රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක්

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක්


රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළක්

(19.05.2023 – 16:42 +0530 – hirunews.lk/sinhala)

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපතිවරයා පවසනවා.

මසක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබෙන්නේ.

ඩිජිටල් සහ හරිත ආර්ථිකය සමාන්තරව නඟාසිටුවීමට තරුණ අදහස් හා යෝජනා අපේක්ෂා කරනවා බවයි හෙතෙම කියා සිටින්නේ.

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අය කරගැනීම සඳහා ස්ථාපිත කර ඇති ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් ‘රැමිස්’ (RAMIS) පද්ධතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 1993 වසරේ අග්‍රමාත්‍යවරයා ලෙස ද තමා ඒ පිළිබඳ සාකච්ඡා කළ බවයි.

නමුත් 2023 තවමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැති බවත් එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකි බවත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ ‘ඊ -වාණිජ්‍ය’ යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ‘ඩරාස්’ ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව ‘අලිබබා’ සමාගම වෙත සිය ස්තූතිය පළ කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුලතදී ලබා දෙන ලෙස මම ඔවුන්ට දැනුම් දුන්නා.”

“රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්. ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් කතා කරන දෙමළ සහ ඉංග්‍රීසි ඔවුන්ට අදාළ භාෂා වන නිසා තවදුරටත් අපට වැඩ කිරීම ඉතා පහසු වෙනවා.”

තවදුරටත් අදහස් දක්වපු ජනාධිපතිවරයා කියාසිටින්නේ ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමග අප සමාන්තරව ගමන් කළ යුතු බවයි ෴


කුලී රථ ගාල් කිරීමට අවසර ලබාදීමට විරුද්ධව උද්ඝෝෂණක්

(19.05.2023 – 17:17 +0530 – hirunews.lk/sinhala)

Uber හා PickMe ආයතනවල කුලී රථ ගාල් කිරීමට අවසර ලබාදීමට විරුද්ධව ගුවන් තොටුපළ කුලී රථ සංගමය ඊයේ (18) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

ඔවුන් මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරියට ඇතුල්වීමේ දොරටුව ඉදිරිපිටදීය.

එම ආයතනවල කුලී රථ හේතුවෙන් ඔවුන්ගේ ආදායම් මාර්ග අවහිර වන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පැය දෙකක (2) පමණ කාලයක් මෙම උද්ඝෝෂණය පැවති බව පොලීසිය පවසනවා ෴


උතුරු පළාත් ආණ්ඩුකාරවරියට එරෙහිව විරෝධතාවයක්

(19.05.2023 – 17:38 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාතේ ආණ්ඩුකාර නව පී.එම්.එස්. චාර්ල්ස්ට විරෝධය පළකරමින් යාපනය නගර සභා මාර්ගය අසලදී පිරිසක් අද (19) විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

එලෙස ඇය උතුරු පාළාතේ ආණ්ඩුකාරධූරයට පත් වී ඇත්තේ දෙවන (2) වරටයි.

ඇය වසර තුනක (3) පමණ උතුරේ සේවය කළ නමුත් එම කාලයේ දී එම පළාතට කිසිදු සේවාවක් හෝ මහජනයාගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දීමක් සිදු නොවූ බවයි විරෝධතාකරුවන් කියා සිටින්නේ.

ඇයව යළිත් ආණ්ඩුකාරධූරයට පත්කොට ඇත්තේ ඇගේ දක්ෂකම නිසා නොව මැතිවරණ කොමිසමේ රැඳෙමින් ඇය ලබා දුන් දායකත්වය වෙනුවෙන් පමණක් බවද විරෝධතාකරුවෝ කියා සිටියා.

ඇයට එරෙහිව දූෂණ චෝදනා රැසක් ඇති බවත් ඇය ආණ්ඩුකාරධූරයේ සිටි කාලයේ දී ඇයගේ පවුල වෙනුවෙන් උපයා ගත් නීති විරෝධී දේපළ සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පවත්වා ඇයව අත්අඩංගුවට ගත යුතු බවයි විරෝධතාකරුවන් හඩ නගමින් කියා සිටින්නේ ෴


සිංගප්පූරුවේ දී මියගිය කාන්තාව ගැන එරට දී විමර්ශනයක්

(19.05.2023 – 18:07 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවේ මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලෙන් වැටී ශ්‍රී ලාංකික කාන්තාවක් මියයාමේ පුවතක් ඊයේ (18) වාර්තාවුණා.

එලෙස මියගිය කාන්තාව දංකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇති අතර මහල් නිවාස හිමියාගේ හිරිහැර පිළිබඳව සමීපතමයන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලැබුනු තොරතුරු මත එහි දී එම කාන්තාව නැවත ශ්‍රී ලංකාවට එවන ලෙස ඉල්ලා සිටි නමුත් එරට නිවසේ හිමිකරුවාගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී නැති බවයි සඳහන්.

ඊයේ (18) සිංගප්පූරුවේ දී එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර මියගිය අයගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

මරණයට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිගමනයකට පැමිණ නොමැති බවත් සඳහන් කළ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මරණය සම්බන්ධයෙන් සිංගප්පූරු බලධාරීන් විසින් පරීක්ෂණ පවත්වන බවයි ෴

සිංගප්පූරුවේ ගෘහ සේවයේ නිරතව සිටියදී මහල් නිවාස සංකීර්ණයක 8 වන මහලෙන් වැටී ජීවිතක්ෂයට පත් වූ ලාංකික කාන්තාවගේ දේහය අද (19) දින මෙරටට ගෙන ඒමට නියමිතයි.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබුණේ දංකොටුව – මොටෑමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිට විදෙස් ගත වූ 41 හැවිරිදි විවාහක කාන්තාවක්.

ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් කරදර එල්ල වන බවත් තමන්ට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවත් ඇය සිය මිතුරියන්ට මිට පෙර ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඇය මහල් නිවසෙන් ඇඳ වැටෙන ආකාරය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගතකර ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් එය අනතුරක්ද දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත ෴


කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි

(19.05.2023 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදු වූ ජන සංහාරය පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් වෘඩෝ මැතිතුමා ඊයේ (18) දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රටක ප්‍රමුඛ පෙළේ නායකයකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහි ප්‍රකාශයන් සිදු කිරීම හේතුවෙන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වන බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත්, විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙසත් ශ්‍රී ලංකාව විසින් කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටියි ෴


අතක් සැපූ වරදකට කනේ පහරක් ගැසූ ගුරුවරියක රිමාන්ඩ්

(19.05.2023 – 18:44 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – පානම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක අවුරුදු පහයි (5) මාස 9 ක් වයසැති පළමු (1) ශ්‍රේණියේ දැරියකගේ කනට දරුණු ලෙස පහරදුන් සිද්ධියකට අදාළව පන්ති භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරිය විසින් තවත් දරුවෙකුගේ අත සපා කෑම නිසා ඊට දඬුවම් ලෙස අදාළ ගුරැවරිය පසුගිය 10 වනදා දැරියගේ කණ හරහා පහරක් දී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ගුරුවරියගේ පහරකෑමට ලක්වූ දරුවා පසුව පානම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර එහි දී දරුවාගේ කණෙන් රුධිරය වහනය නිසා පොතුවිල් මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පසුව නාසයෙන් ද රුධිරය වහනය වීමත් සමග අම්පාර දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති අතර මේ වන විටත් දැරිය එම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සදහන් කළේ.

මේ පිළිබඳව පොලීසියට මෙන්ම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ද පැමිණිලි ලැබී ඇති අතර, 54 හැවිරිදි සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


වසන්ත මුදලිගේ ඇතුළු 8 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප

(19.05.2023 – 18:57 +0530 – hirunews.lk/sinhala)

පොලිසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවක දී අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 7 දෙනාට මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබී තිබෙනවා.

ඊයේ (18) දිනයේ ඔවුන් අත් අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම යන කාරණා මූලික කර ගනිමින් ෴


අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියේ ජල නල ගිනි ගනී

(19.05.2023 – 19:43 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (20) දිනයේ දී විවෘත කිරිමට තිබු අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් ජල නල විශාල ප්‍රමාණයක් හදිස්සියේ ගිනි ගැනිමකට ලක්ව ඇති බව වාර්තා වනවා.

අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බට තොගයක් එහි තිබූ බව ඉංජිනේරුවන් පවසනවා.

මෙම ජල නල අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ ගබඩා කර තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන අතර අරණායක අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් සියලුම ජල නල මෙහි තිබු බවත් වාර්තා වනවා.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලීසිය පරීක්ෂණ සිදුකරයි ෴

+


සිමෙන්ති කම්හලේ යකඩ සොරකමට අනුබල දුන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට

(19.05.2023 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලෙහි යකඩ සොරකම් කිරීමට ආධාර අනුබල දුන් යුද හමුදා සෙබළකු කන්කසන්තුරේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යකඩ ටොන් එකකට (1) ආසන්න ප්‍රමාණයක් සොරාගත් සැකකරුවන් පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනේ පසුගිය 16 වැනිදා යි.

ඔවුන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම යුධ හමුදා සෙබලා ගැන අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් ගත් හමුදා සෙබලා අද (19) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා ෴


කුරුණෑගල සිදුවීමේ දරුවාට ලිංගික අතවර සිදු වී නැහැ පොලීසිය කියයි

(19.05.2023 – 20:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේ දී බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වී ඇති බව පවසමින් පුවතක් වාර්තා වුණා.

එහි දී අතරමං වී පාර ඇසූ දරුවාට මූල්‍යායතනයක පිරිසක් ලිංගික අතවර කළ බවට ප්‍රචාරය වූ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව හෙළිවී තිබෙනවා.

පොලීසිය පවසන්නේ ලිංගික අතවර චෝදනා එල්ල කළ දරුවා මානසික ආබාධයකින් පෙළෙන අයෙක් යැයි හෙළිවී ඇති බවයි.

දරුවා කිසිඳු ලෙසකින් ලිංගික අපයෝජනයකට ලක්වී නොමැති බවත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවෙක් පෙරේදා, එනම් 17 වනදා නිවසින් පිටත්ව කුරුණෑගල ප්‍රදේශයට පැමිණ තිබුණා.

පසුව එම දරුවා යළි බස් රථයකට ගොඩවී ඇත්තේ නිවසට යාමේ අපේක්ෂාවෙන්.

දරුවා වැරදි බස් රථයකට ගොඩවී ඇති අතර ඒ බව අවබෝධකරගත් කොන්දොස්තර මහතා දරුවාට උපදෙස් දී ඇත්තේ බස් රථයෙන් බසින ලෙසයි.

ඒ අනුව ඔහු යන්තම්පලාව ප්‍රදේශයේදී බස් රථයෙන් බැස ඇති බවයි පොලීසිය පවසන්නේ.

පසුව, එම ප්‍රදේශයේ මහ මඟ ගමන් කරමින් සිටි දරුවා එම ප්‍රදේශයේ මූල්‍යායතනයක් වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අලෙවියට තබා තිබූ යතුරුපැදි කිහිපයක් නෙත ගැටී, තමාට යතුරුපැදියක් මිලදී ගැනීමට අවැසි බව පවසමින් පස්වරු 05:30 ට පමණ එම ආයතනය තුළට යන ඔහු නිලධාරීන් ද සමග යතුරුපැදි පරික්ෂා කරන ආකාරය CCTV කැමරාවල සටහන්වී තිබෙනවා.

මෙම දර්ශනයේ දැක්වෙන පරිදි ඔහු යතුරුපැදියකට නැඟ එය පණගන්වා හිස් ආවරණයක් ද පැළඳ එය ධාවනය කරන්නට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මූල්‍ය ආයතනයේ නිලධාරීන්ට මොහු පිළිබඳ සැකයක් මතුවී ඇත්තේ ඔහුගේ හැසිරීමේ යම් අසාමාන්‍ය බවක් දක්නට ලැබීමෙන්.

පසුව ආයතන නිලධාරීන් සිය ආයතන පරිශ්‍රයෙන් දරුවා පිටත්කර හැර තිබුණා.

ඉන් අනතුරුව පස්වරු 6 ට පමණ නගරයට පැමිණි දරුවා මහ මඟ සිටි පිරිසකට පවසා ඇත්තේ මුල්‍ය ආයතනයේ පිරිසක් තමාට ලිංගික අපයෝජනයට ලක් කළ බවය.

දරුවාගේ එම ප්‍රකාශයෙන් ප්‍රකෝපවූ පිරිස් එම මුල්‍ය ආයතනයට ඊයේ (18) කඩාවැදී ඇති අතර එහිදී ඇතිවී තිබුණේ දැඩි නොසන්සුන් තත්ත්වයක්.

කුරුණෑගල පොලීසියේ නිලධාරීන් ද එහිදී එම පරිශ්‍රය තුළට පැමිණ ඇති අතර ඒ අනුව ඔවුන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ දරුවා සිය භාරයට ගන්නා පොලිස් නිලධාරීන් දරුවා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවාට කිසිඳු අයුරක ලිංගික හිරිහැර හෝ අතවරයක් සිදුවී නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *