ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක්

ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක්


ජෙරොම් ප්‍රනාන්දු ගැන නව අනාවරණයක්

(19.05.2023 – 11:04 +0530 – hirunews.lk/sinhala)

ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ ‘මිරකල් ඩෝම්’ නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09 ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම අක්කර හතරක (4) ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි.

එමෙන්ම ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් (2) දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇතැයි ද මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන් ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබී තිබෙන බව ද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙහි දී හෙළි ඇත්තේ මෙම ආයතනය සඳහා ආධාර වශයෙන් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් (5) බවයි.

දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගලක් ද රුපියල් ලක්ෂ පහකට (5) විකුණා ඇති බව ද මෙහි දී අනාවරණය වුණා.

වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් බවයි ෴

+++++++++

ජෙරොම් ප්‍රනාන්දු ගැන පාසලේ විදුහල්පතිවරයාගෙන් හෙළිදරව්වක්

(19.05.2023 – 14:25 +0530 – hirunews.lk/sinhala)

ආගම්වලට නිගරුවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ ජෙරොම් ප්‍රනාන්දු මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇත්තේ පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසුව බව ඔහු ඉගෙනුම ලැබූ ශාන්ත පීතර විදුහලේ හිටපු විදුහල්පතිවරයෙකු වන ෆිලීෂියන් රංජිත් පෙරේරා පියතුමන් පවසනවා.

ජෙරොම් ප්‍රනාන්දු එවකට පාසල් මට්ටමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත්, ඔහු මුලධර්මවාදීන්ගේ ග්‍රහණයට නතු නොවුනේ නම් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට පවා වරම් ලැබීමට දක්ෂතා දැක්වූ අයෙකු බවයි රංජිත් පෙරේරා පියතුමන් සඳහන් කළේ.

ජෙරොම් ප්‍රනාන්දු පාසල් යන සමයේ ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ලෙස අත්තිඩියේ ශුද්ධ වූ ත්‍රිත්ව දෙව් මැදුරේ මීසම් පාලක ෆිලීෂියන් රංජිත් පෙරේරා පියතුමන් කටයුතු කර තිබුණා.

පාසල් යන සමයේ කතෝලික සභාව සමඟ සමීප සබඳතාවක් තිබූ ඔහු, පසුව පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව මූලධර්මවාදීන්ගේ ග්‍රහණයට නතුව ඇති බවට තමන් දැනුවත් වූයේ ඔහුගේ දේශනා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ බවයි පියතුමන් අප සමඟ කියා සිටියේ.

පසුව ජෙරොම් ප්‍රනාන්දු මූලධර්මවාදීන් සමඟ එක්ව තනිව වෙනම සභාවක් ගොඩනගා ගත් බවද ෆිලීෂියන් රංජිත් පෙරේරා පියතුමන් සඳහන් කළා.

මේ අතර, ජෙරම් ප්‍රනාන්දු හෝ ඔහුගේ ගුරුවරයා වන සිම්බාබ්වේ ජාතික ඌබට් ඒන්ජල් සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් ලද නිල ඉල්ලීමක් මත තමන් එක් අවස්ථාවක පමණක් ඔවුන් මුණ ගැසුණු බවයි.

මේ අතර, ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඔහු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා ඇතුලු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු පිරිසක් විසින්.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි පහක් (5) ලැබී ඇති බවයි ෴

++++++++++

සියලු ආගමික මධ්‍යස්ථාන හා ආයතන ලියාපදිංචිය අනිවාර්ය කරමින් ළඟදීම නීතියක්

(19.05.2023 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දෙසතිය තුල සියලු ආගමික මධ්‍යස්ථාන හා ආගමික ආයතන ලියාපදිංචිය අනිවාර්ය කරමින් එය නීතියක් ලෙස බලාත්මක කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ගෙන එන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළා.

ඒ ජෙරොම් ප්‍රනාන්දු ආගමික මෙහෙයන් සිදුකළ ‘මිරැකල් ඩෝම්’ නම් ස්ථානය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදීයි.

එය ආගමික මධ්‍යස්ථානයක් ලෙස මෙරට ලියාපදිංචි කර නොමැති බවට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව තමන් දැනුවත් කළ බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කළේ.

5000 ක පමණ පිරිසකට රැස්විය හැකි අදාළ මිරැකල් ඩෝම් නම් ආගමික මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2011 වසරේදී නාගරික සංවර්ධන අධිකාරියේ සහ කටුනායක සීදූව නගර සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බව ද අප කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

මෙරට ආගමික මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන අතර, එලෙස ලියාපදිංචි නොකළ තවත් ආගමික මධ්‍යස්ථාන හා ආයතන ගණනාවක් පවතින බව අමාත්‍යවරයා කියා සිටියා ෴


මෘදුකාංග ඉංජිනේරුවරයකු කුලියට දුන් ලක්ෂ 300 වී-එයිට් රිය රුපියල් ලක්ෂ 30 කට උකස් කරලා

(19.05.2023 – gossiplankanews.com)

මෘදුකාංග ඉංජිනේරුවරයකුට අයත් රුපියල් ලක්ෂ 300 ක් පමණ වටිනා ‘ලෑන්ඩ් කෘෂර් වී එයිට්’ වර්ගයේ සුඛෝපභෝගී රථය රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ නුගේගොඩ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම ජීප් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. මාසිකව රුපියල් 2,80,000 මුදලක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකට ලබාදුන් සුඛෝපභෝගී ජීප් රථය අස්ථානගත කර ඇතැයි රාජගිරිය ප්‍රදේශයේ මෘදුකාංග ව්‍යාපාරිකයකු පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කොල්ලුපිටිය ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත්වීමේදී ඔහු ප්‍රදේශය අත්හැර පලා ගොස් තිබූ අතර වාහනයේ සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය සෙල්ලකතරගම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණ කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි. ඒ අනුව පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සෙල්ල කතරගමට ගොස් අදාළ ජීප් රථය සමග එය පැදවූ රියැදුරු පොලිස් භාරයට ගෙන සිදු කළ ප්‍රශ්න කිරිමේදී නුගේගොඩ ප්‍රදේශයේ වාහන අලෙවි කරන ස්ථානයක ව්‍යාපාරිකයෙකු දෙමටගොඩ සිය ආයතනය වෙත පැමිණ මෝටර් රථ පැවරීමේ පෝරමයක් සමඟ වාහනය ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 30 කට උකස් තැබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

එම පුද්ගලයාගේ ප්‍රකාශ මත සුඛෝපභෝගී ජීප් රථයේ උගස් තැබූ බව කියන නුගේගොඩ වාහන අලෙවි ස්ථානයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහුගේ ව්‍යාපාර මේ වන විට පාඩු තත්ත්වයේ පැවතීම හේතුවෙන් මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි. පලා ගොස් සිටින කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගත් මානුෂීය මෙහෙයුමට අදට (18) වසර 14 යි

(18.05.2023 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මීට වසර 14 ට පෙර මැයි මස 19 වැනිදා අද වැනි දිනෙක අපේ රටේ මිනිස්සු ගමක් නගරයක් ගානේ කිරි බත් පිසිමින් රතිඤ්ඤා පත්තු කරමින් යුද ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තා.

මනුස්සකම් ගුණදහම් හඳුනන ශ්‍රී ලංකාවේ මළගමක් වෙනුවෙන් කිරි බතක් පිසුවේ නම් ඒ 2009 වසරේ මැයි මස 19 වැනිදාය.

ඊළාම් සිහිනය වෙනුවෙන් වසර 33 ක් මාස 9 ක් සහ සති 3 ක් පැවති කුරිරු යුද්ධය නිමාකර අපගේ වීරෝධාර රණවිරුවන් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදා ගන්නේ මීට 14 වසරකට පෙරයි.

1983 වර්ෂයේ දී දෙමළ සටන්කාමීන් කියාගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කරගනිමින් 1979 වර්ෂයේ දී පළමු ඊළාම් යුද්ධය ආරම්භ වුණා.

1984 වර්ෂයේ සිට ප්‍රභාකරන් විසින් උතුරු පළාතේ සිංහල ජනපදිකයන් සමූල ඝාතනය කිරීම ආරම්භ කළ අතර ඊට අමතරව කොළඹ, අනුරාධපුර ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක විය.

ඉන් අනතුරුව දෙවැනි ඊළාම් යුද්ධය 1990 වසරේ ආරම්භ වූ අතර එය 1994 අගෝස්තු දක්වා පැවැත්වුණා.

නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලා තිබූ නෞකා දෙකක් විනාශ කිරීමත් සමඟ 1995 අප්‍රේල් 19 දින ත්‍රස්තවාදීන් තුන්වැනි ඊළාම් යුද්ධය ආරම්භ කළා.

කෙසේ වෙතත් 2001 වර්ෂයේදී යළි සටන් විරාමයක් ආරම්භ කළ අතර මෙය 2003 දක්වා පැවැත් වුවත් 2006 වසරේ දී ස්විට්සර්ලන්තයේ දී සාම සාකච්ඡා ක්‍රියාත්මක වුවත් ඒවාද අසාර්ථක වුණා.

ඉන් අනතරුව 2006 ජූලි 26 දින සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා වශයෙන් යුද්ධය අවසන් කිරීමේ අදිටනින් යුතුවයි.

හුදෙක්ම මානුෂීය මෙහෙයුමක් පමණක්ම වූ මේ මෙහෙයුම නැඟෙනහිර මානුෂීය මෙහෙයුම නමින් එය හැඳින්වුණා.

එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 2006 ජූලි 21දා මාවිල්ආරු සොරොව්ව වසා දමමින් අහිංසක සිවිල් වැසියන් 30,000 ක පමණ පිරිසගේ ජල සැපැයුම අත්හිටු වූ අතර මාවිල්ආරු මුදාගනිමින් ජනතාවගේ ජල අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් සිවු වැනි ඊළාම් යුද්ධය ආරම්භ විය.

2007 සැප්තැම්බර් අවසන් සතියේ දී මන්නාරමේ සහල්නැළිය නමින් හැඳින්වූ ප්‍රදේශය මුදාගැනීමේ මෙහෙයුම පළමු වැනි කාර්ය සාධක බළකාය මඟින් දියත් කරන ලද අතර 2007 දෙසැම්බර් 22 දා උලියන්කුලම් නගරයත් ඉන් මාස කිහිපයකට පසු 2008 ජුනි 22 දා මන්නාරමේ සහල්නැළිය ප්‍රදේශය මුළුමනින්ම මුදා ගැනීමට වීරෝධාර සෙබළුන් සමත් වුණා.

කෙසේ වෙතත් 2008 අප්‍රේල් 25දා සුප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය ද 2008 මැයි 17දා පාලම්පිඩ්ඩි හා 2008 ජුනි 26දා පෙරියමඩු ගම්මානයද 2008 ජූලි 16දා වෙඩිතල්තිව් මුහුදු කොටි කඳවුර අත්පත් කර ගත්තා.

මේ වනවිට කොටි ත්‍රස්තවාදීන් මල්ලාවි සහ තුනුක්කායි නගර වෙත පසුබසිමින් සිටිය අතර 57 වැනි සේනාංකය එම නගර ප්‍රදේශ හමුදා පාලනයට නතු කරගනු ලැබුවා.

2008 නොවැම්බර් 15දා මන්නාරම් පුනරින් මාර්ගය යාපනය තෙක් විවෘත කිරීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකි වුණා.

2008 නොවැම්බර් 11 උතුරු මාන්කුලම් නගරය මුදාගෙන තිබිණ අතර ඉන්පසු පුලියන්කුලම්, කනගරායන්කුලම් යන නගර රක්‍ෂක හමුදාවේ ඊළඟ මෙහෙයුම වූයේ එල්ටීටීඊ සංවිධානයේ හදවත මෙන්ම ප්‍රභාකරන්ගේ බලකොටුව වූ කිලිනොච්චිය මුදාගැනීමයි.

2009 ජනවාරි 02 දා කිලිනොච්චිය ආරක්‍ෂක හමුදා පාලනයට නතු කරගැනීමට හැකියාව ලැබෙනවා.

2009 ජනවාරි 14 වනවිට ඉදිරියට ගිය බළසේනා චුන්ඩිකුලම්, පලෙයි, සොරන්පත්තු හා අයියක්‌කච්චි හරහා අලිමංකඩ ප්‍රදේශ එල්ටීටීඊ ග්‍රහණයෙන් මුදා ගන්නවා.

සුප්‍රසිද්ධ අලිමංකඩ 2009 ජනවාරි 09 මුදා ගැනුණ අතර 2009 ජනවාරි 25 දා මුලතිව් කොටි කේන්ද්‍රස්ථානය ඇදවැටීම නිසා කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයකට කොටු වූණා.

එමෙන්ම 58 වැනි සේනාංකය සුගන්ධිපුරම්, පුදුකුඩිඉරිප්පු මංසන්ධිය, ඉරනපලායි සහ පුදුමාතලන් ප්‍රදේශවල දී ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශවල බලය තහවුරු කරගත්තා.

ඒ වනවිටත් එල්ටීටීඊ සංවිධානය අහිංසක සිවිල් වැසියන් ලක්ෂ ගනණක් මිනිස් පළිහක් ලෙස යොදාගනිමින් සිටි අතර එම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලොව මෙතෙක් දියත් කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසද ඉතිහාසයට එක්වෙනවා.

වෙල්ලමුල්ලිවයික්කාල්හිදී අවසන් එල්ටීටීඊ බිම්කඩද අත්පත් කර ගත් අතර පසුව නන්දිකඩාල් කළපුවේදී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමඟ වසර 33 පැවති යුද්ධය නිමා කර සාමයේ නිදහස ශ්‍රී ලාංකික වැසියන්ට උරුම කර දෙනවා.

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ එකම අරමුණ වූයේ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම මිස අහිංසක දමිළ ජනතාවගේ ජීවිත සුඛිත මුදිත තත්ත්වයට පත් කිරීම නොවේ.

ඔහුට කිසිවිටෙකත් සිංහල, දමිළ සහ මුස්ලිම් ජනතාව සමඟ සමඟියෙන් ජීවත් වීමට අවශ්‍ය වූයේ ද නැත.

එමෙන්ම ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වෙඩි තැබීම, කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානයේ යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් 173 ක් ඝාතනය ත්‍රස්ත ක්‍රියාකාරකම් අතර විය.

ඊට අමතරව සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද ඝාතන මෙන්ම, බෝම්බ ප්‍රහාර ප්‍රමාණය ද මෙතෙක් යැයි කිව නොහැකි තරම්ය.

කෙසේ වෙතත් දහස් ගණන් මිනිස්සුන්ට ජීවිත අහිමි කළ තවත් බොහෝ දෙනා ආබාධිතයින් බවට පත් කළ රටේ මහා ධන සම්පතක් විනාශ කළ කුරිරු යුද්ධය අවසන් වූයේ රට සංවර්ධනයට අලුත් මාවතක් විවර කරමිනි.

එම නිදහස උදා වී මේ වසරට අප වසර 14 ක් ගෙවා තිබෙනවා.

මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ 14 වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ මේ උදෙසා අසීමිත කැපවීමක් කළ යුද ගිනිදැල් නිවාලමින් ජාතියට හුස්ම ගන්නට අයිතිය ලබා දුන් වීරෝධාර රණවිරුවන් කිසිසේත්ම අමතක කළ නොහැකි අතර ඔවුන් අනුස්මරණය කිරීම අපගේ යුතුකමක් ද වන්නේය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *