ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ

ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ


ගම්පොළ හා දිඹුලාගල ජලය පරිභෝජනයට සුදුසු නැහැ

(24.05.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ දොළුවේ පවුල් 15,000 ක් බොන වතුරට අසූචි මිශ්‍ර වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එම ජලය පානය කිරීමෙන් පාචනය වැළදී අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද මිය ගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගම්පොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය සඳහන් කළේ ගම්පොළ දොළුව ප්‍රදේශයේ ජනතාව පරිභෝජනයට ගන්නා ජල මූලාශ්‍ර 31 ටම අසූචි මිශ්‍ර වී ඇති බවයි.

එමෙන්ම දිඹුලාගල ප්‍රදේශයේ සිරිපුර, නුවරගල, වෙහෙරගල ගම්මානවලට ජලය ලබා දෙන පානීය ජල ටැංකිවලට කල් ඉකුත් වූ ක්ලෝරීන් මිශ්‍ර කර ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ අනුව පවුල් 7000 ක පුද්ගලයින් 25,000 ගේ ජීවිත අවදානමට ලක් ව ඇති බව සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ප්‍රාදේශීය සභාවෙන් ලබා දෙන ජලය පානය කිරීමෙන් වැළකී හැකිතාත් පිරිපහදු කළ පානීය ජලය පානය කරන ලෙසයි.

අදාළ පුද්ගලයින් මෙම කල් ඉකුත් වීමේ දිනය වසා වෙනස් ස්ටිකර් එකක් අලවා ඇති බවයි පොළොන්නරුව පළාත් පාලන සහකාර කොමසාරිස් ජේ.එම්. අමීන් සඳහන් කළේ.

තවද බෝගම්බර හිර ගෙදර අපද්‍රව්‍ය මහවැලියට බැහැර කරන බවටත් ඉන් මහවැලියේ ජලය දැඩි ලෙස දූෂණයට ලක්ව ඇති බවටත් චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම වැඩිදුරටත් සඳහන් වන්නේ මේ සම්බන්ධයෙන් නඩු දැමීමට ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී ඇති බවයි ෴


පොලිසිය විසින් අත්අඩංගුවට ගත් යාපනයේ මන්ත්‍රීවරයා ඇප මත නිදහස්

(24.05.2023 – 07:43 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් ඇතුළු පස් (5) දෙනෙකු පොලීසිය විසින් ඊයේ(23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කරන්නේ යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක් නිසා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එම ස්ථානයේ විරෝධතා නොපවත්වන ලෙස කන්කසන්තුරේ පොලීසිය විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් නොතකා මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විරෝධතාවයක් පවත්වන අතරතුර පොලීසිය මන්ත්‍රීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් විරෝධතාවය අතහැර අසල වු පෞද්ගලික ඉඩමකට පලා ගොස් ඇතත් පොලිස් නිලධාරීන් ඔවුන්ව හඹා ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එළෙස අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාව කන්කසන්තුරේ අධිකරණයට ඊයේ (23) ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇප මත නිදහස් කොට තිබේ ෴


මන්නාරමේ අනතුරෙන් රියදුරු මියගොස් එකම පවුලේ පහකට (5) බරපතල තුවාල

(24.05.2023 – 08:17 +0530 – hirunews.lk/sinhala)

මන්නාරමේ ප්‍රධාන පාලම අසලදී සිදු වූ රිය අනතුරකින් එක් (1) අයෙකු මියගොස් එකම පවුලේ පස් (5) දෙනෙකු බරපතල තුවාල ලබා ඊයේ(23) මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

මන්නාරමේ පැවැත්වෙන විවාහ මංගල්‍යයක් සදහා සහභාගී වීමට වවුනියාවේ සිට ගමන් කළ එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලැබූ අය වයස අවුරුදු 48 ක්, 38 ක්, 11 ක්, 9 ක්, හා 4 ක් යන වසය සීමා වල පසුවන්නන් වන අතර, මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථය පදවන ලද විමලන් නැමති අවුරුදු 38 ක පුද්ගලයෙක්.

මන්නාරම පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක්වත් නොමැතිවයි

(24.05.2023 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකට ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක් හා ව්‍යාපාරිකාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය සම්බන්ධ සොරකමට අදාළ පැමිණිල්ල සටහන් වී ඇත්තේ මෙහෙකාරිය මිය ගිය පසුව බව වාර්තා වී තිබෙනවා.

වැලිකඩ පොලිසිය විසින් පැමිණිල්ල සටහන් කර ගෙන ඇත්තේ මෙහෙකාරිය නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් රඳවාගෙන පහර දීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ පැමිණිල්ල සටහන් වී ඇත්තේ ඇය අබිරහස් ලෙස මියයාමෙන් පසුව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් ඇයව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පැමිණිල්ලක්වත් නොමැතිව බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අදාළ මෙහෙකාරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී බොරැල්ලේ නිවසක සේවය කරමින් සිටි බව ද වාර්තා වී තිබෙනවා ෴

++++++++++

24-05-2023

මීගොඩ – පිටකොටුව සහ අතුරුගිරිය – පිටකොටුව බස් රථ වර්ජනයක්

(24.05.2023 – 08:50 +0530 – hirunews.lk/sinhala)

මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව සහ මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් තරඟකාරී ලෙස ධාවනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේ වෙතත් වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ රියදුරන් පවසන්නේ ලංගම බස් රථයේ රියදුරට එරෙහිව ද පියවර ගත් යුතු බවයි ෴


මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

(24.05.2023 – 09:10 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟේ කටුගස්තොට, මාවිල්මඩ ප්‍රදේශයේදී ඊයේ (23) උදෑසන පුද්ගලයකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් 119 ට ලද තොරතුරක් මත කටුගස්තොට පොලිසිය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මරණයට පත් වී ඇත්තේ වයස අවුරුදු 50 ත් 60 ත් අතර පිරිමි පුද්ගලයකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

නිල් කොටු සහිත අත් කොට කමිසයක් සහ කළු බොටම් කලිසමක් හැඳ සිටින මරණකරුගේ මෘත ශරීරය මහනුවර මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටුගස්තොට පොලිසිය විසින් සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ ෴


සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිහින්

(24.05.2023 – 09:17 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය, ගලපිටියාගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (23) නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී මෙම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ ඊට සහාය වීම හේතුවෙන් සැකකාරියක් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සැකකාරිය 31 හැවිරිදි මුරියකඩවල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මොවුන් දෙදෙනාම (2) අද (24) දින නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමරශන නිකවැරටිය පොලිසිය විසින් සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ ෴


හබරාදූවේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(24.05.2023 – 09:19 +0530 – hirunews.lk/sinhala)

හබරාදූව – පොල්දුව පන්සල ආසන්නයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

ඔහුගේ බිරිඳ ද වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අඹුසැමි යුවල සිය දරුවා පාසල ඇරලවා යලි පැමිණෙමින් සිටිය දී මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ ෴


ගැඹුරු මුහුදේ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායක වෙයි

(23.05.2023 – news.navy.lk)

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීම් කලාපයට අයත් ගැඹුරු මුහුදේදී 2023 මැයි මස 16 වන දින පෙරලීයාමෙන් ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකවීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ද සමඟ ආපදාවට පත් චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවිකයන්ගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත ශ්‍රී ලංකාවේ ඇති බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයේ මෙන්ම, ජාත්‍යන්තර මුහුදේ යාබද සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් කළාපයන්හිදී ද ආපදාවට පත්වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

ඒ අනුව, ආපදාවට පත් ‘LU PENG YUAN YU 028’ නමැති චීන ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයේ එම යාත්‍රාව සෙවීමේ හා මුදවාගැනීමේ මෙහෙයුම් කලාපීය රටවල සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන මඟින් ඒ වන විටත් ආරම්භ කර තිබූණි. ආපදාවට පත් යාත්‍රාව අසලට ළඟාවූ විජයබාහු නෞකාව, උඩුකුරුව පෙරළී පාවෙමින් තිබූ ධීවර යාත්‍රාවේ ඇතුලත වායු රික්තක තුල තවදුරටත් සිරවී සිටිය හැකි බවට සැකකෙරෙන කාර්යය මණ්ඩලය මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් විසින් කිමිදුම් මෙහෙයුමක් ආරම්භ කරන ලදි. එම මුහුදු ප්‍රදේශයේ පැවති රළු ස්වභාවය, මුහුදු ජලයේ දුර්වල දෘශ්‍යතාවය සහ විසිරුණු ධීවර ආම්පන්න මධ්‍යයේ දින තුනක් (03) පුරා ඉතා අසීරු කිමිදුම් මෙහෙයුමක් සිදුකරමින් ධීවර යාත්‍රාවේ කපිතාන් වරයාගේ මැදිරියෙන් සහ නවාතැන් මැදිරි ප්‍රදේශයෙන් මළ සිරුරු දෙකක් (02) සොයාගත් නාවික හමුදාව, එම මළසිරුරු පාර්ශ්වයන් අතර විධිමත් එකඟතාවයකට අනුව එම ස්ථානයේ තිබූ De Tian නම් චීන ටග් යාත්‍රාව වෙත භාරදීම සිදු කෙරිණි.

එමෙන්ම, ධීවර යාත්‍රාවේ කාර්යය මණ්ඩලයේ නවාතැන් ගන්නා කාමර තුල සහ අනෙකුත් මැදිරි තුළ නරක් වූ මළසිරුරු දොළහක් (12) නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් හඳුනා ගනු ලැබුවද, එම මළසිරුරු වල නරක් වූ ස්වභාවය සහ ඒවා ගොඩගැනීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම්කරුවන් හට ඇති විය හැකි සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගනිමින්, එම මළ සිරුරු දොළහ (12) ඇති ස්ථාන සිතියම් ගතකල නාවික හමුදා කිමිදුම් කණ්ඩායම එම තොරතුරු සහ සිතියම් මෙන්ම ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කල යුතු ආකාරය පිළිබඳවත්, අනතුරට පත් ධීවර යාත්‍රාවට ආරක්ෂිතව කිමිදුම්කරුවන්ට ඇතුළු විය හැකි සහ පිටවිය හැකි පිවිසුම් පිළිබඳවත් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක්, ‘MV SHANDONG DE LONG’ නමැති චීන කිමිදුම්කරුවන් රැගෙන එම ස්ථානයට ලඟාවූ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කිමිදුම් කණ්ඩායමට අද දින (2023 මැයි 23) ලබා දෙන ලදි.

තවද, ආපදාවට පත් චීන ධීවර යාත්‍රාවේ සිරවී සිටි ධීවරයින් සෙවීම සඳහා ශ්‍රී නාවික හමුදාව සිදුකළ කිමිදුම් මෙහෙයුම අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව 2023 මැයි මස 22 වන දින නැවත කොළඹ වරාය බලා ගමන් ආරම්භ කෙරිණි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *