විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි


විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) මෙරටට පැමිණි චීන ජාතිකයා පිටුවහල් කරයි

(24.05.2023 – 12:00 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර දෙකකින් (2) පසුගිය දා මෙරටට පැමිණ සිටි චීන ජාතිකයා වහාම පිටුවහල් කරන ලෙස ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට ඊයේ (23) දැනුම් දුන්නා. ඒ, මෙම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි.

මෙම චීන ජාතිකයා ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පෙරේදා අමාත්‍ය ටිරාන් අලස් ආගමන විගමන පාලකවරයාට උපදෙස් ලබා දී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුවයි ඊයේ (23) එම චීන ජාතිකයා පිටුවහල් කරන ලෙසට උපදෙස් ලබා දී ඇත්තේ.

පසුගිය 18 වන දා රාත්‍රි 09:50 ට ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු (2) සමඟ මෙම චීන ජාතිකයා ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 648 දරණ යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එහිදී මොහු මෙරටට ඇතුළු වීමට ඉදිරිපත් කර තිබුණේ අප්‍රිකානු රටක් වන පැපුවා නිව්ගිනියාහි ගුවන් ගමන් බලපත්‍රයක් වන අතර එය කූඨ ලෙස සකස් කර ඇති බවට අනාවරණය වීමෙන් පසු ආගමන විගමන නිලධාරීන් ඔහු රඳවා ගැනීමට පියවර ගත්තා.

එම අවස්ථාවේ චීන ජාතිකයා සමඟ පැමිණි සෙසු දෙදෙනා (2) ද කළහකාරීව හැසිරී ඇති අතර ආගමන විගමන නිලධාරීන්ට අල්ලස් ලබා දීමට ද උත්සාහ කර ඇති බවටයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද මැදිහත්ව චීන ජාතිකයා ඇතුළු තුන්දෙනා (3) නැවත පිටුවහල් කිරීමේ රැඳවුම් කුටිය වෙත යොමු කළ ද එම කාලය අතරතුර ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් වෙත බලපෑම් සහගත දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව ද සඳහන්.

එම චීන ජාතිකයා මෙරටට ඇතුළු කර ගන්නා ලෙසට බලපෑම් එල්ල කළ බවට නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට ද චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් තමන් කිසිදු බලපෑමක් සිදු නොකළ බවටයි නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පසුගිය දා ප්‍රකාශ කළේ. පසුව මෙම චීන ජාතිකයා විසින් තමන් සතුව තිබූ චීන ජාතික විදෙස් ගමන් බලපත්‍රයක් ද ඉදිරිපත් කර තිබුණා ෴


සියම් උපසම්පදා සැමරුමට පයින්ම ආ බලු සුරතලා

(24.05.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala)

සියම් උපසම්පදාව මෙරට පිහිටුවා වසර 270 ක් සපිරීම සමරමින් ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා දින 9 ක් පාගමනින් වැඩම කළ තායි මහා සංඝ රත්නය හා සැදැහැවතුන් සමඟ සුනඛයෙක් ද ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වාම ගොස් තිබෙනවා.

ත්‍රිකුණාමලයේ විහාරස්ථානයක හැදී වැඩී ඇති මේ සුනඛයා පාගමනට එක්ව දින නවයේම (9) භික්ෂුන් වහන්සේ ඇතුළු කණ්ඩායම සමඟ පැමිණ ඔවුන් නවාතැන් ගන්නා ස්ථානවලම රැඳී සිට ඇති බවටයි වාර්තා වන්නේ.

දින දෙකකින් (2) පමණ පසු සුනඛයා හා පාගමනින් පැමිණෙන පිරිස අතර දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගී ඇති අතර, ඉන් පසු ඔවුන් ආහාරපාන ලබා දී තිබෙනවා.

නගර මධ්‍යයෙන් පැමිණෙද්දී වෙනත් සුනඛයන් මේ සුනඛයා සපා කෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පිරිස සුනඛයා ආරක්ෂාව තහවුරු කිරීමට නිරන්තරව පියවර ගෙන ඇති බවයි වාර්තා වී ඇත්තේ.

මල්වතු මහා විහාරයේ සිට අලි ඇතුන් සහිත පෙරහැරකින් මහා සංඝරත්නය ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරය වෙත ගමන් ගනිද්දීද මේ සුනඛයා මහා සංඝ රත්නයට මැදිව ගමන් කරන අයුරු දක්නට ලැබී තිබෙනවා ෴


ජෙරම් ප්‍රනාන්දු ට එරෙහි පරීක්ෂණ ගැන දැනුම්දීමක්

(24.05.2023 – 11:55 +0530 – sinhala.adaderana.lk/news/)

දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙන බව නීතිපතිවරයා අද (24) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නේය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

අදාළ දේවගැතිවරයාට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භකර තිබෙන බවත් ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය ෴

++++++++

+

+


ජූලි 01 සිට විදුලි ගාස්තු පහළට

(24.05.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඒකක 0-30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5 කින් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25 ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා.

මේ අතර ස්ථාවර ගාස්තුව රු. 400 ක සිට රුපියල් 250 දක්වා අඩු කිරීමට යෝජනා කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා 23% කින් විදුලි ගාස්තුව අඩු වී ඇති අතර එම සහනය ලබාගන්නා පවුල් 1,744,000 ක් සිටින බවත් කියා සිටින බව ද අමාත්‍යවරයා පැවසුවේ.

ඒකක 31-60 ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692 ක් සඳහා විදුලිබිල 7% කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඒකක 0-30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646 ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල 23% කින් අඩුවීමට නියමිත බව ද පැවසු අමාත්‍යවරයා සඳහන් කළා.

හෝටල් කාණ්ඩය සඳහා 29%-40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවත් බල ශක්ති අමාත්‍ය කාංචන ප්‍රකාශ කළා ෴


යාචකයකු ලෙස පෙනී සිටිමින් දේශීය වෛද්‍යවරයකු මරලා

(24.05.2023 – 12:46 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහර දී තලවතුගොඩ ප්‍රදේශයේදී දේශීය වෛද්‍යවරයකු ඝාතනය කර තිබෙනවා.

තලාහේන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි මෙම වෛද්‍යවරයාගෙන් සැකකරු යාචකයකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලා තිබෙන බවත් එහිදී දෙදෙනා අතර ඇති වූ මත ගැටුමකදී සැකකරු මෙම ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.

තලංගම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 45 ක් වන වෙල්ලස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද (24) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රට යවන බව කියා මුදල් වංචා කළ ‘ස්මාර්ට්’ සොරකමක්

(24.05.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා සඳහා පිටත් කර යවන ලැයිස්තුවකට නම ඇතුළත් කරන බව පවසමින් මුදල් වංචා කරන ‘ස්මා‍ර්ට්’ සොරකමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනතාව කොතෙක් දැනුවත් කළත් නිරන්තරයෙන් වංචාකරුවන්ට හසුවන බවයි.

යුරෝපයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කරන වංචනිකයින් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් අනාවරණ ක‍රනු ලැබුවා ෴


විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීමට නිසි වැඩපිළිවෙලක් සකස් කරන්න

(24.05.2023 – 13:04 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාම ගන්නා සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් කඩිනමින් ගෙවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රආරච්චි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, ඊට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී කැඳවූ අවස්ථාවේදියි.

විශ්‍රාම වැටුප් ලැබීමට දීර්ඝ කාලයක් ගතවීම නිසා ජනතාව අපහසුතාවට පත්වන බව මෙහිදී සභාපතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු නිලධාරීන් සඳහන් කළේ නිවැරැදි ආකාරයෙන් අදාළ අයදුම්පත් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් මෙලෙස විශ්‍රාම වැටුප් සැකසීම ප්‍රමාද වන බවයි.

එහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේ විශ්‍රාම වැටුප් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පිළිබඳව ජනතාව තුළ කළකිරීමක් පවතින බවයි.

ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට පහසුවෙන් සේවා සලසන අයුරින් ක්‍රියා කරන ලෙස මෙහිදී සභාපතිවරයා උපදෙස් ලබා දී තිබුණා ෴


හිටපු වනජිවි අධ්‍යක්ෂ ජනරාල් සහ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

(24.05.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

හිටපු වනජිවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී. රත්නායක සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන අනුර සිල්වා සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ නියෝග කළා.

ඒ අධිකරණය විසින් රාජසන්තක කළ කන්ඩුල, කංචන, මංගල නමැති අලි තිදෙනා (3) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියෝග මත, අලි නඩුවක වරදකරු වී දඩුවම් නියම වූ පුද්ගලයෙකුට භාරදීම සම්බන්ධයෙන් වන නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී සිද්ධියට අදාළ විමර්ශනයේ ප්‍රගතිය දැනුම් දෙමින් පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ සඳහන් කළේ එම අලි තිදෙනා (3) නීත්‍යානුකූල ලෙස භාර දිය යුතුව තිබුණේ අමරපුර නිකායේ හිටපු මහානායක, අතිපූජ්‍ය දිවුල්දෙන ඥානීස්වර හිමියන්ගේ පරපුරට සහ කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ පරපුරට බවයි.

ඒ අනුව, විමර්ශනයට අදාළව හිටපු වනජිවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ජී. රත්නායක සහ හිටපු සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් අනුර සිල්වා වරදක් සිදුකර ඇති බව අනාවරණය වූ බවයි ඔහු එහිදී සඳහන් කරනු ලැබුවේ.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එහිදී පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාශයට නියෝග කළේ ඔවුන් දෙදෙනා (2) මෙම නඩුවට අදාළව සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *