විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට

විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට


විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් මුදල් වංචා කළ තවත් 6 දෙනෙක් අත්අඩංගුවට

(21.05.2023 – 15:09 +0530 – hirunews.lk/sinhala)

තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් රුපියල් 25,000 බැගින් ගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙරද සිද්ධියට අදාළව තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 15 ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසළ දී සිදුවන මූල්‍ය වංචාවන් පිළිබඳව පසුගිය දා හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අනාවරණයක් සිදු කළා.

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල පිහිටි ප්‍රදේශයේ දී තලංගම පොලීසිය සහ නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසය ඒකාබද්ධව සිදු කළ වැටලීමක දී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 16 දෙනෙකු ඊයේ (20) දිනයේ ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් අවුරුදු 20 හා 73 අතර වයස්වල පසුවන හෝකන්දර, කොටහේන, කිරුළපන කුලියාපිටිය, මාලඹේ, බත්තරමුල්ල, තිස්සමහරාම මස්කෙළිය, මොරටුව, පැලවත්ත, වත්තල සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වූයේ.

පෝලිම්වල රැදී නොසිට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා මොවුන් රුපියල් 25,000 බැගින් අය කර ඇති බව අනාවරණ වී තිබුණා ෴


මන්ත්‍රී විශ්‍රාම වැටුප් ගැන මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටි‍යගෙන් ප්‍රකාශයක්

(21.05.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවන විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (21) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද , එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කතිකාවක් ගොඩ නැගී ඇති මොහොතක , එවැනි ජනප්‍රිය යෝජනා රැසක් මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි යෝජනා යට යෑම වැලැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව පවසා තිබෙනවා.

එමෙන්ම මහජන නියෝජතියන් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම සහනාධාර ලැබිය යුතු ජනතාවට ලබාදෙන සහනාධාර වසර තුනකින් (3) පමණ අහෝසි කිරීමට කටයුතු කරන බවට නගන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රජයේ අරමුණ වසර තුනකින් (3) සහනාධාර නැති කිරීම නොව එම සහනාධාර අපේක්ෂා කරන ජනතාව ශක්තිමත් කිරීම බවත් අමාත්‍යවරයා එහිදී පවසා තිබෙනවා.

බැංකුවක් මහ බැංකුවේ නියාමනය කිරීම යනු එය වාණීජ්‍ය බැංකුවක් වීමක් නොවන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


දකුණු පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී පුද්ගලයින් 86 දෙනෙක් අත්අඩංගුවට

(21.05.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය, ගාල්ල සහ මාතර යන පොලිස් කොට්ඨාශවල ඊයේ (20) සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් 1250 දෙනෙක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි දී මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් මෙන් ම වරෙන්තු කරුවන්, වෙනත් වැරදි සම්බන්ධ සැකකරුවන් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

හෙරොයින් ග්‍රෑම් 66 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 ක්, ගංජා ග්‍රෑම් 250 ක් පොලිස් භාරයට ගත් බවයි වාර්තා වී ඇත්තේ ෴


පුරන් කුඹුරු පස් දමා විකිණීමේ ජාවාරමක්

(21.05.2023 – 16:59 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ හා ඒ අවට ප්‍රදේශවල පුරන් වූ කුඹුරු පුරවා විකිණීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා.

ඒ අනුව තලවතුගොඩ, කලල්ගොඩ, වලේකඩේ හා පාසල් මාවතේ ඇති වගා කරන කුඹුරු හා වගා නොකරන කුඹුරු මෙසේ පුරවා විකුණන බවයි වාර්තා වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ සඳහා දේශපාලඥයෙකුගේ ද සහාය ලැබෙන බවයි.

තවද ඔවුන් කියා සිටින්නේ මෙම ජාවාරම සඳහා මහරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහයෝගය ලැබී ඇති බවයි.

මෙම ජාවාරම හේතුවෙන් ගංවතුර අවදානම් ඇති වීමේ ඉඩකඩ පවතින බව ද ඩෙංගු ව්‍යාප්තිය වර්ධන වී තිබෙන බවද ප්‍රදේශවාසීන් මැසිවිලි නගන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිසිය, ගොවිජන සේවා මධ්‍යස්ථානය හා දේශපාලන අධිකාරිය අවස්ථා කිහිපයකදීම දැනුවත් කර තිබුණද කිසිදු ආයතනයකින් ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද අප වාර්තාකරු සඳහන් කළා ෴


පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාව ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

(21.05.2023 – 17:17 +0530 – hirunews.lk/sinhala)

මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් අමාත්‍යවරවයාගේ පාලන කාලය තුළ කප්පාදුවට ලක්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වර්ෂයේ අයවැය වාර්තාවේ සඳහන් වුවද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් මුදල් අමාත්‍යවරයාගෙන් සිදුකළ විමසීමකදීයි ඔහු මේ බව සඳහන් කළේ ෴


සිසුවියක් පැහැර ගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වේ

(21.05.2023 – 17:40 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක්, කිසියම් පිරිසක් විසින් පසුගිය සිකුරාදා (19) පැහැරගෙන යෑමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබෙනවා.

ඇය පාසල නිම වී තම පාසල් වෑන් රථය දෙසට යමින් සිටිය දීයි මෙසේ පැහැර ගැනීමට උත්සාහ දරා ඇත්තේ.

‘ග්‍රේන්ස් ස්ටෙප්’ පඩිපෙළ ආසන්නයේ නවතා තිබූ සුදු පැහැති වැන් රථයකින් පැමිණි තරුණයෙකු අදාළ සිසුවියට පවසා ඇත්තේ අම්මා අසනීප වී රෝහලේ නතර කළ බවයි.

එම තරුණයා සිසුවියට චොක්ලට් එකක් ද ලබා දී ‘අම්මා ලඟට එක්ක යන්නම් වෑන් එකට නගින්න’ ලෙස පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මව, සහෝදරයා ඉගෙනුම ලබන පාසලට යන බව පෙර දින තමන්ට පැවසූ බවට සිසුවියට සිහිපත් වී ඇති අතර ඇය බියට පත් වී බණ්ඩාරවෙල නගරයේ පිහිටි වෙළඳසැලකට දුව ගොස් බේරී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව පොලිසියට පැමිණිලි කර තිඛෙන අතර මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ ෴


අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ අමුත්තන් බැලීමට පැමිණි පුද්ගලයකු සන්තකයේ හෙරොයින්

(21.05.2023 – 18:06 +0530 – hirunews.lk/sinhala)

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයකු විසින් රැදවියාට ලබා දීම සදහා රැගෙන එන ලද පාර්සල් ඊයේ (20) බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් දැඩි සෝදිස්සියකට ලක්කර තිබෙනවා.

එහිදී රැදවියාට ලබා දීම සදහා රැගෙන එන ලද මදක් පිසූ කුකුල් මස් කටු තුළ සූක්ෂම ලෙස සගවා හෙරොයින් මිලිග්‍රෑම් 630 ක ප්‍රමාණයක් (630 mg) අමුත්තන් පෙන්වීමේ රාජකාරියේ යෙදී සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන ලද පුද්ගලයා හා අදාළ මත්ද්‍රව්‍යය ඉදිරි නීතිමය කටයුතු සදහා අගුණුකොළපැලැස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය මගින් විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ ෴


විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා මහජන ආරක්ෂක අමාත්‍ය අතර හමුවක්

(21.05.2023 – 18:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසන් පසුගිය දින කිහිපයේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් හමු වී තිබෙනවා.

ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂා සම්බන්ධයෙන් හා සිසුන් මුහුණපාන ගැටලු සම්බන්ධව මෙහි දී සාකච්ඡා කළ බවයි වාර්තා වී ඇත්තේ.

විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදු වන හොරකම් වැඩවීමක් පෙන්නුම් කරන බව හා සිසුන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩි වී ඇති බවට මෙහි දී අනාවරණය වී තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ජේෂ්ඨ නිළධාරීන් විශ්වවිද්‍යාලය තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පෙන්වා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විශ්වවිද්‍යාල අසල ආරක්ෂක මුර සංචාර ගණන වැඩි කිරීමට ද අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා ෴


ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ලබන පාර්ලිමේන්තු සැසිවාරය අනිවාර්ය කෙරේ

(21.05.2023 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මේ සඳහා ‘ඉරි තුනේ’ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුනහොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදු කළ යුතු වන බවයි වාර්තා වන්නේ.

මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැනවෙනවා.

මැයි මස 24 වන දින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම විවාදය සහ ඡන්ද විමසීම ඉතා වැදගත් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට එදිනට සහභාගි වීම අනිවාර්ය කර ඇති බවයි සඳහන් වන්නේ.

අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ‘ඉරිතුනේ’ නිවේදන නිකුත් කිරීම සිදුවන බවයි වාර්තා වී ඇත්තේ ෴


වටිනා නිල් මැණිකට ව්‍යාජ වීදුරු ගලක් මාරු කරලා

(21.05.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පේරාදෙණිය මාර්ගයේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳසැලකට ඊයේ (20) පැමිණි පිරිසක් එහි තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා නිල් මැණිකක් සොරාගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් සොරාගත් නිල් මැණිකේ පෙනුමට සමාන ලෙස නිල් මැණිකක් ලෙස වර්ණ ගැන් වූ වීදුරු ගලක් රැගෙන පැමිණ ඇති අතර ඉතා සූක්ෂම ලෙස එම ගල මාරුකර නිල් මැණික සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම පිරිස නිල් මැණික ගැනීමට නැවත පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති අතර වෙළෙඳසැල් හිමිකරුට අදාළ පිරිස සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා.

එහිදී වෙළෙඳසැල් හිමිකරු මැණික පරීක්ෂා කිරීමේ දී එය ව්‍යාජ මැණික බවට හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් පිළිබදව හා ඔවුන් පැමිණි වාහනය සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන තිඛෙන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිස් ස්ථානය විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *