පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි

පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි


පිටකොටුව ඕල්කට් මාවතේ හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි

(22.05.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගියදා සිදුකළ වැටලීමකදී හෙලිවුණේ අදාළ හෝටල් තුළ අපිරිසිදු අන්දමින් සහ කල්ඉකුත් වූ අමුද්‍රව්‍ය භාවිත කරමින් ආහාර සකස්කරන බවටයි.

ඒ අනුව, පාරිභෝජනයට සුදුසු අයුරින් ආහාර සකස් කිරීමට කටයුතු කිරීමෙන් පසු එම වෙළඳසැල් විවෘත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධිකරණය එහිදී දැනුම් දී තිබෙනවා ෴


“ගෙදර යවන විවාදය බලන්න මටත් දරුවන්ටත් ඉඩ දෙන්න” – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

(22.05.2023 – 18:53 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ දරුවන් දෙදෙනාටත් අවස්තාව සලසා දෙන ලෙස එම කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් පාර්ලිමේන්තු මහලේකම්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක වෙත ලිපියක් යොමුකරමින් බවයි සඳහන් වන්නේ.

තමාටත්, තම පුතුන් දෙදෙනාටත් (2) පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිට තමාව ඉවත්කරනු ලබන විවාදය බැලීමට ඉඩ දෙන ලෙසයි ඔහු එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ .

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත්කිරීමේ යෝජනාව පිලිබඳ විවාදය අනිද්දා (24) පැවැත්වීමට නියමිතයි.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුලත් කර තිබෙන බවද වාර්තා වෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා එම කොමිසමෙන් ඉවත්කිරීමේ අමාත්‍ය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් අමාත්‍යවරයා විසිනුයි ෴


WhatsApp මෘදුකාංගය සඳහා සංස්කරණ පහසුකමත් ලබා දෙයි

(22.05.2023 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ක්ෂණික පණිවිඩකරණ යෙදුම වන WhatsApp මෘදුකාංගය සඳහා නවතම පහසුකමක් ලබා දී තිබෙනවා.

ඒ යවන ලද පණිවිඩයක් මිනිත්තු 15 ක කාලයක් තුල සංස්කරණය කිරීමේ හැකියාවයි.

මීට පෙර, WhatsApp විසින් ඉඩ ලබා දී තිබුනේ පණිවිඩ මකා දැමීමට පමණයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සිදු කරනු ලැබූ ඉල්ලීම සලකා බලා මෙම සංස්කරණ පහසුකම ලබා දුන් බවයි මෙටා සමාගම පවසන්නේ.

මෙම පණිවිඩ සංස්කරණය කිරීමේ පහසුකම මෘදුකාංගයේ ඉදිරි යාවත්කාලීනයෙන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔවුන් සඳහන් කරනවා ෴


රත්මලානේ පිහි ඇනුමකින් ආපනශාලා හිමිකරුවෙකු මරුට

(22.05.2023 – 22:02 +0530 – hirunews.lk/sinhala)

රත්මලානේ 4 වන පටුමගේ දී 29 හැවිරිදි ආපනශාලා හිමිකරුවෙකු අද(22) තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය සඳහා තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහරකෑමට ලක් වූ ආපනශාලා හිමිකරු සහ මෙම තැනැත්තා අතර සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුවයි මෙම සිදුවීම සිදුවී තිබෙනවා.

පහරදීමෙන් තුවාල වූ තැනැත්තා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ෴

+++++++++++

ගල්කිස්ස ආපනශාලා හිමිකරු ඝාතනය කොස් ගෙඩියක් ගැන ඇති වූ ආරවුලක්

(23.05.2023 – 07:14 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – ගාලුපාර, රත්මලාන ලිපිනයේ පිහිටි හෝටලයක ඊයේ (22) සවස් කාලයේ ඇති වූ පිහි ඇනුම කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු හා ඇතිවූ ආරවුලක් මත සිදු වූ ඝාතනයක් බව පොලිසිය පවසනවා.

එහිදී කොස් ගෙඩිය අලෙවි කිරීමට පැමිණි පුද්ගලයා සහ හෝටලයේ හිමිකරු අතර ගණන් හිලව් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් නිසා පැමිණි පුද්ගලයා විසින් එම හිමිකරුට පිහියකින් ඇන තිබෙනවා.

එහි දී බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය තැනැත්තා වයස අවුරුදු 29 ක් වන අහස්වැව පාර, හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

මෙම ඝාතනය සිදුකළ තැනැත්තා ගල්කිස්ස පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි ෴


පුතාගේ පිහි පහරින් පියා රෝහල් ගත කෙරේ

(22.05.2023 – 23:16 +0530 – hirunews.lk/sinhala)

පුතාගේ පිහි පාරෙන් බරපතළ තුවාල ලැබූ පියෙකු රෝහල්ගත කර සිටියදී ඊයේ (21) මියගොස් ඇති බව කටුවන පොලීසිය පවසනවා.

පසුගිය 05 වැනිදා කිරම, වල්ගම්පුල්ල ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

මව සමග නිතරම සිදුවන ආරවුල් හේතුවෙන්න ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙලෙස පහර දී ඇති බව විමර්ශන වලදී හෙලි වූ බව පොලිසිය පවසනවා.

එම පහරදීමෙන් පසුව ප්‍රදේශය අතහැර පලාගොස් සිටින 16 හැවිරිදි පුත්‍රයා සොයා අත්අඩංගුවට ගැනීමට කටුවන පොලීසිය විමර්ශන සිදුකරයි ෴


උද්භිද උද්‍යානවල ප්‍රවේශපත්‍ර මිල ගණන් ඉහළට

(23.05.2023 – 06:16 +0530 – hirunews.lk/sinhala)

ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිත උද්‍යානවලට ඇතුළුවීමේ ගාස්තු ඉහල නංවා තිබෙනවා.

සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (22) නිකුත් කරමින් කියා සිටියේ වැඩිහිටියෙකුගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 200 ක් දක්වාත් පාසල් ළමයින්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 30 දක්වාත් ඉහල දමා ඇති බවයි.

මීට පෙර එම ගාස්තු පිළිවෙලන් පැවතුණේ රුපියල් 100 ක් සහ රුපියල් 20 ක් ලෙසයි.

මීට අමතරව වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සදහා ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම මත අය කෙරෙන ගාස්තුව ද රුපියල 50 දක්වා ඉහළ දමා තිබෙනවා.

මීට පෙර එය පැවතුණේ රුපියල් 20 ක් ලෙසයි.

එමෙන්ම විදේශික වැඩිහිටි පුද්ගලයෙකුගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 3000 දක්වාත් වයස අවුරැදු 12 ට අඩු විදේශික ළමුන්ගෙන් අයකෙරෙන ගාස්තුව රුපියල් 1500 දක්වා ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම ගාස්තු පිලිවෙලින් පැවතුණේ රුපියක් 2000 සහ රුපියල් 1000 ක් ලෙසයි.

මේ අතර ජුනි මස පළමු වන දා (01) සිට කෞතුකාගාර 7 ක් සහ පුරාවිද්‍යා ස්ථාන 20 කට ඇතුළු වීමේ දී මුදල් අය කිරීමට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග කියා සිටියේ, විදේශ සංචාරකයෙකුගෙන් රුපියල් 500 ක මුදලක් සහ දේශිය සංචාරකයෙකුගෙන් රුපියල් 50 ක් හෝ 100 ක මුදලක් අයකිරීමට නියමිත බවයි.

මේ අතර මංගල ඡායාරූප ගැනීමේ දී, ටෙලි නාට්‍ය රූගත කිරීමේ දී හා වාර්තාමය වැඩසටහන් රූගත කිරීමේ දී පැයක් (1) සඳහා රුපියල් 5,000 ක මුදලක් අයකිරීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම, පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබා ගැනීමේ දී වර්ෂයක් සඳහා බලපත්‍රයකට රුපියල් 25,000 ක මුදලක් අයකිරීමට ද තීරණය කර ඇති බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග වැඩිදුරටත් කියා සිටියේ ෴


හෙරොයින් ග්‍රෑම් 2 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

(23.05.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් 2 ක් ලඟ තබා ගත් පුද්ගලයෙකුට ඊයේ (22) දිනයේ දී බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී තිබෙනවා.

අදාළ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි නඩරාජා රවී නැමැත්තෙක්.

මෙසේ දඩුවම් නියම කර ඇත්තේ කොළඹ මහඅධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසින්.

කෙසේ වෙතත් විත්තිකරුට එරෙහිව සියළු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් වූ නිසා චෝදනාවලට වැරදිකරු වීම ගේතුවෙන් මෙසේ දඩුවම් නියම කර ඇති බවයි වාර්තා වන්නේ ෴


බණ්ඩාරවෙල දබරකරගත් සිසුන් අත්අඩංගුවට

(23.05.2023 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සිසුන් පිරිසක් විසින් තවත් සිසුන් දෙදෙනෙකුට (2) බණ්ඩාරවෙලදී පහරදීමේ සිදුවීමට අදාලව සිසුන් තිදෙනෙකු (3) ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් වයස අවුරුදු 16 ක හා 17 ක වයස් සීමා වල පසුවන බණ්ඩාරවෙල සහ හල්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නෙ.

එසේම එම ආකාරයට සංසරණය වන සිසුන් දෙදෙනෙකු (2) දබරකර ගැනීමේ සිද්ධියකට අදාලව ද බණ්ඩාරවෙල පොලිසිය විසින් සිසුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම සිසුන් දෙදෙනා (2) ප්‍රසිද්ධ ස්ථානයක දබර කර ගැනීමේ චෝදනාව මතයි.

අත්අඩංගුවට ගත් සිසුන් වයස අවුරුදු 16 ක් වන බණ්ඩාරවෙල සහ දියතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර සිසුන් අද (23) දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


අන්තරේ කැඳවුම්කරු පත් කර ඇත්තේ කුමන්ත්‍රණයකින්

(23.05.2023 – 08:33 +0530 – hirunews.lk/sinhala)

නිලවරණය පැවැත්වීමට තිබූ ස්ථානය එක වරුවකින් වෙනස් කිරීමෙන් හා ප්‍රධාන ශිෂ්‍ය සංගම් රැසකට එම අවස්ථාව අහිමි කිරීම හේතුවෙන් මෙය යම් ආකාරයක කුමන්ත්‍රණකාරී පත් වීමක් බවයි බිමල් රත්නායක ප්‍රකාශ කරන්නේ.

ආසන්න කාලය පුරාවටම කුමන්ත්‍රණකාරී ලෙස අන්තරේ කැදවුම්කරු පත් කිරීම සිදු වී තිබෙන බවත් මෙම ක්‍රමවේදය වෙනස් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය ගැන පවතින විශ්වාසය බිඳවැටීමට හා ශිෂ්‍ය ව්‍යාපාරවලට එරෙහිව කටයුතු කරන අයට මෙය හොඳ අවස්ථාවක් බවයි ඔහු සඳහන් කරන්නේ ෴


පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමගින් කාන්තාවක් ත්‍රිකුණාමලයේ දී අත්අඩංගුවට

(23.05.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – කුච්චවේලි – කසිම්නගර් ප්‍රදේශයේ නිවසක සැකකටයුතු අන්දමින් සඟවා තිබූ ‘වෝර්ටල් ජෙල්’ කූරු 54 ක් සහ විදුලි නොවන ඩෙටනේටර් 50 ක් සමගින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (22) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

අත්අඩංගුවට ගත් කාන්තාව කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තැනැත්තියක් වන අතර ඇය ප්‍රකාශ කර ඇත්තේ ධීවර කටයුතු සඳහා මෙම පුපුරණ ලඟ තබාගෙන සිටි බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *