පැන මුදල් සහ ජංගම දුරකථන සොරා ගෙන එම නිවසේ තිබූ පා පැදියක නැඟී ගමන් කරමින් සිටිය දී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අධික ලෙස ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හුරු වූ අය බව පොලිසිය පවසයි ෴


පොසොන් උත්සව සමයේ මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

(27.05.2023 – 21:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂිතයි.

පොසොන් සතිය ඇරඹෙන්නේ ලබන 31 වන දා සිට ජුනි මස 05 වන දා දක්වායි.

මෙහි කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10 ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10 ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

ඒ අනුව ඒමට ගමන් වාර 5 ක් සහ යාමට ගමන් වාර 5 ක් ලෙස එම ගමන් වාර යෙදවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400 ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා ෴


ගල් ගුහාවක සැඟව සිටි සිසුවෝ පොලිසියේ මෙහෙයුමකින් පසු හමුවෙයි

(27.05.2023 – 23:13 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්වලට නොදන්වා වැලිමඩ රක්ෂිතයක ගල් ගුහාවක රාත්‍රිය ගතකිරීමට ගිය 14 හැවිරිදි ළමුන් තිදෙනෙකු (3) පොලිසියේ සහයෙන් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

මෙම දරුවන් තිදෙනා (3) රක්ෂිතයට ගොස් තිබුණේ ඊයේ (26) දිනයේදී.

වැලිමඩ කැප්පෙටිපාල හෙවණකුඹුර ප්‍රදේශයේ පදිංචි මෙම දරුවන් තිදෙනා (3) සිය නිවෙස්වලින් අතුරුදන් වී තිබුණේ ඊයේ (26) පස්වරුවේ සිටයි.

ඒ අනුව ඔවුන්ගේ මව්පියන් කළ සොයා බැලීමකදී ඔවුන් කලුකැලේ රක්ෂිතය දෙසට ගමන් කළ බවට හෝඩුවාවක් ලැබී තිබුනා.

ඒ එම දරුවන්ගේ මිතුරෙකු මාර්ගයෙන්.

කලුකැලේ රක්ෂිතය කඳුකර කොටින් සහ වන සතුන් බහුල ප්‍රදේශයක් වන අතර එම හෝඩුවාව ඔස්සේ පොලිසිය සෝදිසි මෙහෙයුමක් දියත් කළා.

එහිදී රක්ෂිතයේ ගල් ගුහාවක් තුළ සිටියදී ළමුන් තිදෙනා (3) සොයාගැනීමට හැකි වුණා.

ළමුන් එහිදී පවසා ඇත්තේ විනෝදය සඳහා තමන් ගල් ගුහාවේ රාත්‍රිය ගත කළ බවයි.

+


විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු වෙනුවෙන් අපූරු උපන්දින සැමරුමක්

(27.05.2023 – 23:22 +0530 – hirunews.lk/sinhala)

සෙමින් මනස වැඩෙන පපුවේ සිදුරු 3 ක් ඇති දරුවෙකුගේ උපන් දිනය වෙනුවෙන් අපූරු කැප කිරීමක් කළ පිරිසක් ගැන රුවන්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

රුවන්වැල්ලේ ප්‍රදේශයේ පදිංචි කාවින්ද දෙව්මිණ නමැති දරුවාගේ වයස අවුරුදු 10 ක්.

ඔහුගේ මනස සෙමින් වැඩෙන අතර, පපුවේ සිදුරු තුනක් (3) පිහිටා තිබෙනවා.

එමෙන්ම හෘදයේ නහර හතරක් (4) සිහින්ව පිහිටා ඇති දරුවා කථන ආබාධයකින් පෙළෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක්.

ඔහු යතුරුපැදි සඳහා විශේෂ ඇල්මක් දක්වනවා.

ඊයේ (26) දෙව්මිණගේ දසවන (10) උපන්දිනයයි.

අවශ්‍ය තෑග්ග කුමක්දැයි අම්මා විමසූ විට ඔහු පවසා තිබුණේ යතුරුපැදි ගොඩක් තමන්ට දකින්නට ඇත්නම් එය මහත් සතුටක් ගෙන දෙනු ඇති බවයි.

ඒ අනුව, දෙව්මිණගේ මව ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ සටහනක් තබා තිබුණා.

දිවයින පුරා යතුරුපැදි ධාවකයන් මෙම ඉල්ලීම දැක සංවේදී වුණේ දරුවෙකු පුංචිම දෙයකින් සතුටු වන බව දන්නා නිසාවෙන්.

ඒ අනුව, යතුරුපැදිකරුවන් 300 කට වැඩි පිරිසක් තම යතුරුපැදි වලින්ම රුවන්වැල්ල නගරයට පැමිණ කේක් කපා දෙව්මිණ සමග උපන්දිනය සැමරුවා.

යතුරුපැදි ධාවකයන්ට දරුවා සතුටු කරන්නට රුවන්වැල්ල පොලීසිය ලබා දුන්නේ ද නොමද සහයක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *