ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ

ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ


ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ වේ

(23.05.2023 – 18:29 +0530 – hirunews.lk/sinhala)

අ.පො.ස උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් තමන් දෝෂ දර්ශනයට ලක් කර ඇති සටහන් වෙනස් කරන ලෙස හෝ යළි විමර්ශනයට ලක් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ගොනු කර තිබූ අතර මැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු පවසා සිටියේ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන සමයේ විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරමින් තම සේවාදායකයා දෝෂ දර්ශනයට ලක් කරමින් අධිකරණය සටහනක් තබා ඇති බවයි.

එමෙන් ම තම සේවා දායකයා වග උත්තරකරුවකු නොවන පෙත්සමක් සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කිරීම යුක්ත මූලධර්මයට පටහැනි බවත් එමගින් තම සේවාදායකයාට විශාල අගතියක් සිදුව ඇති බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු ප්‍රකාශකර සිටියේ.

මෙම දෝෂ දර්ශන සටහන වෙනස් කිරීම හෝ යළි විමර්ශනය කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඒ පිළිබඳ විශාල පූර්ව දර්ශන ප්‍රමාණයක් තිබෙන බවයි ඔහු පවසා සිටියේ.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පවසා සිටියේ ජනක රත්නායක සිය තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ හෙට (24) පාර්ලිමේන්තුව විවාදයක් පැවැත්වෙන බවත් එය කල් දමා ගැනීමේ යටි අරමුණකින් මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට නීතියේ ප්‍රතිපාදන නොමැති බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු කාරණා සලකා බැලූ අභියාචනාධිකරණය අතරමැදි පෙත්සම ගාස්තු රහිතව නිෂ්ප්‍රභ කිරීමට නියෝග කර තිබෙනවා ෴

++++++++++

උපයෝගීතා කොමිසමේ සභාපති ගැන තීන්දු කරන ඡන්දය හෙට (24) – රැකගැනීමට විපක්ෂය සූදානමින්

(23.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට ඉවත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ හෙට (24) පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඔහුට සහය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

‘උත්තර ලංකා සභාගය’ මෙන්ම ‘නිදහස ජනතා සභාව’ ද එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි ප්‍රකාශ කර තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට චෝදනා පත්‍රය සකස් කළ බව අමාත්‍ය කංචන විජේසේකර පළමුව ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි 29 වනදායි.

තමන් ඊට මුහුණදීමට ඉතා උනන්දුවෙන් සිටින බව සභාපතිවරයා එදිනම ප්‍රකාශ කළා.

මේ අතර අධිකරණ නියෝගයක් මත උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ කොල්ලුපිටියේ කාර්යාලයට පොලිසිය මුද්‍රා තැබුවේ පෙබරවාරි 16 වනදායි.

එසේම මෑතකදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු මාර්තු 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්ද ගොනු කළා.

එවන් මතවාදී ගැටළු මතුවූ තත්වයක් තුළයි ඔහු තනතුරෙන් ඉවත් කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ.

එය හෙට (24) විවාදයට ගැනීමට පසුගිය 11 වනදා පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණා.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ ස්ථාපිත මෙම කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉවත් කිරීම සඳහා නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුලුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් විසින් සම්මත කළ යෝජනාවක් අනුමත කරගත යුතුයි.

මේ අතර නව විදුලි ගාස්තුව ජූනි මස 30 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා ජූනි මස 20 වන දින දක්වා මහජන අදහස් විමසීමටයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය මගින් දැනට ඉදිරිපත් කර ඇති සියයට 3 ක විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව සහ කොමිෂන් සභාව ඉදිරිපත් කරන විකල්ප යෝජනා සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් මෙහිදී විමසනු ඇති.

++++++++++

පවුල් 4,36,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයි

(23.05.2023 – 20:57 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී පවුල් හාරලක්‍ෂ තිස්හයදහසක් (4,36,000) විදුලි භාවිතයෙන් ඉවත් වී තිබෙන බව මහජන උපයෝගිතා කොමිෂම සඳහන් කරනවා.

රට තුළ විදුලි පාරිභෝගික පවුල් ලක්‍ෂ හැටක් (60,00,000) පමණ සිටින බවත්, එම පිරිසෙන් පවුල් 4,36,000 ක් මේ වසරේ පෙබරවාරි මාසය වනවිට එක විදුලි ඒකකයක්වත් භාවිත නොකරන බවයි එම කොමිෂමේ සභාපති ජනක රත්නායක පවසන්නේ.

මීට අමතරව ඒකක 90 ට වැඩියෙන් විදුලිය භාවිත කළ ලක්‍ෂ හයක (6,00,000) පමණ ප්‍රමාණයක් ඒකක 60 ට අඩු වෙන් භාවිත කරන කාණ්ඩයට වැටී තිබෙන බවත්, පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී අවස්ථා දෙකකදී (2) අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන අතර, ඊට සාපේක්‍ෂව මේ වනවිට බලශක්ති දරිද්‍රතාව ඉහළ ගොස් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන නව විදුලි ගාස්තුව ලබන මස 30 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙන විදුලි ගාස්තු යෝජනාව මහජනතාවට දැනගැනීම සඳහා ලබන මස 01 වැනිදා ප්‍රසිද්ධියට පත් කරන බවත් සඳහන්.

ගල් අඟුරු හා ඉන්ධන මිල අඩුවීම හා ඩොලරයට සාපේක්‍ෂව රුපියල් ශක්තිමත් වීම යන කාරණා නිසා විදුලි ගාස්තුව 27% කින් පමණ අඩු විය යුතුව තිබෙන බවත්, පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකළ අසාධාරණ විදුලි බිල ඉහළ දැමීම නිසා අසාධාරණයට ලක් වූ ඒකක 120 ට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන විදුලි පාරිභෝගික ජනතාවට සාධාරණයක් ඉටුවිය යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

++++++++++

23.05.2023

++++++++++

23.05.2023

+


‘අස්වැසුම’ ප්‍රතිලාභ ඍජුවම බැංකු ගිණුමට

(23.05.2023 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ‘අස්වැසුම’ සමාජ සුබසාධන ප්‍රතිලාභ ඍජුවම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න පවසනවා.

ලබන ජූලි මස සිට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සමාජයේ පහළම ආදායම් ලබන සියයට 40 ක පිරිසකට කාණ්ඩ 4 ක් ඔස්සේ මූල්‍ය ආධාර ලබාදීමට නියමිත අතර, අන්ත දිළිඳු කාණ්ඩයේ සිටින පවුල් සඳහා මාසිකව රුපියල් 15,000 ක් රජය මගින් ලබාදීමට නියමිතව තිබෙනවා ෴


බණ්ඩාරවෙලදී සිසුන් දෙදෙනෙකුට (2) පහරදුන් සිද්ධියේ සැකකාර සිසුන්ට ඇප

(23.05.2023 – 16:57 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී සිසුන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුනු සිසුන් පස්දෙනා (5) ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන් අද (23) පස්වරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය දිනවල සිසුන් පිරිසක් විසින් සිසුන් දෙදෙනෙකුට (2) පහරදීමේ සිද්ධියකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුවයි අදාළ සිසුන් පස්දෙනා (5) බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් බණ්ඩාරවෙළ, දියතලාව සහ හල්පේ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 16 සහ 17 ත් අතර වයස්වල පසුවන්නන් ෴


ඉස්සන් හොරකමේ යෙදුණු පුද්ගලයින් 6 ක් පොලිස් අත්අඩංගුවට

(23.05.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ඉස්සන් ගොවිපළෙන් ඉස්සන් 300kg සොරා ගත් එම ගොවිපළේ වැඩ අධීක්ෂක හා මුරකරු ඇතුළු 6 දෙනෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල නොච්චියාගම හලාවත ප්‍රදේශ‍යේ පදිංචි කරුවන් පිරිසක්.

ඉස්සන් අස්වැන්න අල්ලන අවස්ථාවේ දී ඔවුන් මෙම සොරකම සිදුකර ඇති බව‍යි පොලීසිය පවසන්නේ.

එම ඉස්සන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් බවයි වාර්තා වන්නේ ෴


අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙයි

(23.05.2023 – 17:58 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට විම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි තිබෙනවා.

නුවරඑලිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

නගරයට ඇතුල් වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වී තිබෙන අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එලවළු වගාවට හානි සිදු වන බවයි එලවළු ගොවින් ප්‍රකාශ කර සිටින්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *