ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි

ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි


ශ්‍රී ලංකාව චීනයේ සයිනොපෙක් ඛණිජ තෙල් සමාගම සමඟ ගිවිසුම් ගත වෙයි

(22.05.2023 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉන්ධන වෙළදපළට පිවිසෙන නවතම සාමාජිකයා වන චීනයේ සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුමට අද (22) පෙරවරුවේ අත්සන් තැබුනා.

මේ සමඟම මෙතෙක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පැවති ඉන්ධන ඒකාධිකාරය තවදුරටත් බිඳවැටෙනු ඇති බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අදාළ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ සහ සිනොපෙක් සමාගමේ ඉන්ධන නිෂ්පාදන සහ අලෙවි දෙපාර්තමේන්තුවේ කළමණාකාර අධ්‍යක්ෂ චෙන් චෙංග් විසින්.

එම ගිවිසුම අනුව වසර 20 ක කාලයක් සඳහා සිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිකිරීමට අවසර හිමිවනවා.

ඒ අනුව සිනොපෙක් සමාගමට දැනට සිපෙට්කෝ හෙවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින ඉන්ධන පිරවුම්හල් 150 ක අයිතිය හිමිවන අතර තවත් පිරවුම්හල් 50 ක් අලුතින් ස්ථාපිත කිරීමට ද අනුමැතිය හිමිවන බව සඳහන්.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පූර්ණ අයිතිය සහිත පිරවුම්හල් 234 ක් පවතිනවා.

එනම් එම පිරවුම්හල් පිහිටි ඉඩම, ගොඩනැගිල්ල මෙන්ම මෙහෙයුම් කටයුතු වල හිමිකාරීත්වය ද පවතින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුවයි.

එමෙන්ම තවත් පිරවුම්හල් 817 ක මෙහෙයුම් කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් සිදුකරන අතර එහි අයිතිය පෞද්ගලික පිරවුම්හල් හිමියන් සතුව පවතිනවා.

කෙසේ වෙතත් සිනොපෙක් සමාගමට ලබා දීමට නියමිතව ඇත්තේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පූර්ණ අයිතිය සහිත පිරවුම්හල් නොව පෞද්ගලික පිරවුම්හල් හිමියන් සතු පිරවුම්හල් 817 න් 150 ක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

අයි.ඕ.සී. සමාගම සතුවද පිරවුම්හල් 230 ක් පවතින අතර ඔවුන්ට තවත් පිරවුම්හල් 100 ක් ස්ථාපිත කිරීමට දැනටමත් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව මෙරට තුළ පිරවුම්හල් 1,381 ක් පවතිව අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව සියයට සියයක හිමිකාරීත්වය පවතින්නේ පිරවුම්හල් 234 ක පමණයි.

එවන් පසුබිමක තවත් විදේශීය සමාගමකට මෙහෙයුම් සිදුකිරීමට අවස්ථාව ලබාදීමෙන් මෙරට ඉන්ධන වෙළඳපෙළේ රජය සතු ඒකාධීකාරිය බිඳවැටෙන බවයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඉෂාර උදයංග හෙට්ටිආරච්චි කියා සිටියේ.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම ගිවිසුම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මෙරට පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පාරිභෝගිකයින් දුෂ්කරතාවයට පත් නොවන පරිදි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල හා බලශක්ති මෙම පියවරට එළැඹි බවයි.

පසුගිය සමයේ ඉන්ධන නැව්ගත කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. සමාගම විශාල අභියෝගයකට මුහුණ දුන් බවද එමගින් පෙන්වා දී තිබෙනවා.

එම ගැටලුවට පිළියමක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට චීනයේ සිනොපෙක්, ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සහ ඇමරිකාවේ ෂෙල් යන විදේශීය සමාගම් 3 ට අවස්ථාව සලසා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු දින 45 ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කරනු ඇති.

+


ලංකාවට සහ මාලදිවයිනට පටවන්න ගිය රුපියල් කෝටි 12000 ක ‘අයිස්’ තොගයක් කේරලයේ දී කොටුවෙයි

(22.05.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට රැගෙන යාමට සූදානම් කොට තිබු රුපියල් කෝටි 12000 ක් පමණ වටිනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2600 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ඉන්දියාවේ කේරළ පොලීසිය විසින් 21 දා අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිතව ඉන්දියාවේ වාසය කරන්නෙකු වන අතර අනෙක් තැනැත්තා පකිස්තාන ජාතිකයෙක් වනවා.

කේරලයේ ප්‍රාන්ත පොලීසියට ලැබුණු තොරතුරක් මත වෙරළාසන්නයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගය හමු වී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා (2) හා මත්ද්‍රව්‍ය තොගය කේරලයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට කේරළ පොලිසිය පියවර ගෙන තිබෙනවා ෴


කම්කරු නීති ප්‍රතිසංස්කරණය ගැන සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පළ කරන අය ගැන පරීක්ෂණ

(22.05.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

කම්කරු නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබාගැනීමට මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති නමුත් එම අදහස් සලකා බලා නව නීති පද්ධතියක් කෙටුම්පත් කිරීම මෙතෙක් ආරම්භවී නොමැති බවද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පොලිස්පතිවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙනවා.

නව කම්කරු නීති පද්ධතිය සකස් කර අවසන් බවට හා එමගින් කම්කරු අයිතිවාසිකම්වලට අහිතකර බලපෑමක් සිදුවන බවට හැගී යන ආකාරයේ තොරුතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් තිබෙන බවද එම ලිපියේ දැක්වෙනවා.

එම ප්‍රචාරයන් නිසා කම්කරු හා වෘත්තීය සමිති අතර කම්කරු දෙපාර්තමේන්තුව කෙරෙහි අවිශ්වාසයක් හා අප්‍රසාදයක් ගොඩනගමින් කම්කරු නොසන්සුන්තාවයක් ඇති කිරීමේ ඉඩකඩක් පවතින බවද මෙම ලිපියේ සදහන් වනවා.

එම නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මෙම අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන පුද්ගලයින්ට එරෙහිව කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට කම්කරු කොමාසාරිස් ජනරාල්වරයා ඉල්ලීම් කර තිබෙනවා ෴


පොසොන් පොහොය නිමිත්තෙන් සුරාසැල් වසා දැමේ

(22.05.2023 – 16:55 +0530 – hirunews.lk/sinhala)

2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 03 වන පොසොන් පුර පසලොස්වක් පොහෝ දින දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

තවද රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව 2023.05.31 වන දින සිට 2023.06.06 වන දින දක්වා අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රකාශයට පත්කොට ඇති පොසොන් සතිය තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන හෙවත් මත්පැන් හල් එම දිනයන් හිදී වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴


රන් පවුමක වටිනාකමෙහි වෙනසක්

(22.05.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතිය මෙන් මෙම සතියේ දී ද ආරම්භයේ දී රන් පවුමක වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22 ක රන් පවුමක මිල රුපියල් 1000 කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන් වූයේ රන් අවුන්සයක මිල රුපියල් 608,768.00 ක් ලෙසද, කැරට් 24 ග්‍රෑම් 1 ක මිල රුපියල් 21,480.00 ලෙසයි.


+

ශ්‍රීපාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය ගැන පරීක්ෂණයක්

(22.05.2023 – 17:48 +0530 – hirunews.lk/sinhala)

හැටන් – කොටගල පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය එම විද්‍යාපීඨයට ගොස් අද (22) දින විමර්ශනයක්ද සිදුකළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසුසිසුවියන් 92 දෙනෙකුට වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් ඔවුන් කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

ඉන් 10 දෙනෙකු තවමත් කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ ෴


නිවසක තිබූ රන් මුදුවක් සොරාගත් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(22.05.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala)

නිවසක් පරීක්ෂා කිරීමේදී රන් මුදුවක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක් මෙලෙස පරීක්ෂා කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි මෙම කොස්තාපල්වරයා විසින් නිවස තුල තිබූ රන් මුදුව සොරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම මුදුව සොරාගත් බවට අදාල නිවසේ නිවැසියන් විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලක් මත කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකර මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා ෴


කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවන් 02 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

(22.05.2023 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (22) දින මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) ඇතුළුව කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.

වෙරළ කලාපය ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වෙරළ කලාපය ආවරණය වන පරිදි ස්ථාපනය කරන ලද වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථාන මඟින්, වෙරළ තීරය ඔස්සේ සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ අරිප්පු වෙරළ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය මඟින් සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කැස්බෑවන් සිව් (04) දෙනෙකු මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02), කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙකු (02) සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කල බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් දෙදෙනා (02), ජීවී කැස්බෑවන් දෙදෙනා (02), කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගය සහ තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළා.

එමෙන්ම, වඳවි යන සත්ව විශේෂයක් වන මෙම කැස්බෑවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ සංරක්‍ෂණය කරනු ලබන කැස්බෑ බිත්තර මඟින් බිහිවන පැටවුන් ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීම මඟින් මෙන්ම, මෙවැනි මෙහෙයුම් මඟින්ද සාගරික ජෛව පරිසර පද්ධතිය සුරැකීම සඳහා නාවික හමුදාව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *