“රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති

“රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති


“රාජ්‍ය පොසොන් උත්සවය අවලංගු කරන්න” – මිහින්තලේ රාජමහා විහාරාධිපති

(24.05.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස මිහින්තලේ රාජමහා විහාරාධිපති ආචර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ රජයේ ප්‍රතිපාදන ලැබෙනතුරු මිහින්තලා පුදබිමට විදුලිබල්බ ලබා නොදීමටද විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බවයි.

‘නැඟෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මාහිමි දෙසු දහම්’ යන්න තේමා කරගත් රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලා රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වීමට නියමිතයි.

ඒ පිළිබඳ මීට පෙර සාකච්ඡා කිහිපයක්ම පැවති අතර, රාජ්‍ය පොසොන් උත්සවය සඳහා රජයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් පැවතියේ මතභේදාත්මක තත්වයක්.

මේ අතර රජයේ ප්‍රතිපාදන ලැබෙන තුරු විදුලි බල්බ ලබා නොදෙන ලෙස විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ලිපියක් මහින්තලේ රාජමහා විහාරස්ථානය වෙත ලැබී බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ.

පවතින අර්බුදකාරී තත්ත්වය මත මිහින්තලේ පුද බිමට පිවිසෙන මාර්ගයේ සවිකර ඇති විදුලි බල්බද තාවකාලිකව ගළවා ඉවත් කිරීමටයි තීරණය කර ඇත්තේ ෴

+


සතොස භාණ්ඩ 6 ක මිල පහළට

(24.05.2023 – 13:42 +0530 – hirunews.lk/sinhala)

සතොස භාණ්ඩ 6ක මිල අද (24) සිට පහළ ගොස් තිබෙනවා. නව මිල ගනන් :

  1. LSL කිරිපිටි 400g – රු. 50 කින් අඩු වී නව මිළ රු. 1030
  2. වියලි මිරිස් 1kg – රු. 45 කින් අඩු වී නව මිළ රු. 1350
  3. රතු පරිප්පු 1kg – රු. 10 කින් අඩු වී නව මිළ රු. 325
  4. සෝයාමීට් (තොග) 1kg – රු. 10 කින් අඩු වී නව මිළ රු. 660
  5. ලොකු ලූණු 1kg – රු. 6 කින් අඩු වී නව මිළ රු. 129
  6. සුදු සීනි 1kg – රු. 4 කින් අඩු වී නව මිළ රු. 239

තිස්සපුර විදුහලේ ගුරු ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙනවා – අධ්‍යාපන අමාත්‍ය

(24.05.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති තුළින් ඊයේ (23) වාර්තා කළ ඇතිමලේ – තිස්සපුර විදුහලේ ගුරු ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාසලේ විෂයන් ගණනාවකට ගුරුවරුන් නොමැතිවීම හේතුවෙන් දරුවන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අප ඊයේ (23) වාර්තා කළේ, ඒ සම්බන්ධයෙන් කඩිනමින් බලධාරීන්ගේ ඇස් ඇරවීමේ අරමුණින්.

නිදහස් අධ්‍යාපන අයිතිය යනු මෙරට සෑම පාසල් දරුවෙකුටම හිමි මූලික අයිතිවාසිකමක් බවත් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින විෂමතා හේතුවෙන් මෙම අයිතිය උල්ලංඝනය වන අවස්ථා රැසක් වාර්තා වන බවත් අප පෙන්වා දුන්නේ වරක් දෙවරක් නොවෙයි.

ඊට ආසන්නතම සිදුවීම ලෙස ගුරුවරුන් නොමැතිකමින් අධ්‍යාපන කඩඉම් දිනාගැනීමට නොහැකිව අසරණව සිටින ඇතිමලේ – තිස්සපුර විදුහලේ මෙම දරුවන් පිළිබඳ පුවත අප ඊයේ වාර්තා කළා.

පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ඇතිමලේ තිස්සපුර විදුහලේ මේ වනවිට අධ්‍යාපන හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 200 කට ආසන්නයි.

නමුත් ඔවුන්ගේ නැණැස පාදන්නට ඇත්තේ ගුරුවරුන් 9 දෙනෙකු පමණක් වීමම, මෙම විදුහල මුහුණ දී ඇති ගුරු හිඟයේ තරම කියා පානවා.

මෙම ගුරු හිඟයට කඩිනමින් විසඳුම් ඉල්ලා සිසුන් සහ මව්පියන් පාරට බැස්සේ කර කියාගත දෙයක් නොමැති තැනයි.

අප වාර්තාකළ මෙම ගැටලුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළා.

+


විනාශ මුඛයට යන කොන්වැව රෝහල

(24.05.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

විශාල මුදලක් වැය කරමින් ඉදිකර, නමුත් බලධාරින්ගේ නොසැලකිලිමත්කම හමුවේ විනාශ මුඛයට යන රෝහලක් පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

කොන්වැව අතුළු ගම්මාන 35 ක රෝගීන් විශාල පිරිසක් දෛනිකව මෙම රෝහලට පැමිණෙනවා.

නමුත් මේ වනවිට රෝහලේ එක් (1) වෛද්‍යවරයෙක්, සාත්තු සේවීකාවන් දෙදෙනෙක් (2) සහ ඖෂධවේදීයෙක් (1) පමණක් සේවය කිරීම හේතුවෙන් රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මීට වසර 7 කට පෙර විශාල මුදලක් වැය කරමින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කළද මේ වන විට එම කටයුතු අතරමග නවතා දමා ඇත්තේ, ඊට රැගෙන ආ අමුද්‍රව්‍යද දිරාපත්වීමට ඉඩහරිමින්.

රෝහලේ ඇතැම් ගොඩනැගිලිවල අයිතිකරුවන් බවට පත්ව ඇත්තේ වවුලන්.

රෝහල් භුමියේ තැන තැන හාරා ඇති ආවරණය නොකළ වැසිකිලි වළවල් හේතුවෙන් මෙහි පැමිණෙන රෝගීන් අවදානමට ලක්ව සිටිනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය බලධාරින්ගේ අවධානයෙන් මෙම රෝහල ගිලිහී යාම මීට හේතුව බවයි.

+


කාර්මික දෝෂයක් නිසා ප්‍රමාද වූ ගුවන් යානය අද (24) අලුයම පිටත් වෙයි

(24.05.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර බලා ඊයේ (23) රාත්‍රියේ පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ යූ.එල්. 470 දරණ යානය කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී තිබෙනවා. එම යානය ඊයේ (23) රාත්‍රී 08:50 ට පිටත්වීමට නියමිතව තිබූ බවයි කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් එම යානය අද (24) උදෑසන 6 ට පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා කියා සිටියා.

මෙම යානයේ මගීන් 46 දෙනෙකු සිටි අතර, ගුවන් යානය පිටත්ව යන තෙක් ඔවුන් කටුනායක ගුවන් තොටුපල අවට හෝටල් වෙත යොමු කර තිබූ බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ෴


වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී කාන්තාවක් මිය යාම සම්බන්ධව පරීක්ෂන CID භාරයට

(24.05.2023 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (24) අධිකරණයට දැනුම් දුන්නා

නිවසේ සිටි ගෘහ සේවිකාව විසින් රන් මුදුවක් සොරාගෙන ගොස් ඇති බවට සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන් විසින් මෙම කාන්තාව වැලිකඩ පොලිසියට පසුගිය මැයි මස 11 වැනිදා භාර දී තිබුණා.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි එම ගෘහ සේවිකාව ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදීමෙන් පසු ඇතිවූ වේදනාවක් පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව රෝහල් ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණා.

පසුව එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුදින මිය ගොස් තිබුණා.

කෙසේ නමුත් නවතම ආරංචි මාර්ග අනුව මෙහෙකාරිය සම්බන්ධ සොරකමට අදාළ පැමිණිල්ල සටහන් වී ඇත්තේ මෙහෙකාරිය මිය ගිය පසුව බව වාර්තා වී තිබෙනවා.

වැලිකඩ පොලිසිය විසින් පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ මෙහෙකාරිය නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් රඳවාගෙන පහර දීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පැමිණිල්ල සටහන් වී ඇත්තේ ඇය අබිරහස් ලෙස මියයාමෙන් පසුව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

එලෙස ඇයව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක්වත් නොමැතිව බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴


සීමාවකින් තොරව සමාජ මාධ්‍යය භාවිතයේ බලපෑම ගැන ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරින්ගෙන් අනතුරු ඇඟවීමක්

(24.05.2023 – 15:00 +0530 – hirunews.lk/sinhala)

සීමාවකින් තොරව සමාජ මාධ්‍ය භාවිතයෙන් සිසුන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල වන බව ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් සිදුකළ සමීක්ෂණයේදී මේ පිළිබඳ අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍යය සීමාවකින් තොරව භාවිත කිරීම හේතුවෙන් ඇතැම් සිසුන් සියදිවි හානි කර ගැනීම් වැනි මානසික තත්ත්වයන්ට පත්වන බව ද අදාළ සමීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් සමාජ මාධ්‍ය භාවිතය සඳහා යෙදවුම් ලබාදෙන තාක්ෂණික ආයතනවලින් සහ නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා ඇත්තේ මෙම තත්ත්වයන්ට කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ෴


පෙම්වතියගේ රන් භාණ්ඩ සොරා ගත් තරුණයෙක් සොයා විමර්ශන

(24.05.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

පෙම්වතියට බියර් පානය කිරීමට සලස්වා රන් භාණ්ඩ සොරා ගත් පෙම්වතෙකු සොයා බෙන්තොට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙටි කාලයක දී දැඩි ආදරයකින් ඇති දෙදෙනා බෙන්තොට ප්‍රදේශයේ ලැගුම්හලකට ගොස් තිබෙනවා.

එහි දී පෙම්වතා විසින් පෙම්වතියට බියර් පානය කිරීමට දී තිබෙනවා.

බියර් පානයෙන් පෙම්වතිය මත් වූ පසු සැකකාර පෙම්වතා විසින් ඇය සතු රන් භාණ්ඩ සොරා ගෙන පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ ෴


වැල්ලවායේ නිවසක පාසල් සිසුවෙකුගේ මළ සිරුරක්

(24.05.2023 – 15:36 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවායේ නිවසක තිබී පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ වැල්ලවාය වීරසේකරගම ප්‍රදේශයේ නිවසක තිබීදීයි බවයි වාර්තා වන්නේ.

අදාළ සිසුවා ගෙල වැලලාගෙන මියගිය බවට සැකපළ කෙරෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක් වන පාසල් සිසුවෙක් බවයි වැල්ලවාය පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴


‘ඇප්’ හදලා විකුණලා කොහොම හරි මම ගේ හදාගන්නවා – මම කම්පියුටර් එකක් ඇල්ලුවෙත් ගිය අවුරුද්දෙ

22-05-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *