වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්


වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක්

(27.05.2023 – 14:28 +0530 – hirunews.lk/sinhala)

රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කර සිටියේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා ඇති බවයි.

පසුගිය 11 වනදා ආර්. රාජකුමාරි නම් කාන්තාවක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් දින රාත්‍රියේදී වැලිකඩ පොලිස් ස්ථානය තුළදී ඇය රෝගාතුරවී ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

එහෙත් රෝහල් ගතකරන විටත් 42 හැවිරිදි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණා ෴


දෙමටගොඩදී යුවළක් පැහැරගැනීමට හේතුව මූල්‍ය වංචාවක්

(27.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩදී තරුණයෙකු සහ තරුණියක පැහැර ගෙන යෑමේ සිද්ධියට හේතුව මුල්‍ය වංචා සිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා.

තරුණයෙකු සහ තරුණියක පැහැරගෙන යමින් සිටි හයදෙනෙකු (6) දෙමටගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (26) දිනයේදියි.

මෙම තරුණයා සහ තරුණිය දෙමටගොඩ ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය පාඩු ලැබීම හේතුවෙන් එහි ආයෝජනය කළ 6 දෙනෙකු විසින් මෙම මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක සහ මාකොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් ලද තොරතුරක් මත දෙමටගොඩ වේළුවනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 9 සහ 10 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 ත් 28 ත් අතර වයස්වල පසුවන පිරිසක් ෴


වසරකට රිය අනතුරුවලින් 2,900 ක් මරුට

(27.05.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

වසරකට මාරක රිය අනතුරුවලින් අවම වශයෙන් පුද්ගලයින් 2900 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන අතර, 7700 ක් පමණ බරපතල තුවාල ලබන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.

ඒ අනුව, මෙරට දිනකට 8 දෙනෙකුවත් අවම වශයෙන් මියයන අතර බරපතල තුවාල ලබන පිරිස 22 කට ආසන්නයි.

එමෙන්ම, සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී රිය අනතුරු වැඩි වශයෙන් වාර්තා වන බවයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක සඳහන් කළේ.

එසේම වැඩි වශයෙන් යතුරුපැදි අනතුරු වාර්තා වන අතර මේ හේතුවෙන් වසරකට 1,100 දෙනෙකු, පදිකයින් 750 ක්, පාපැදිකරුවන් 200 ක්, මගීන් 400 දෙනෙකු සහ ළමයින් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්වනවා.

මාරක රිය අනතුරු වැඩි වශයෙන් බස්නාහිර, වයඹ සහ දකුණ පළාත්වලින් වාර්තා වන බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපතිවරයා කියා සිටියේ.

රිය අනතුරුවලින් මියයන පුද්ගලයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් අවුරුදු 41 ත් 45 ත් අතර වයස්වල පසුවනවා.

දෙවනුව වැඩිම පිරිසක් මියයන්නේ අවුරුදු 16 ත් 30 ත් අතර වයස්වල බවද ඔහු ප්‍රකාශ කළා.

නොසැලකිලිමත් රිය ධාවනය නිසා පුද්ගල මරණ 1500 ක් වාර්තාවන අතර, මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසා සිදුවන මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 540 දෙනෙකු පමණ මියයන බවයි වාර්තාවන්නේ.

අධික වේගය හේතුවෙන් පුද්ගලයින් 260 දෙනෙකු මියයන බවද හෙළිව තිබෙනවා.

එමෙන්ම බීමතින් රිය පැදවීම හේතුවෙන් මරණ 110 ක් සිදුවන බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ සභාපති මලිත් ජයතිලක කියා සිටියේ ෴


කඩවල වැව ප්‍රතිංස්කරණය කර දෙන්නැයි ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්

(27.05.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩවල වැව වසර ගණනාවක සිට ආක්‍රමණශීලි ශාකවලින් වැසී යාම හේතුවෙන් ගොවිතැන් කටයුතු ඇතුළු අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේද මෙම වැවෙන්වීම විශේෂත්වයක්.

ඔවුන් ඉල්ලා සිටින්නේ මෙම වැව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මැදිහත් වී වහා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ෴


බඩඉරිඟු හිඟවුණොත් කුකුළු මස් මිල වැඩිවිය හැකියි – සංගමයකින් චෝදනා

(27.05.2023 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ලබන මාසය වනවිට සත්ත්ව ආහාර ලෙස ලබාදෙන බඩ ඉරිඟුවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා කුකුළු මස් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ මේ හේතුවෙන් රජය, කඩිනමින් බඩ ඉරිඟු ආනයනයට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, මෙම වසරේ (2023) අප්‍රේල් දක්වා කාලය තුළ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 27,867 ක් ආනයනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

මෙම වසරේ බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 5 ක් වන අතර, පසුගිය මහ කන්නයේදී මෙට්‍රික් ටොන් 187,000 ක අස්වැන්නක් ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම මෙවර යල කන්නයේදී මෙට්‍රික් ටොන් 67,000 ක අස්වැන්නක් අපේක්ෂිතයි.

2021 මහ කන්නයේ රසායනික පොහොර තහනමත් සමඟ මෙරට බඩඉරිඟු වගාවේ අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වසරේදී සත්ව ආහාර සඳහා බඩඉරිඟු හිඟයක් ඇතිවූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ හේතුවෙන් 2022 වසර සඳහා බඩඉරිඟු ටොන් ලක්ෂ දෙකක් (2) ආනයනය කර තිබුණා.

කෙසේ වෙතත් දැනට පවතින බඩඉරිඟු ප්‍රමාණය අනුව සත්ව ආහාර සැකසීම සඳහා තවත් මෙට්‍රික් ටොන් 217,633 ක් අවශ්‍යව ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළා ෴


‘පෝට් සිටි’ යට පොදු නීතිය යටතේ මත්පැන් බලපත්‍

(27.05.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ වෙනස් ආකාරයේ පරිපාලන ව්‍යුහයක් පැවතියද මෙරට පොදු නීතිය යටතේ මත්පැන් බලපත්‍ර ලබාදීමට අවධානය යොමුව ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් වරාය නගරයේ ඉහළ නිලධාරීන් සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්ද පැවති බවයි ෴


ජෙරම් යළි සමාව ඉල්ලයි

(27.05.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදුකළ, ජෙරම් ප්‍රනාන්දු බෞද්ධ, හින්දු ඉස්ලාම් ජනතාවගෙන් යළි සමාව ඉල්ලා තිබෙනවා.

ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ(26) සංවිධාන කළ ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින්.

ජෙරොම් ප්‍රනාන්දු විසින් ආගමික දේශනයකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් රට තුල දැඩි කතාබහට ලක්වුණේ එම ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට පාර්ශව රැසක් චෝදනා කිරීමත් සමගයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමර්ශනයක් ද ආරම්භ කළ අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ වනවිටත් විදෙස්ගතව සිටි ජෙරොම් ප්‍රනාන්දු පසුගියදා ආගමික දේශනයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් කියා සිටියේ කළ ප්‍රකාශයෙන් යම් සිත් රිදවීමක් සිදුවූයේ නම් ඒ පිලිබදව සියලු ආගමික පාර්ශවයන් වෙතින් සමාව ඉල්ලා සිටින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේ එවන් පසුබිමකයි ෴


මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට අවධානය

(27.05.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

දැනට වැඩ නතර කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ යළි ආරම්භ කරන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (26) පැවති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින්.

එහිදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වූයේ දිවයිනේ සෑම ප්‍රදේශයකම නැවති ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල ඉදිකිරීම් කඩිනමින් නැවත අරඹන ලෙසටයි.

මේ වනවිටත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියා නොකළහොත් ඉදිරියේදී ජනතාවට ගමනාගමන පහසුකම් සළසාගැනීමට හෝ නොහැකි වනු ඇති බවට මන්ත්‍රීවරුන් අදහස් පළ කළා ෴


රුපියල් ලක්ෂ පනහක් (50) සොරාගත් ආයතන සේවකයා සොයා විමර්ශන

(27.05.2023 – 16:06 +0530 – hirunews.lk/sinhala)

බැංකුගත කිරීමට ආයතනයෙන් ලබා දුන් රුපියල් ලක්ෂ පනහක් (50,00,000) රැගෙන පලා ගිය සේවකයා සොයා අවිස්සාවේල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ආයතනයෙන් බැංකුගත කිරීමට ලබා දුන් මුදල් රැගෙන ආයතනයේ වාහනයකින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ බැංකුවක් ඉදිරිපිටට පැමිණ ඇති මෙම සේවකයා එම බැංකුව ඉදිරිපස රථගාලේ වාහනය ගාල් කර පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.

මුදල් රැගෙන පළාගිය සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ ෴


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

(27.05.2023 – 17:55 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් ම වුවද, සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 274 ක් දක්වා සහ ජීවිත අරමුදල රු. බිලියන 156.7 ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ‘ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්’ ආයතනය සමත්ව ඇති බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2022 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 20.9 ක් ලෙස වාර්තා වෙනවා.

රක්ෂණ ක්ෂේත්‍රය තුල ප්‍රකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2022 වසරේ දී එම ආයතනය සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු. බිලියන 10.49 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රක්ෂණ ක්ෂේත්‍රයට සැලසුම් ගණනාවක් හඳුන්වා දෙනු ලැබූ අතර රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා වඩාත් යෝග්‍ය වන අයුරින් ‘මෝටර් ප්ලස් Pinnacle’ රක්ෂණ සැලසුම, ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා හඳුන්වා දුන් රථවාහන රක්ෂණාවරණයක් වන ‘මෝටර් ප්ලස් Drive 60’ සහ පළමු සහ එකම වෛද්‍ය ආවරණය වන ‘Medi 60’ හඳුන්වා දුන් අතර සියලුම පුරවැසියන්ට සරිලන පෞද්ගලික අනතුරු ආවරණයක් වන ‘ජන රැකුම’ ද හඳුන්වා දීමට සමත් වුණා.

එසේම දරුවන්ගේ අනාගත අධ්‍යාපනය සුරක්ෂිත කරන්නට ‘School Fee Protector’ නමින් සේවාවක්ද හඳුන්වා දී තිබෙනවා ෴


පොලිස් ශල්‍ය වෛද්‍යවරියකගේ රන් භාණ්ඩ සොරා ගත් සේවිකාවක් සොයා පොලිස් විමර්ශන

(27.05.2023 – 18:14 +0530 – hirunews.lk/sinhala)

පොලිස් රෝහලෙහි ජේෂ්ඨ පොලිස් අධිකාරි ශල්‍ය වෛද්‍යවරියකගේ රන් භාණ්ඩ සොරා ගත් එහි පිරිසිදු කිරීමේ නිරත සේවිකාවක් සොයා නාරහේන්පිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වෛද්‍යවරිය සායන වලට යාමේදී සිය රන් භාණ්ඩ කාමරයේ මේස ලාච්චුවක දමා ගොස් තිබේ.

එම අවස්ථාවේ කාමරයට පැමිණි සේවිකාවක් විසින් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බව නාරාහේන්පිට පොලීසිය පවසයි.

රන් භාණ්ඩ වල වටිනාකම රුපියල් ලක්ෂ විස්සකට (20) අධික බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *