ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්


ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්

(24.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී ඇති බව ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය සඳහන් කරනවා.

මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවයි ‘යාහු ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

මෙම ශ්‍රේණිගත කිරීම 2021 වසරේ ‘ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය’ මත පදනම්ව සිදු කර තිබෙනවා.

ඒ අනුව ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතර 17 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ 2021 වසරේ ‘ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය’ ඇමෙරිකානු ඩොලර් 5,555 ක් බව එහි දැක්වේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වැනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී ඇති අතර 2021 වසරේ එහි ඒ පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 931 ක් වන අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමිව තිබෙනවා.

එම රටවල ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 1149 සහ 1561 ක් වන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය හිමිව ඇත්තේ මොංගෝලියාවට වන අතර එහි 2021 වසරේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් 7178 ක් බවයි සඳහන් වන්නේ ෴


තලංගම ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට වසරකට පසු සැකකරු අල්ලයි

(24.05.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසයේදී තලවතුගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී 54 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යාචකයෙකු ලෙස පෙනී සිටිමින් මියගිය පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා ඇතිඅතර එහි දී ඇති වූ ආරවුලක් පදනම් කරගනිමින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (23) අත්අඩංගුවට ගත් 45 හැවිරිදි සැකකරු වේල්ලපල ප්‍රදේශයේ පදිංචිකරුවක් ෴


නිවසේ ‘කොන්ක්‍රීට් ස්ලැබ්’ එකෙන් වැටී සිසුවෙක් ජීවිතක්ෂයට

(24.05.2023 – 09:56 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින සිසුවකු මිතුරන් සමඟ පස්සර මැදවෙලගම් ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට පාඩම් කිරීමට ගොස් සිටිය දී පෙරේදා (22) රාත්‍රී එම නිවෙසේ ‘කොන්ක්‍රීට් ස්ලැබ්’ එකෙන් වැටී මිය ගොස් තිබෙනවා.

එම සිසුවා අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව මියගිය බවයි පස්සර පොලිසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ පස්සර රබර්වත්ත මඩුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර ජාතික පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 17 ක් වන සිසුවෙක්.

මෙම සිසුවා තවත් මිතුරන් කිහිපදෙනකු සමඟ ඔහුගේ නිවෙසට නුදුරින් සිටින මිතුරකුගේ නිවෙසකට පාඩම් කිරිමට ගොස් ඇති තිබෙනවා.

එහි දී හදිසි අවශ්‍යතාවකට මොහු නිවෙසේ ස්ලැබ් එකට නැඟීමට යෑමේදී බිමට ඇඳ වැටී ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


ගුරුවරයෙකුට පහර දුන් පාසල් සිසුන් 05 දෙනෙකු අත්අඩංගුවට

(24.05.2023 – 09:56 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මොවුන් ඊයේ (23) පාසලට පැමිණ අවස්ථාවේ විනය භර ආචාර්යවරයා පාසලට උචිත අයුරින් පැමිණෙන ලෙස සිසුන්ට අවවාද කර තිබෙනවා.

පසුව එදින පස්වරුවේ සිසුන් ගුරුවරයාගේ නිවසට ගොස් මෙලෙස පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධ තවත් සිසුන් පිරිසක් සොයා විමර්ශන ක්‍රියාත්මකයි ෴


බෑග් සහ සපත්තු මිල පහළට

(24.05.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

ලබන මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරනු ලබන පාවහන් සහ බෑග්වල මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ 10% කින් එම මිල පහත දැමීම සඳහා තීරණය කළ බවයි ෴


ගුවන් ගමන් ප්‍රමාදයෙන් 48 දෙනෙකුට කොරියාවේ රැකියා අහිමි වෙයි

(24.05.2023 – 10:40 +0530 – hirunews.lk/sinhala)

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී ඊයේ (23) දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් යාමට සිටි 48 දෙනෙකුට විදේශගත වීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් මෙසේ ඔවුන්ගේ අවස්ථාවන් අහිමි වූ බවයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේ.

එම තරුණයන් 48 දෙනා ඊයේ (23) රාත්‍රියේ කොරියාව බලා පිටත්ව යාමට නියමිතව තිබිණා.

එහෙත්, හදිසියේම ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබුණේ, ගුවන් යානයට ඊයේ (23) රාත්‍රී 08:00 ට නියමිත පරිදි පිටත්ව යාමට නොහැකි බවයි.

පැය 10 ක ප්‍රමාදයකින් පසුව ගුවන් යානය අද (24) පෙරවරු 06:00 ට පිටත් වන බව ද ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා.

ඒ බව දැනගත් කොරියාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දන්වා ඇත්තේ, එම තරුණයන් පිරිස කොරියාවට බාරගත නොහැකි බවයි.

පැය 10 ක ප්‍රමාදය නිසා එම තරුණයන් බාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද කොරියානු බලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴


මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන යෝජනා විවාදය අද (24)

(24.05.2023 – 10:43 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.

එම තීරණය ගනු ලැබුවේ පසුගිය 11 වන දා පැවති පක්ෂ නායක රැස්වීමේදියි.

මේ අතර ඡන්ද විමසීමේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට සහය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (23) ප්‍රකාශ කළා.

‘උත්තර ලංකා සභාගය’ මෙන්ම ‘නිදහස ජනතා සභාව’ ද එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කළ බව අමාත්‍ය කංචන විජේසේකර පළමුව ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 29 වනදායි.

තමන් ඊට මුහුණ දීමට ඉතා උනන්දුවෙන් සිටින බව සභාපතිවරයා එදිනම ප්‍රකාශ කර තිබුණා.

මේ අතර අධිකරණ නියෝගයක් මත මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලුපිටියේ කාර්යාලයට මුද්‍රා තැබීමට පෙබරවාරි 16 වන දා පොලිසිය විසින් පියවර ගනු ලැබුවා.

එසේම මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඔහු මාර්තු 10 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කළා.

එවන් මතවාදී ගැටලු මතු වූ තත්ත්වයක් තුළයි ඔහු තනතුරෙන් ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉවත් කිරීම සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් විසින් සම්මත කළ යෝජනාවක් අනුමත කර ගත යුතු වෙනවා ෴


සමුද්‍රීය පරිසර අධිකාරිය බිල් නැතුව රුපියල් කෝටි 4 ක් ගෙවලා

(24.05.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය 2021 හා 2022 වසරවල දී රුපියල් හාර කෝටි විසිලක්ෂයකට (4,20,00,000) ආසන්න මුදලක හෝටල් බිල් ගෙවා ඇති බවට හෙළිදරව් වී තිබෙනවා.

එසේ ගෙවූ බවට වන කිසිදු රිසිට් පතක්වත් ඔවුන් සතුව නොමැති බවයි විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ.

මීට අමතරව තවත් රුපියල් ලක්ෂ දහයකට (10,00,000) අධික මුදලක් නිලධාරින් නවාතැන් ගත් හෝටල් කාමර 169 ක් වෙනුවෙන් ගෙවා ඇති බවද වාර්තා වී තිබෙනවා.

එහෙත් ඔවුන් එසේ නවාතැන් ගැනීමේ අරමුණ, සිදු කළ කාර්යයන් ආදිය සනාථ වන කිසිවක් ඉදිරිපත් නොවූ බවද එම විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

විගණන වාර්තාවේ සඳහන් වන්නේ හෝටල් බිල් වශයෙන් රුපියල් කෝටි හතරකට (4,00,00,000) අධික මුදල ගෙවා ඇත්තේ 2021 හා 2022 වසරවල අවස්ථා 96 කදී නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා බවයි.

එම සියළු ගෙවීම් වවුචර් පත් මගින් සිදුකර ඇති නමුත් ඊට රිසිට්පත් ලබාගෙන නොමැති බව ද වාර්තා වී තිබෙනවා.

කොවිඩ් වසංගත සමයේ ප්‍රවාහන පහසුකම් සැපයීමේ දුෂ්කරතා මත විවිධ අවස්ථාවල දී නිලධාරින්ට නවාතැන් දීම සඳහා මෙසේ හෝටල් කාමර වෙන්කරවා ගත් බව ද ඒවා රක්ෂණ සමාගමෙන් ප්‍රතිපූරණය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බව ද අධිකාරියේ කළමනාකාරිත්වය විගණනයට දැනුම් ඇති බවයි වාර්තා වන්නේ.

වවුචර්පත් 27 න් 3 ක සහතික කිරීමේ නිලධාරියා නිර්දේශ කර නැති බව ද අදාළ වාර්තාවේ සඳහන් ෴


හෙරොයින් ළඟ තබා ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු 3 ක් දැලේ

(24.05.2023 – 11:23 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුවකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 760 ක්, ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 530 ක් සහ මිලිග්‍රෑම් 15 ක් පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර, බලහරුව සහ වෙහෙරයාය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

අත්අඩංගුවට ගත් පිරිස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් වේ

(24.05.2023 – 11:24 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය සහ ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලබන ජුනි මාසයේදි ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සුරාබදු සහ දුම්කොළ යන බදු පනත් යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයන්ට අදාළ නියෝගයන් කිහිපයක් පිළිබඳ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

මේ අතර වසර 4 කට හෝ 05 ක කාලයක් සදහා අධි සුඛෝපභෝගි වාහන ආනයනය සම්පුර්ණයෙන් නවත්වන්නැයි එම විවාදයට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියා ෴


කොරෝනා රෝගින්ගේ වැඩි වීමක්

(24.05.2023 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගණන යළි වැඩි වීමක් පෙන්නුම් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊයේ (23) දිනය තුළ මෙරට තවත් කොවිඩ් ආසාදිතයන් 13 දෙනෙකු හමු වී ඇතැයි වාර්තා වූ බවයි.

එමෙන්ම කොවිඩ් මරණයක් ද වාර්තා වී ඇති බව සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *