ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි

ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි


ෂාෆ්ටර්ගේ මවගේත් ඩී.එන්.ඒ. කැඳවයි

(27.05.2023 – 06:55 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති රක්ෂණ සමූන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සදහා ඔහුගේ මවගේ ඩී.එන්.ඒ. වාර්තා කැදවීමට ඇයගේ ලේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාහ් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (26) නියෝග කර තිබෙනවා.

ඔහුගේ මව මේ වන විට විදෙස්ගත වී සිටින අතර ඇයට ලේ සාමපල ලබා දෙන ලෙසයි නියෝග කර ඇත්තේ.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

ඒ, අධිකරණය විසින් පත් කළ කොළඹ විශ්විද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් පංච (5) පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින්.

මීට මාස 5 කට පෙර අභිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ඊයේ (26) ගොඩ ගනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙම අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය කර තිබූ නිර්දේශයකින් පසු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ලබා දුන් නියෝගයකට අනුවයි.

දේහය ගොඩ ගැණුනු ස්ථානයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ස්ථානීය නඩු කටයුත්තක් ද ඊයේ (26) පැවති අතර ලබන මස 20 වැනිදා එම නඩුව යළි කැඳවීමටයි එහිදී නියෝග කර තිබෙනවා ෴


රතු මුහුදු ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කළ ලාංකිකයාගේ දේහය දිවයිනවට

(27.05.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු ආරක්ෂක නිලධාරීවරයෙකු සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ මළසිරුරක් පසුගිය (25) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ඒවා තිබෙනවා.

ඕමානය සහ ඊජිප්තුව අතර මුහුදු ප්‍රදේශයේ ගමන් ගන්නා නෞකාවන් වෙත ආරක්ෂාව සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ ‘රක්නා ලංකා’ ආයතනය වෙනුවෙන් සේවය කිරිම සදහා මෙම පුද්ගලයා පිටත්ව ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙක් බව සඳහන්.

මොහු මුහුදු ආරක්ෂක සේවය සඳහා යෝග්‍යතාව පරීක්ෂා කෙරෙන පරික්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව, දහවල් ආහාරය ගෙන නිදා සිටියදී මෙම මරණය සිදුව ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර, නීත්‍යානුකූලව ඉන් ඉවත් වීමෙන් පසුව මෙම පුද්ගලයා ‘රක්නා ලංකා’ ආයතනය වෙත එක් වී මේ වන විට වසර හතර හමාරක (4½) සේවා කාලයක් ද සපුරා තිබු අයෙක් බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඉකුත් 10 වන දින මිය ගොස් තිබූ අතර, මොහුගේ මළසිරුර දින 15 ක පමණ කාළයක් ඕමාන වරායේ රඳවා තබා ගෙන තිබෙනවා.

ගුවන් යානයෙන් මෙම මළසිරුර කටුනායක ගුවන් තොටුපළ වෙත ඒවා තිබූ අතර මළසිරුර භාර ගැනීමට පැමිණි ඥාතීන් පිරිස මෙම මරණය සැක සහිත බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මළසිරුර මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා ෴


සිසුවියකට අතවර කළ කෝප්‍රල්වරයකුට පහළොස් (15) වසරක සිර දඬුවමක්

(27.05.2023 – 07:11 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු හයක (6) පාසල් සිසුවියකට බලහත්කාරයෙන් අතවර සිදුකළ බව කියන යුද හමුදා කෝප්‍රල්වරයකුට වසර පහළොවක (15) බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ වවුනියාට මහාධිකරණ විනිසුරු එම්. ඉලන්වෙලියන් මහතා විසින්.

අගතියට පත් පාසල් ශිෂ්‍යාවට රුපියල් ලක්ෂ පහක (5,00,000) වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර තුනකින් (3) දීර්ඝ වන බව ද සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය පාසල නිම වී නිවසට පැමිණෙමින් සිටියදී පසුගිය 14 වෙනි දින ඇයව පාසල් නිල ඇඳුම පිටින්ම කැළයට ඇදගෙන ගොස් මෙම හමුදා කෝප්‍රල්වරයා විසින් ඇයට බලහත්කාරයෙන් අතවර කළ බවට එල්ල වූ චෝදනාව වෛද්‍ය වාර්තා හා අනෙක් විද්‍යාත්මක සාධක මගින් තහවුරු වී තිබෙනවා.

දෙමව්පියන් විසින් නෙඩුන්කේණි පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴


ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20% න් පහළ

(27.05.2023 – 07:52 +0530 – hirunews.lk/sinhala)

2023 පළමු මාස හතර (4) තුළ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20% කින් පහළ ගොස් වසර තුනක (3) අවම අගය වන කිලෝග්‍රෑම් මිලියන 84 ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වනවා.

රසායනික පොහොර තහනම සහ ආර්ථික අර්බුදයේ බලපෑම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වූ බව සඳහන්.

දශක හතක් (7) තුළ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට ගොදුරු වූ ලංකාව පසුගිය වසරේ මුලදී ඉවත් කර ඇති රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කළ නිසා 2021 සිට 2022 දී තේ නිෂ්පාදනය 16% කින් පහත වැටීමට හේතු වූ බව රජයේ දත්ත පෙන්වා දෙන්නේ.

වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කරනුයේ වර්තමානයේ අවශ්‍ය තරම් පොහොර වෙළෙඳපොළේ තිබුණද මිල ඉතා ඉහළ බවයි.

එමෙන් ම 2021 දී රුපියල් 1500 ක්ව තිබූ කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් මේ වනවිට රුපියල් 20,000 ක් වන අතර අනෙකුත් යෙදවුම් පිරිවැයත් හතර (4) ගුණයකින් ඉහළ ගොස් ඇති නිසා තේ නිෂ්පාදනය පහළ වැටී ඇති බව‍යි ඔහු සඳහන් කරන්නේ.ེ

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ 2023 සඳහා අපනයන ආදායම ඩොලර් බිලියන 1.4 දක්වා ළඟා වීමට බලාපොරොත්තු වන නමුත් ඒ සඳහා අවම වශයෙන් කිලෝග්‍රෑම් මිලියන 250 ක් නිෂ්පාදනය කළ යුතු බවයි ෴


සිසුන්ගේ කලහාකාරී හැසිරිම් සමාජ මාධ්‍යයේ බලපෑමක්

(27.05.2023 – 08:00 +0530 – hirunews.lk/sinhala)

පාසල් යන නව යෞවන දරුවන්ගේ කලහාකාරී හැසිරීම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ සමාජ මාධ්‍ය වෙතට වැඩ වශයෙන් යොමුව තිබීම බව යොවුන් මනෝ චිකිත්සක උපදේශක වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි පවසනවා.

ඒ පසුගිය 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේම සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන් අතර විශාදයේ ලක්ෂණ බෙහෙවින් දක්නට ලැබෙන බවත් එය දරුවන්ගේ පෞරුෂ වර්ධනයටද බලපෑම් එල්ල කර ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.

නව යෞවනයකුගේ මොළයේ පිටුපස කොටස පළමුව වර්ධනය වන බවත්, එය හැගීම් මොළය ලෙස හඳුන්වන බවත් සඳහන් තර සිටි වෛද්‍යතුමිය හැඟීම් මොළයේ වර්ධනයත් සමඟ ආශාවන් පසු පස යාම හා අලුත් දේ අත්හදා බැලිම සිදු කරන බවත් සඳහන් කළා.

ඇය පෙන්වා දෙන්නේ හැඟීම මොළයේ බුද්ධිය කුසලතාවල අදාළ කොටස් වර්ධනය වන්නේ යම් ප්‍රමාදයයක් ඇතිව බවයි.

විශේෂයෙන් දරුවන් ‘වීඩියෝ ගේම්’ වැනි දේට යොමුවීමත් සහ එම පීඩාවන් එක දිගට කරගෙන යෑමෙන් මොළය තුළ හටගන්නා ‘සර්කිට්’ (පරිපථ) ශක්තිමත් වෙන බවයි ඇයගේ සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යතුමිය පෙන්වා දෙන්නේ එවැනි දරුවන් තුළ කලහකාරී ලක්ෂණ වැඩි වන බවයි.

කෘතිම පරිසරයත් ඇතුව යන සම්බන්ධතාවයකින් දරුවන්ගේ පෞරුෂ වර්ධනක් සිදු නොවන බවත් එමෙන්ම බොරු ගිණුම්වලින් සමාජ මාධ්‍යවලට එන දුශ්චරිත මිනිසුන්ගේ ග්‍රහණයට දරුවන් නතුවන බවත් ඇය සඳහන් කළා.

එවැනි අනවශ්‍ය සමබන්ධතා ගොඩ නැගීම හරහා දරුවන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලීම, ‘බැලැක්මේල්’ කිරීම වැනි සිද්ධීන් හේතුකොටගෙන අවසානයේ සියදිවි නසා ගැනීම් ආදී විපාකයන්ට මුහුණ දීමට සිදුවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරිය සඳහන් කළා ෴


අලි සබ්‍රි රහීම් ඩුබායි සංචාරයක

(27.05.2023 – 08:52 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් සංචාරයක් සඳහා ඩුබායි බලා පෙරේදා (25) රාත්‍රියේ පිටත්ව ගොස් තිබෙන බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට (08:05) පමණ ඩුබායි බලා පිටත්ව ගිය බවයි කටුනායක ගුවන් තොටු පොළේ නිලධාරියෙක් ප්‍රකාශ කළේ.

රුපියල් කෝටි හතහමාරකට (7½) අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් සහ ජංගම දුරකථන අනූ එකක් (91) නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණ ප්‍රභූ පර්යන්තයෙන් පිටවීමේ දී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 75 ක දඩ මුදලක් මත නිදහස් කරන ලද්දේ පසුගිය දිනෙකයි ෴


යුවළක් පැහැරගෙන යමින් සිටි හයදෙනෙකු (6) දෙමටගොඩදී අත්අඩංගුවට

(27.05.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

තරුණියක සහ තරුණයෙකු පැහැරගෙන යමින් සිටි හයදෙනෙකු (6) දෙමටගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණියක සහ මාකොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මෙලෙස ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් හයදෙනෙකු (6) විසින් ඊයේ (26) පැහැරගනු ලැබූ බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් ලද තොරතුරක් මත දෙමටගොඩ වේළුවනාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 9 සහ 10 යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 ත් 28 ත් අතර වයස්වල පසුවන පිරිසක් ෴


මල් වෙඩිල්ලක් පිපිරී තඹුත්තේගම පුද්ගලයෙකු මරුට

(27.05.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම – තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් පිපිරීයාම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (26) රාත්‍රියේ පැවති උත්සවයකදී මියගිය පුද්ගලයා මල් වෙඩිල්ලක් පත්තු කර ඇති අතර, එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු යළිත් එම මල් වෙඩිල්ල පත්තු කිරීමට උත්සහ දරා තිබෙනවා.

එහිදී එය එකවර පිපිරී ගොස් අදාළ පුද්ගලයාගේ හිසෙහි වැදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 31 හැවිරිදි තඹුත්තේගම – තේක්කවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴


පළාත් හතරකට (4) අවධානය යොමු කළ යුතු උණුසුම් කාලගුණයක්

(27.05.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මන්නාරම, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද (27) දිනයේදී එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.

එමෙන්ම ගතවූ පැය විසිහතරේ (24) උපරිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 35.7 ක අගය මුලතිව් සහ පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

සෙල්සියස් අංශක 14 ක් වූ අඩුම උෂ්ණත්වය වාර්තාවී ඇත්තේ නුවරඑළියෙන් ෴


රුපියල් ලක්ෂ 50 ක හොර චොකලට් මීගමුවේ දී අත්අඩංගුවට

(27.05.2023 – 09:53 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී අන්දමින් චොකලට් ආනයනය කොට බෙදා හැරීම සිදු කළ මීගමුව ප්‍රදේශයේ නිවසක් වටලා තිබෙනවා.

එහි දී රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා චොක්ලට් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසන්නේ.

ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුව දිස්ත්‍රික් විමර්ශන ඒකකයේ විමර්ශන නිලධාරී පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


මාතලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(27.05.2023 – 10:03 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ජල සම්පාදන ක්‍රමයේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට අනිද්දා (29) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, මාතලේ – කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට මෙලෙස පැය 10 ක් ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *