වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්

වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්


වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගල මළ සිරුරක්

(26.05.2023 – 06:35 +0530 – hirunews.lk/sinhala)

කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ පුද්ගලයෙකු දෙඅත් ගැට ගසා මුඛය ආවරණය වන පරිදි රෙදි කඩකින් බැඳ ඝාතනය කර තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 84 ක් වූ වැලිගම්පිටිය, ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ පුද්ගලයාගේ දියණිය නිවසට පැමිණි අවස්ථාවේ ගේට්ටුව සහ නිවස අඟුළු දමා වසා තිබිම හේතුවෙන් ඇයට සැක පළ වී ඇති අතර එම නිසා ඇය වැඩිදුරටත් සොයා බැලීමක් සිදු කර තිබෙනවා.

එහිදී අදාළ පුද්ගලයාගේ මළසිරුර සොයා ගත් බවයි වාර්තා වී ඇත්තේ.

මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති බවයි ෴


වන අලි පහර දීමකින් ළමයකු මරුට

(26.05.2023 – 06:48 +0530 – hirunews.lk/sinhala)

තලාව ප්‍රදේශයේ තිරප්පනේ වැව අසල දී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ ළමයකු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගිය ළමයා වයස අවුරුදු 15 ක් වන තිරප්පනය, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය ළමයා තවත් ළමයින් පිරිසක් සමඟ වන අලි නැරඹීම සඳහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි තලාව පොලිසිය සඳහන් කළේ ෴


අම්බලන්ගොඩ වෙඩිතැබීමක් – වෙඩික්කරුට ඉලක්කය වරදී

(26.05.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සඳහන්.

ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියෙන් යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු (2) මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


කළුතර ලැගුම්හලේ දී සිසුවියක් මියගිය සිද්ධියේ සැකකරුවන් අද (26) අධිකරණයට

(26.05.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කිරිමට නියමිතව තිබෙනවා.

එමෙන්ම පාසල් සිසුවියන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි උපකාරක පංති ගුරුවරයා මෙන්ම කළුතර – පයාගල ප්‍රදේශයේ විහාරස්ථානයක එකොලොස් (11) හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම විහාරස්ථානයේ විහාරාධිපති වල්සාදු සහ තවත් වල්සාදුලා 2 ක් අද (26) යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර, කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් සිසුන් සදහා ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව දැනුවත් කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සැළසුම් කර තිබෙනවා ෴


අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි

(26.05.2023 – lankadeepa.lk)

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

ඔහු ‘කොස්ගොඩ සුජී’ නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.

නියෝජ්‍ය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු (2) තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම, යමින් සිටි යතුරු පැදියෙන්ම, අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් (12) තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.

මේ ආකාරයටම ඊයේ (25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික ‘හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු’ ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර ‘හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු’ තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි ෴


විෂමාචාර චෝදනා ලැබූ කොන්දොස්තරවරුන් 500 ක් ලංගම ඩිපෝවල

(26.05.2023 – 08:30 +0530 – hirunews.lk/sinhala)

විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබු කොන්දොස්තරවරු 500 දෙනෙකු දිවයින පුරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107 ක සේවය කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ ප්‍රවාහනය පිළිබද ආංශීක අධීක්ෂණ කාරක සභාවේදියි.

කෙසේ වෙතත් පරික්ෂණ අවසන් කරන තෙක් ඔවුන්ට වැටුප් ගෙවීමට සිදුව ඇති බවයි එහිදි හෙළි වුණේ.

මේ අතර, කොළඹ ප්‍රධාන බස් නැවතුම්පළේ බස් රථ ඊළඟ ගමන්වාරය එනතෙක් නවතා තැබීමට කොළඹ කොටුව ප්‍රදේශයේ සුදුසු ඉඩමක් වෙන්කිරිමේ කටයුතු කඩිනම් කිරිමට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යාදාමිණි ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කිරිමටද ඊයේ (25) රැස්වූ එම කාරක සභාවේදී තීරණය කෙරුණා.

එමෙන්ම , කොරෝනා අර්බුදය ඇතුළු තත්ත්වයන් හේතුවෙන් ලංගම 2021 වසරේ රුපියල් මිලියන 3059 ක අලාභයක් ලැබුවද පසුගිය වසරේදි රුපියල් මිලියන 485 ක ලාභයක් වාර්තා කර ඇති බවට එහිදි නිළධාරින් විසින් අනාවරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴


වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයන් ලබාදීම ගැන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අධ්‍යයනයක

(26.05.2023 – 08:35 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන් සඳහා ස්ථිර ලිපිනයන් ලබා දීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයන් නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ (25) කැඳවූ අවස්ථාවේදීයි.

දිවයිනේ වතු 277 ක් ආශ්‍රිතව වතු කම්කරුවන් හාර ලක්ෂයකට (4,00,000) අධික සංඛ්‍යාවක් වාසය කරන අතර ඔවුන්ට ස්ථිර ලිපින නොමැති බැවින් එදිනෙදා කටයුතු කිරීමේදී මෙම පිරිස් දැඩි අපහසුතාවන්ට මුහුණදෙන බවයි එම පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම ඊයේ (25) කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදුකෙරෙන කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රගතිය දැනුම්දීමට දිනයක් ලබාදෙන ලෙසයි.

ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් 13 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළා ෴


සජීවී පතරොම් සමඟ පුද්ගලයෙක් දැලේ

(26.05.2023 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) ගොඩකවෙල ඩිපෝව අසලදී ටී-56 වර්ගයේ සජීවී පතරොම් 340 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු රක්වාන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගොඩකවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


“සභාපතිනිය එක්ක අපිට වැඩ කරන්න බෑ” – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්

(26.05.2023 – 09:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ එහි සභාපතිනිය අතර ගැටුම උග්‍ර වී ඇති බවත්, කොමිසමේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කිරීම සඳහා තමා ඇතුළු කොමසාරිස්වරු තිදෙනකු (3) ජනාධිපතිවරයා සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහි කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර සඳහන් කරනවා.

සභාපතිනිය හා කොමසාරිස්වරු අතර ගැටුම ආරම්භ වුයේ සභාපතිනිය තම අවශ්‍යතාවට අනුව පරීක්ෂණ කිහිපයක් කිරීම සහ දේශපාලන උත්තේජනයෙන් ක්‍රියාකිරීම නිසා යැයි ආචාර්ය විජිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිරි සහ පූජ්‍ය කලුපහන පියරතන හිමි යන කොමසාරිස්වරුන් තිදෙනා (3) ජනපතිට යොමු කළ ලිපියේ සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ ආචාර්ය නානායක්කාර :

“ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය ප්‍රධාන කාරණය වන්නේ කොමසාරිස්වරුන්ගේ අදහස් නොතකා සභාපතිනිය අත්තනෝමතික තීරණ ගැනීමයි. තීරණ ගැනීමේදී ඇය කොමසාරිස්වරුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම ගැන කොමසාරිස්වරුන්ගෙන් බහුතරයක් සිටින්නේ නොසතුටින්. ඇත්තටම මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. එතුමිය සභාපතිනිය ලෙස පත් වූ දා සිටම මේක වුණා. දැන් කොමිසමේ වැඩ කරන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. අපි අමාත්‍යාංශයක් යටතට එන්නේ නැහැ. අපි කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන්නේ. අපි හොයන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක්. එක්කෝ අපිව අයින් කරලා සභාපතිනිය තියගන්න ඕනෑ. නැත්තම් එයා අයින් කරලා අපිව තියාගන්න ඕනෑ. නැත්තම් අපි ඔක්කොම අයින් කරන්න. නීතියට පටහැනිව සිදු වෙමින් පවතින මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් පනත උල්ලංඝනයක්. මානව හිමිකම් කොමිසමේ පනතට අනුව කොමිසම සාමාජිකයන් පස්දෙනකු (5) ගෙන් සමන්විත විය යුතුයි. එහි බලය ඇත්තේ කොමිසන් සභාවට. කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සභාපතිනියට පරිපාලනමය තීරණ කිහිපයක් ගත හැකියි. ඒත් එය යමෙකු පත් කිරීම, මාරු කිරීම හෝ මුදල් සම්බන්ධ කාරණා නෙවෙයි. මේවා කොමිසම යටතට එනවා. එහෙත් ඇය කොමිසමෙන් නියෝග නොවිමසා ඇතැම් තීරණ ගෙන තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපට තිබෙන එකම විකල්පය ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම්දීමයි. අවාසනාවට මේ ගැන සාකච්ඡා කරන්න අපිට තවම ජනාධිපතිතුමා එන්න වෙලාවක් දීලා නෑ.”

සෙසු කොමසාරිස්වරුන් හතර දෙනා (4) ගෙන් විමසීමක් නොකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැඳවීමට අත්තනෝමතික ලෙස තීරණය කිරීමට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මේ වසරේ මාර්තු මාසයේදී ගත් තීරණය ආන්දෝලනයට තුඩු දුන් අතර තමන් එවැනි තීරණයක් නොගත් බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් සිවුදෙනා (4) එම අවස්ථාවේදී අවධාරණය කර තිබෙනවා ෴


නිදන් හාරන්න ගිහින් පොලිසියට මාට්ටු වෙයි

(26.05.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල, වොල්වත්ත ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් ඊයේ (25) අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසියේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු (4) සිට ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසන්නේ ඔවුන් වයස අවුරුදු 32, 46 හා 56 වියේ පසුවන අය බවයි.

මොවුන් මහඔය, වත්තේගම, ගල්කිරියාගම, හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැටලීමේදී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.

සැකකරුවන් සිව් දෙනා (4) මොනරාගල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු මොනරාගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

මේ අතර ඊයේ (25) මතුගම, රන්නගල ප්‍රදේශයේදී ද නිදන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියට හැකි වී තිබෙනවා.

වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරු අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක්. ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මතුගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴


බසිල් කියන්නේ හොරෙක් | රාජපක්ෂලා දැන් ඇති | ඥානසාර හිමිටත් ප්‍රහාරයක් | මර්වින් සිල්වා හතරවටේ වනයි (26.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *