අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට

අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට


අපයෝජන සිද්ධියකට තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු පොළොන්නරු ප්‍රදේශයේදී අත්අඩංගුවට

(23.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොළොන්නරු ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවක දී අදාළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පාසල් දැරියන් අපයෝජනයට ලක් කර ඇති අතර එළෙස අපයෝජනයට ලක් වූ දැරියන් 6 දෙනෙකුගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඇතැම් දෙමාපියන් සිය දරුවන්ට සිදුවූ අපයෝජන සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා බියවී ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව 41 හැවිරිදි උපකාර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එමෙන්ම මෙවැනිම සිද්ධියක් පසුගියදා කළුතර ප්‍රදේශයෙන් ද වාර්තා වූ අතර එහිදී පාසල් සිසුවියන් 16 දෙනෙකු අපයෝජනයට ලක් කරමින් ඒවා වීඩියෝ ගතකළ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු මේ මස 26 වනදා දක්වා රිමාන්ඩ් කර තිබෙනවා.

මේ අතර නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක 13 හැවිරිදි දැරියකට අවස්ථා කිහිපයකදී බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් තරුණයක් කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තවත් තරුණයෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

දැරියගේ පාසලේ ගුරුවරියක විසින් ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ ෴


කොම්පඤ්ඤ වීදිය නාමය භාෂා ත්‍රිත්වයෙන්ම

(23.05.2023 – 09:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ‘කොම්පඤ්ඤ වීදිය’ ග්‍රාම නිලධාරී වසම එම නමින්ම සිංහල, ඉංග්‍රීසි හා දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම හැඳින්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඒ බව සඳහන් කළේ අද (23) පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි.

මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින්.

ඒ අනුව ඊට අදාල අංක743/5 දරන 1992-12-01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය සශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සඳහා අනුමැතිය හිමි ව තිබෙනවා.

+


මෙරට මිටි දරුවන්ගේ ප්‍රතිශතය 5% න් වැඩිවෙලා

(23.05.2023 – 09:33 +0530 – hirunews.lk/sinhala)

අවරුදු 5 ත් 10 ත් අතර වයස්වල දරුවන්ගේ 21% ක පැවති මිටි භාවය 2022 වර්ශයේ 26% ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව 5% ක වර්ධනයක් බවයි ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා කාර්‍යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය කළණ පීරිස් පවසන්නේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිසි පොෂණය නොලැබුනොත් දරුවන්ගේ බුද්ධි වර්ධනයද සීග්‍ර ලෙස අඩු විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම රටෙහි දරුවන්ගේ අනාගතයට ප්‍රබල ලෙසම බලපානු ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ ෴


වෘත්තීය සමිති වලට 30 වනදාට පෙර වත්කම් බැරකම් දෙන්නැයි දැනුම්දීමක්

(23.05.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 වනදාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බවයි.

මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ පළකරන පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස විෂය භාර අමාත්‍ය මනූෂ නානායක්කාර පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

මීට අදාළ යෝජනා ලබාගැනීම මේ දිනවල සිදුකරන අතර නව නීති කෙටුම්පත් කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දෙනවා ෴


කාන්තා වැසිකිළියට රිංගා මහාචාර්යවරියගේ මුදල් සොරකම් කරලා

(23.05.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

කාන්තා වැසිකිළියට රිංගා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ මහාචාර්යවරියගේ බෑගයෙන් රු. 13,000 ක මුදල් සොරකම් කළ තරුණයෙකු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බව පවසා මෙසේ විශ්වවිද්‍යාල භූමියට ඇතුල් වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 27 ක් වන අනුරාධපුර ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙක්.

සැකකරු අනවසරෙන් කාන්තා වැසිකිළියට ඇතුල් වී එහි දොර අඟුලු කඩා මෙම සොරකම සිදු කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මහාචාර්යවරිය දේශන අවසන් වී කාන්තා වැසිකිළියට ගොස් දොර වසා තම අත්බෑගය මේසය මත තබා වැසිකිළියට ඇතුලු වී ඇති අතර එම අවස්ථාවේ සැකකරු පැමිණ මෙම සොරකම සිදු කර ඇතැයි වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


කුෂාණි රෝහණධීර නව පාර්ලිමේන්තු මහලේකම් ධුරයට

(23.05.2023 – 10:25 +0530 – hirunews.lk/sinhala)

නව පාර්ලිමේන්තු මහලේකම් ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කළ කුෂාණි රෝහණධීර එම ධුරයේ අද (23) නිල වශයෙන් වැඩ භාරගත්තා.

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක අද (23) දිනයේ සිට විශ්‍රාම යාම හේතුවෙන් ඇය මෙම තනතුරට පත්කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරමින් සභාවට දැනුම් දුන්නේ ෴


රුපියල් ලක්ෂ 10 වටිනා ආලේපන නිෂ්පාදන තොගයක් සමඟ තරුණියක් අත්අඩංගුවට

(23.05.2023 – 10:36 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 10 වටිනා ආලේපන නිෂ්පාදන තොගයක් සමඟ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණිය වයස අවුරුදු 25 ක් වන කොස්වත්ත ප්‍රදේශ‍යේ පදිංචිකාරියක්.

නමක් ගමක් සඳහන් නොවන අදාළ නිෂ්පාදන ඇය විසින් කොස්වත්ත ප්‍රදේශයේ සිට අන්තාර්ජාලය ඔස්සේ අළෙවිකරන බවට ලැබුණු තොරතුරක් සිදු කළ වැටලීමේදීයි ප්‍රමිතියකින් තොර මෙම නිෂ්පාදන හමු වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

මෙම නිෂ්පාදනවල ඊයම්, කැනඩියම්, ආසනික් වැනි උග්‍ර පිළිකා කාරක බහුල බැර ලෝහ වර්ගයන් ප්‍රමිතිය ඉක්මවා අඩංගු කර තිබීදැයි සෙවීමට ප්‍රමිති ආයතනයට හා පරීක්ෂණාගාරවලට යොමු කරන බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

එම ස්ථානයේ තිබී විවිධ ආලේපන අඩංගු කුඩා බෝතල් දහසකට (1000) මුද්‍රා තැබීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළා ෴


ලංගම පාසල් වාර ප්‍රවේශ පත් ගාස්තුවත් ඉහළට

(23.05.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25 ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

පාසල් වාර ප්‍රවේශ පත්‍රයට අමතර විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුවද ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවති කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ෴


ෂාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගැනීම අනිද්දා (25)

(23.05.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එය නිරීක්ෂණය කිරීම සදහා අනිද්දා (25) පෙරවරු 08:30 ට බොරැල්ල කනත්තට පැමිණෙන ලෙසට අධිකරණය විසින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමිනුයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (22) මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

එහිදී අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ දේහය ගොඩගැනීම සදහා අවශ්‍ය සියලු‍ම පහසුකම් සලසා ඇති බවයි.

දේහය ගොඩගැනීමෙන් පසු දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා ගාල්ල කාරපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමට නියමිත බවත් ඒ පිළිබඳව පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය සිය කැමැත්ත පලකර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය ගොඩ ගන්නා අනිද්දා (25) දිනයේ විශේෂ පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා ෴


සන්නද්ධ ගැටුම්, දේශපාලන සහ සිවිල් කැළඹීම්වලින් මියයන පුද්ගලයින් සැමරීමට ස්මාරකයක්

(23.05.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇති වූ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය පුද්ගලයින් සැමරීම සඳහා කොළඹ නගරයේ ස්මාරකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නිදහසින් පසුව මියගිය පුද්ගලයින් වෙනුවෙන් එම ස්මාරකය ඉඳිකිරීමට නියමිතයි.

ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැලඹිලි අවස්ථාවන්හි ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් අනුස්මරණය සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉඳිකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *