පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි


පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රැගෙන පැමිණි රත්‍රං තොගයේ වටිනාකම රුපියල් හත්කෝටි හතලිස් ලක්ෂය (7,40,00,000) ඉක්මවයි

(23.05.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රත්‍රං කිලෝ තුනහමාරක් (3½) රැගෙන පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම්, කටුනායක ගුවන් තොටුපළේදී අද (23) රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

ලද තොරතුරකට අනුව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිටත් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්.

‘ෆ්ලයි ඩුබායි’ ගුවන් සේවයට අයත් ‘එෆ් ඉසෙඩ් 547’ දරණ ගුවන් යානයෙන් මැදපෙරදිග සිට අද (23) දිවයිනට පැමිණි අවස්ථාවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදීයි.

ඔහු සතුව තිබී කිලෝ 3 යි ග්‍රෑම් 500 ක රත්‍රං රේගු භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි හතකට (7,00,00,000) අධික බව සඳහන්.

එම රත්තරන් අතර රන් පෙන්ඩන්, රන් වළලු, රන් බ්රේස්ලට් සහ පෙන්ඩනයක රන් කැබැල්ලක් තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ අනුවයි රේගු නිලධාරීන් අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන පළමුව ගුවන් තොටුපලේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කළේ.

අනතුරුව ඔහු කොළඹ රේගු මූලස්ථානයට රැගෙනවිත් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

අලි සබ්රි රහීම්, ‘මුස්ලිම් එක්සත් ජාතික සන්ධානය’ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරයෙක්.

ඔහු රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායකවරයාද වනවා.

රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් කැරට් 22 ට වැඩි රන් ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් පසුගියදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තුවේදී ද කතාබහට ලක්වූ අතර, එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

මීට පෙර 1978 වසරේදී ද හේවාහැට ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියල් ද මේ ආකාරයෙන්ම නීති විරෝධී රත්‍රං රැගෙන ඒමේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහුගේ මන්ත්‍රීධුරය ද අහිමි වුණා.

සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව මෙන්න :

රන් බිස්කට් (24kt) 13 හි බර 1515.9g – වටිනාකම රුපියල් 32,212,875/=

රන් බිස්කට් (24kt) 1 හි බර කිලෝග්‍රෑම් 1 – වටිනාකම රුපියල් 21,250,000/=

රන් පෙන්ඩන්ට් 22kt 135 හි බර 584.1g – වටිනාකම රුපියල් 13,667,940/=

රන් වළලු 22kt 30 හි බර 247g – වටිනාකම රුපියල් 5,779,800/=

රන් බ්රේස්ලට් 22kt 04 හි බර 39.1g – වටිනාකම රුපියල් 914,940/=

රන් වළලු 22kt 02 හි බර 11.1g – වටිනාකම රුපියල් 259,740/=

පෙන්ඩනයක රන් කැබැල්ලක් බර 0.5g – වටිනාකම රුපියල් 11,709/=

මුළු රන් බර ග්‍රෑම් 3397.7 ක සම්පූර්ණ වටිනාකම රුපියල් 74,096,995/=

ස්මාර්ට් ජංගම දුරකථන 91 හි සම්පූර්ණ වටිනාකම රු. 4,288,500/=

+

++++++++++

නීතිවිරෝධී ලෙස රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහීම් නිදහස්

(24.05.2023 – 06:39 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශ නොකළ රත්‍රං කිලෝ තුනහමාරක් (3½) රැගෙන පැමිණ කටුනායක ගුවන් තොටුපොළේදී ඊයේ (23) අත්අඩංගුවට ගත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහීම් රුපියල් මිලියන7.5 ක දඩ මුදලක් මත නිදහස් කර තිබෙනවා.

එමෙන්ම ඔහු සන්තකයේ තිබූ රත්‍රං කිලෝ 3.5 ක ප්‍රමාණය සහ ජංගම දුරකථන 91 ඇතුලු සියලු භාණ්ඩ රාජසන්තක කර තිබෙනවා.

ලද තොරතුරකට අනුව මෙලෙස ඔහු ඊයේ ඔහුව අත්අඩංගුවට ගැනුණා ෴


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවසේ ගංජා වගාවක්

(23.05.2023 – 18:23 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරය වරයෙකු ගේ නිවස තුළ මල් පෝච්චි තුළ ළඟා කර තිබූ අඩි තුනක් (3) පමණ උස ගංජා ගස් 25 ක් ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව ගොඩකවෙල පොලිසිය පවසනවා.

ගොඩකවෙල පොලීසියට ලද තොරතුරක් මත එම නිවස පරික්ෂා කිරීමේ දී නිවසේ ස්ථාන කිහිපයක අඩි 3 ක පමණ ගංජා ගස් 25 ක් පමණ සොයාගත් බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවසේ නොසිත ඇති අතර ඔහුගේ බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) දින ඇඹිලිපිටිය අධිකරණයට සැකකරු සහ ගංජා ගස් ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු වරද පිලිගත් නිසා මහේස්ත්‍රාත් රුපියල් හය දහසක (6000) දඩයක් නියම කර තිබෙනවා ෴


16 හැවිරිදි මෙහෙකාර දැරියකගේ යටි පතුල් යකඩයකින් පිළිස්සූ ගුරුවරයෙකුට දඬුවම්

(23.05.2023 – 19:51 +0530 – hirunews.lk/sinhala)

නිවසේ සිටි 16 හැවිරිදි මෙහෙකාර දැරියකගේ යටිපතුල් රත්වූ යකඩයකින් පුලු‍ස්සා එම දැරිය කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ ගුරුවරයෙකුට අනුරාධපුර මහාධිකරණය අද (23) වසර පහකට (5) අත්හිටවූ වසර දෙකක (2) සිර දඬුවම් නියම කළා.

රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයෙකු වන ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබුණේ අනුරාධපුර මහාධිකරණය හමුවේයි.

2014 වසරේ ජනවාරි මස 31 වන දින හෝ ඊට ආසන්න දිනක හොරොව්පතාන ප්‍රදේශයේදී විත්තිකාර ගුරුවරයා මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබුණා.

වින්දිත දැරියට මුදලින් රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවන ලෙසට ද විත්තිකාර ගුරුවරයාට නියෝග කළ මහාධිකරණය රුපියල් 7500 ක දඩ මුදලක් ගෙවන ලෙසට ද නියම කරනු ලැබුවා ෴


ඩොලරයේ වාසිය තවමත් නැහැ – එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදය

(23.05.2023 – 20:16 +0530 – hirunews.lk/sinhala)

ඩොලරය අඩුවීමේ වාසිය තවමත් ලැබී නොමැති බැවින් ව්‍යාපාර කටයුතුවලදී අලාභ සිදුවන බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදය පවසනවා.

එහි සභාපතිනි ටානියා එස්. අබේසුන්දර මේ බව කියා සිටියේ කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

බැංකු පොලී අනුපාත සහ විදුලි බිල අඩු කිරීමට රජය පියවර ගත යුතු බවයි මෙහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ ෴


ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ප්‍රමදවෙයි

(23.05.2023 – 21:38 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර බලා 05/23 දින රාත්‍රී 08:50 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය 05/24 දින අලුයම 06:00 තෙක් ප්‍රමාද වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙකු පවසනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.470 දරන මෙම ගුවන් යානයෙන් මගීන් 46 දෙනෙකු පිටත්ව යාමට නියමිතව තිබූ අතර , ඔවුන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අසළ හෝටල් වෙත යොමු කර තිබෙනවා.

මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම , මෙම ප්‍රමාද වීමට හේතු වී ඇති බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා ෴


හපුතලේ අනතුරකින් 8 කට තුවාල

(23.05.2023 – 22:12 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ හොරදරව්ව හන්දිය ආසන්නයේදී අද (23) සවස නාවික හමුදා බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු (3) ඇතුළු 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසනවා.

කොස්ලන්ද ප්‍රදේශයේ මංගල උත්සවයකට ගොස් ආපසු එමින් සිටි වෑන් රථයක සිටි පිරිසක් මෙසේ නාවික හමුදා බස් රථයක ගැටී බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

දියතලාව දක්වා පැමිණෙමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථයක ගැටී සිදු වූ මෙම අනතුරින් වෑන් රථයට දැඩි හානි සිදුවී ඇති බව සඳහන්.

තුවාල කරුවන් දෙදෙනෙකු (2) වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට කඩිනමින් මාරුකර යවා ඇති අතර වෑන් රථයේ ගමන් ගෙන ඇත්තේ වැලිමඩ නුවරඑළිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව‍යි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


දයාසිරිට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

(23.05.2023 – 22:54 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඒ සමබන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි.

BMICH හිදී පැවති උත්සවයක් අතරතුර මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ සේවයේ නිරත අයෙකු විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා ෴


කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා මූල්‍ය වංචාවක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(23.05.2023 – 22:56 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව සඳහන්.

බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දී පුද්ගලයකු පහර දුන් බවට සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගෙන් ලද පැමිණිල්ලක් අනුව ඔවුන් තිදෙනාම (3) තලංගම පොලිසිය වෙත රැගෙන විත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මහා පරිමාණ වංචාවේ තොරතුරු අනාවරණය වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴


Android සහ iOS පරිශීලකයන්ට ChatGPT ඇප් එකක්

(23.05.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ChatGPT කෘතිම බුද්ධි පද්දතිය නිර්මාණය කළ OpenAI සමාගම විසින් සුහුරු දුරකථන (Smart Phones) හිමියන් හට App එකක් නිර්මාණය කර තිබෙනවා.

පරිගණක උදෙසා නිර්මාණය වූ ChatGPT පද්දතිය මෙන්ම මෙම යෙදවුම ද නොමිලේ භාවිතා කළ හැකි පහසුකම් රැසකින් සමන්විත බව ද OpenAI සමාගම පවසනවා.

මේ අනුව, මෙම ඇප් එක ඔස්සේ Instant Answers, Tailored Advice, Creative Inspiration, Professional Inputs, Leaning Opportunities ආදි පහසුකම් රැසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ වනවිට OpenAI සමාගම විසින් iOS සඳහා නිර්මාණය කළ ChatGPT යෙදවුම නිල වශයෙන් නිකුත් කර ඇති අතර Android සඳහා ChatGPT යෙදවුම ඉදිරියේදී නිකුත් කෙරෙණු ඇති බව සමාගම පවසා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *