නීතිවිරෝධී මත්පැන් වැටලීමකදී සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකු තුවාල ලබයි

නීතිවිරෝධී මත්පැන් වැටලීමකදී සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකු තුවාල ලබයි


නීතිවිරෝධී මත්පැන් වැටලීමකදී සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකු තුවාල ලබයි

(21.05.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල – පුපුරැස්ස – පඹදෙනිය ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේ සිදුවූ වෙඩි තැබීමකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

මේ වනවිට එම සිසුවා ගම්පොල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද (21) උදෑසන පුපුරැස්ස පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සඳහා පිටත්ව ගොස් ඇති බව සඳහන්.

මෙම පාසල් සිසුවා විසින් එහිදී නිවසේ සිටි සුනඛයා ලෙහා දමා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සුනඛයා විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුව (2) සපා කා ඇති අතර, එම අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමේදියි සිසුවාගේ පාදයකට තුවාල වී ඇත්තේ.

වෙඩි වැදුනු සුනඛයාද එම ස්ථානයේදීම මියගොස් ඇති බව සඳහන්.

+


අධිවේගී මාර්ග භාවිත කරන්නන් හට දැනුම් දීමක්

(21.05.2023 – 10:54 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර 60 ක සීමාවේ තමාගෙන ගමන් කරන ලෙසට අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දැනුම් දීමක් සිදුකරනවා.

එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා වාහනය පදවන ලෙසට දැනුම් දෙනවා.

තවද අදුරු ආලෝක තත්ත්වයක් පවතින බැවින් ඉදිරිපස ප්‍රධාන පහන් දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසයි වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴


ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙල යලිත් වරක් ජාත්‍යන්තර ඇගයීමට

(21.05.2023 – 11:12 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවත් අද (21) දින අවසන් වු ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organzation – ICAO) විසින් පවත්වන ලද ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ විගණනයෙන් තහවුරු වී තිබෙනවා.

මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති වික්ෂ හමුව වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වුණා.

2023 මැයි මස 08 දින සිට 19 දින තෙක් පැවති මෙම විගණනය සඳහා, ICAO විසින් සක්කරන ලද සුදුසුකම්ලත් ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණක පරීක්ෂකවරුන් සතර (4) දෙනෙකු එක් වී තිබෙනවා.

එහිදී ඔවුන් විසින් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මූලික කර ගනිමින්, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගම මෙන්ම මෙරට සිට සහ රට තුලට ගුවන්ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන දේශීය සහ විදේශිය ගුවන් සමාගම් ඇතුළු ගුවන්සේවා ක්ෂේත්‍රය හා සබැඳි පාර්ශවකාර අංශයන්, ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විඝනනයන් සිදුකර නැති බවයි වාර්තා වන්නේ.

එම විගණන වාර්තාව මැයි 10 දින ICA0 විගණන කණ්ඩායමේ Aurelien Lavayssiere විසින් සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ. ජයකාන්තට භාර දී තිබෙනවා.

එමන්ම මෙවැනි විගණන වලට සාර්ථකව මුහුණ දීම තුලින් ගුවන්සේවා ආරක්ෂාව ඉහළින් පවත්වාගෙන යනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වීම තුලින් තවදුරටත් විදේශිය ගුවන් සමාගම් මෙරටට සිය ගමන්වාර ක්‍රියාත්මක කරවීමට මෙන්ම ශ්‍රි ලංකාවට අයත් ගුවන් කලාපය භාවිතා කිරීමට උනන්දු වන බව‍යි ශ්‍රී ලංකා ගුවන්සේවා අධිකාරිය පවසන්නේ ෴


මල්වානේ රඹුටන් අස්වැන්න පහළ වැටෙයි

(21.05.2023 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මල්වාන ප්‍රදේශය ආශ්‍රිතව මෙවර රඹුටන් අස්වැන්නේ වාර්තාගත අඩුවීමක් දක්නට ලැබෙන බව රඹුටන් වගාකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ‘කළු පුස් රෝගය’ සහ වඳුරන්ගෙන් සිදුවන හානිය මෙලෙස රඹුටන් අස්වැන්න අඩුවීමට හේතු වී ඇති බවයි.

+


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

(21.05.2023 – 12:24 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යංශය අද (21) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම‍ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවයි.

එහි දී අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බවයි අමාත්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ ෴


උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩ භාර ගැනීම හෙට (22)

(21.05.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත සදහා අලුතින් පත්කරන ලද ආණ්ඩුකාරවරිය වන පී.එම්.එස්. චාර්ල්ස් හෙට (22) දිනයේ දී උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

හෙට (22) ඇයව පිළිගැනීම සදහා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් විසින් විශේෂ උත්සවයක්ද සංවිධානය කොට තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.

ඇය උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයට පත් වනුයේ දෙවන (2) වරටයි.

අභිනව ආණ්ඩුකාරවරිය වවුනියාව, මඩකලපුව යන දිස්ත්‍රික්ක වල දිසාපති ධූරයද, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂවරිය වශයෙන්ද මැතිවරණ කොමිසමේද සේවය කළ නිලධාරිනියකි ෴


ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

(21.05.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩෙංගු ව්‍යාප්තිය මැඩලීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක උපදෙස් ලබාදී තිබෙනවා.

එහි දී පාසල් ඇතුළු සියලු පරිශ්‍ර සතියකට පැයක් පරීක්ෂා කරන ලෙස හෙතෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ ෴


‘කාදර් නානා වත්තේ මල්ලියා’ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

(21.05.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ‘කාදර් නානා වත්ත’ ප්‍රදේශයේ අද (21) අලුයම සිදුකළ වැටලීමකින් පුද්ගලයින් 07 දෙනෙකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, ‘කාදර් නානා වත්තේ මල්ලියා’ නැමැති අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී කඩු 08 ක්, කිනිස්සක් (01), හෙරොයින් මත්කුඩු, අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අද (21) අලුයම පොලිස් විශේෂ කාර්‍ය බලකාය, පොලිසිය එක්ව දියත් කල විශේෂ වැටලීඉමක දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා ෴


ෂාෆ්ටර්ගේ දේහය ගොඩගැනීමට කටයුතු සූදානම්

(21.05.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය මරණයට අදාල හේතුව සෙවීම සඳහා අධිකරණ නියෝගයකට අනුව මැයි 25 වනදා ගොඩගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම දේහය මිහිදන් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.

ඒ ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව බවට පංච (5) පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 18 වැනිදා ලිඛිතව සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච (5) පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලීමක් සිදුකළ බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කරනු ලැබුවා ෴


විෂ මත්ද්‍රව්‍ය භාවිත ක‍රමින් බස් රථ ධාවනය කරන රියදුරන්

(21.05.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

බස් රථ රියදුරන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් රථ ධාවනය කරන බවට ලැබුණු පැමිණිලි මත ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (20) විශේෂ මෙහෙයුමක් සිදුකළා.

එහිදී මත්ද්‍රව්‍ය භාවිතා කර බස්රථ ධාවනයේ නිරතව සිටි රියදුරන් තිදෙනෙකු (3) පොලිස් අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අලුත්කඩේ අංක 7 රථ වාහන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම ඉදිරි දිනවල කොළඹ නගරය ආශ්‍රිතවත් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර බස් රථ ධාවනය කරන රියදුරන් හඳුනාගැනීම සඳහා මෙහෙයුම් සිදුකිරීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළා ෴


බදු විධිමත් කිරීමේ වාර්තාව ලබන 01 වැනිදා ජනපතිට

(21.05.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

බදු අයකිරීම විධිමත් කිරීම පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම වාර්තාව ජූනි මස මුලදී ජනාධිපතිවරයා වෙත ලබාදීමටද අපේක්ෂා කරන බවයි ෴


වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීමට සහනාධාර වවුචරයක්

(21.05.2023 – 16:19 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහනාධාර වවුචරයක් ලෙස ලබා දීමේ තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව හෙක්ටයාරයකට රු. 20,000 ක් මුදලක් ලබා දෙන බවයි වාර්තා වී ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *