දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට

දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට


දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට

(18.05.2023 – 8:13 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 9 ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙකුට වධහිංසා කළ මවක් පෑලියගොඩ පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මව රැකියාවට ගොස් නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා (2) ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තැබීම හා දරුවන්ගේ අධ්‍යාපනය, පෝෂණය සම්බන්ධයෙන් සොයා නොබලා දරුවන්ව කෲරත්වයට පත් කිරීම යන චෝදනායි මවට එල්ල වී ඇත්තේ.

සැකකාර මව වයස අවුරුදු 26 ක් වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මව සහ දරුවන් දෙදෙනා (2) වනවාසල පාර, තොරණ හන්දිය, කැලණිය යන ලිපිනයේ තාවකාලික කුලී පදනම මත නිවසක රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

දරුවන් දෙදෙනා (2) මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකාර මව අද (18) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කැළණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්

(18.05.2023 – 06:39 +0530 – hirunews.lk/sinhala)

වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී, කැළණි ගං ඉවුරේ පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු උස අඩි 05 අඟල් 06 ක් වූ පුද්ගලයෙක්. කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇත.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා ෴


පෑලියගොඩ දී මාරක රිය අනතුරක්

(18.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

පැලියගොඩ පොලිස් වසමේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ බුළුගහ හන්දිය ප්‍රදේශයයේ දී කිරිබත්ගොඩ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එක්වරම මාර්ගයේ යූ හැඩයට හැරවීමට යාමේ දී එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක හා මෝටර් රථයක් ගැටී අනතුරුව යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ලොරි රථයේ බඳෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු හා පසුපැදිකාරියව සිටි ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 38 ක් වන කඩවල, දූනගහ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරිනියක් ෴


නිවසක් බිඳ රන් භාණ්ඩ හා දේපළ සොරකම් කරයි

(18.05.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කර ඊයේ (17) දින උදෑසන කාලයේ මීගොඩ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 35 යන වයස් වල පසුවන පාදුක්ක රඹුක් පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද රන් මාලයක්, ශිතකරණයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, කවිච්චි පුටුවක්, තණකොළ කපන මැෂිමක් ඇතුළු දේපල සොයා ගෙන තිබෙනවා.

එහි දී රුපියල් 764,000 ක් වටිනා රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (18) දින හෝමාගම ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් (4) තුනක්ම (3) ඉල්ලා අස්කරගනී

(18.05.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් (4) තුනක්ම (3) ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ නීතිපතිවරයා විසින් අද (18) සිඩ්නි අධිකරණයේ දී මෙම චෝදනා ඉල්ලා අස්කරගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 05 වැනිදා රාත්‍රියේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබුණා.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට මෙලෙස චෝදනා එල්ල වූයේ.

ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී තිබුණා ෴


වසර 13 ක අතිකාල දීමනා නොලැබීම හේතුවෙන් පුද්ගලයෙක් සියදිවි නසා ගනී

(18.05.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

වසර 13 ක් සේවය කළ ද එකඳු මාසයකවත් අතිකාල දීමනාවක් නොලැබීම හේතුවෙන් ඉතාමත් කණාගාටුවෙන් දැනුම් දෙමි යයි ලිපියක් ලියූ කැස්බෑව මාකන්දන සමුපාකාර මල් ශාලාවේ කළමනාකරුවෙකුගේ සිරුර මල් ශාලාව පිටුපස කොටසේ එල්ලෙමින් තිබිය දී ඊයේ (17) දින සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසා සිටිනවා.

සිද්ධියෙන් මියගොස් තිබුණේ පිළියන්දල බෝකුන්දර විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රාදේශීය කළමනාකරු ලෙස සේවය කළ පහල කෑගල්ල විල්ගමුව පදිංචිව සිටි ඩි.කේ. කිත්සිරි නැමති 64 හැවිරිදි පුද්ගලයෙක්.

මල් ශාලාවේ හි රියැදුරකු ඊයේ (17) පෙරවරුවේ සේවය සඳහා පැමිණි අවස්ථාවේ දී කළමණාකරු ලෙස සේවය කළ මියගිය පුද්ගලයාගේ සිරුර පිටුපස කොටසේ බාල්කයක ලණුවකින් එල්ලෙමින් තිබිය දී දැක තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කැස්බෑව පොලීසිය කළමණාකරු ලියූ බවට සැකකරන ලිපිය මේසයක් මත තිබී සොයා ගෙන තිබෙනවා.

සාමාන්‍යාධිකාරිවරයා අමතා ලියූ ලිපියේ මෙසේ ද සඳහන් :

“මා හට පඩි වැඩි කරන ලෙස ලිපියකින් දැනුම දුන්නත් ඒ ගැන දෙපාර්තමේන්තුව නොසලකා හැරීම ගැන මා කනගාටුවට පත් වෙනවා. නමුත් මගේ සේවා කාලයේ උදේ 8 සිට සවස 5 දක්වා නමුත් පැය 24 ක සේවා කාලය තුළ මුර වැටුපත්, රිය සහයක වැටුපත් සහ කම්කරු වැටුපත් නොමැතිව වසර 13 ක් ඉක්මවා සේවය කර වැරැද්දක් සිදු වූ විට එය පසුපස ආවා මිස මා හට වූ අසාධාරණය ගැන සෙවීමට අපෝසත් වීම ගැන ඉතාමත් කනගාටුවට පත් වෙනවා. ස්තුතියි. මෙයට කළමනාකරු කිත්සිරි” යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මරණය සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටද නියමිතයි ෴


වාණිජ බැංකු වෙත දැනුම්දීමක්

(18.05.2023 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ‘ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වාගෙන යාම’ සඳහා මෙතෙක් ලබා දුන් නියෝග වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්කර ගන්නා බව මහ බැංකුව පවසනවා.

ඒ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත බලපැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කරමිනුයි.

කෙසේ වෙතත්, මෙසේ මහ බැංකුව හකුලා ගනු ලබන්නේ, 2022 මැයි 19 සහ 2023 පෙබරවාරි 16 දිනැති ‘ණයවර ලිපිවලට එරෙහිව මුදල් ආන්තික තැන්පතු අවශ්‍යතා පවත්වා ගැනීම’ සම්බන්ධයෙන් පෙර නිකුත් කළ නියෝගයන් බවටයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


සරසවි ඇදුරන් ජනපති හමුවේ

(18.05.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මෙම සාකච්ඡාවට තම නියෝජිතයන් දොළොස් (12) දෙනෙකු සමඟ එක්වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සඳහන් කළේ.

මෙහිදී බදු ප්‍රතිපත්ති සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති අතර විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මතුව ඇති ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට නියමිත බවයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එච්.එස්.කේ. බන්නැහැක සඳහන් කළේ.

රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත් වීමට පසුගියදා කටයුතු කළා.

ඊට උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණයද ඇතුළත් වුණා.

මේ නිසා උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු දින 60 කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබුණා.

පසුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබාදීමට පොරොන්දු වීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 17 වනදා සිට ඔවුන් අධ්‍යයන කටයුතු වලට එක්වූ අතර ඉන් අනතුරුවයි උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු ක්‍රමානුකූලව ආරම්භ කෙරුණේ.

එම පොරොන්දුවට අනුවයි අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ෴


‘හෙද දිනය’ වෙනුවෙන් පැවති උත්සවයේ දී නරක් වූ ආහාර ලබා දෙයි

(18.05.2023 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් ඊයේ (17) දින පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවැති ජාතික උත්සවයේ දී පැමිණ සිටි පිරිසට ලබාදුන් කෙටි ආහාර නරක් වී තිබීම සම්බන්ධයෙන් උත්සවයට සහභාගි වූ පිරිස් සංවිධායකයන්ට දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.

ජනතා සෞඛ්‍යයේ වටිනාකම දන්නා පිරිසක් සංවිධානය කළ උත්සවයක දී සෞඛ්‍ය ගැටලු ඇතිවීමට තුඩු දෙන ආහාර ලබාදීම සුළුවෙන් තැකිය හැකි වරදක් නොවන බවද එම පිරිස සංවිධායකයන්ට පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ මෙම කෙටි ආහාර කෑමට ගැනීමට නොහැකි බව පවසා පැමිණ සිටි පිරිස ඒවා කුණු කූඩයට දමා පිටව එද්දී සංවිධායක හෙද මහත්වරු පිරිසක් තත්ත්වය සාමකාමී අතට පත් කර ගැනීමට දැඩි උත්සාහ දරා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද සේවා සම්බන්ධ අධ්‍යක්ෂ එම්.බී.සී. සමන්මලී, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරු, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, රෝහල් අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ දෙදහසක් (2000) පමණ පිරිසක් මෙම උත්සවයට සහභාගි වුනා.

උත්සවයට පැමිණි සුළු පිරිසක් ඇමැතිවරයා පැමිණෙන්ට පෙර පෙරවරු 09:00 ට පමණ උදෑසන ආහාර ලබාගෙන තිබෙනවා.

මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට ආහාර ලබාදී තිබෙන්නේ පෙරවරු 11:00 ට පමණය.

මාධ්‍යවේදීන්ට ලබාදුන් ආහාර පැකට් විවෘත කරන අවස්ථාවේ දැඩි දුර්ගන්ධයක් ඉන් වහනය වූ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී මහනුවර ජාතික රෝහලේ උසස් හෙද නිලධාරියකු සඳහන් කළේ එය සුළු අත්වැරදීමක් බවයි.

මේ සම්බන්ධයෙන් අදාළ හෝටලයට පැමිණිලි කිරීමට එම අවස්ථාවේ කිසිවකු හෝ කටයුතු නොකළ අතර නරක් වූ ආහාර සම්මන්ත්‍රණ ශාලාවේ සේවිකාවන් යොදවා කඩිමුඩියේ ඉවත් කරන ආකාරයද දැක ගැනීමටද හැකි වී තිබෙනවා.

මෙම අවස්ථාවේ තවත් ආහාර පාර්සල් විශාල සංඛ්‍යාවක් එම ස්ථානයේ ගොඩගසා තිබූ අතර සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සිටින නිලධාරීන්ම මේ ආකාරයෙන් සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර උත්සවයේ ආරාධිතයන්ට ලබාදීමට උත්සාහ කිරීම පිළිබඳව කනගාටු වන බවයි හෙද සේවා භාර සෞඛ්‍ය අධ්‍යක්ෂ සමන්මලී සඳහන් කර තිබෙන්නේ.

ජාත්‍යන්තර හෙද දිනයට සහභාගි වූ ඇතැම් පිරිස් සඳහන් කළේ මෙම ආහාර නරක් වී ඇති බව දැන දැනම ආරාධිත අමුත්තන්ට ලබාදීමට සංවිධායකයන් කටයුතු කළ බවයි ෴


අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට බලය

(18.05.2023 – 10:34 +0530 – hirunews.lk/sinhala)

සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට කෝප් කමිටුව මගින් බලය පවරා තිබෙනවා.

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන කෝප් කමිටුව හමුවට පාර්ලිමේන්තුවේදී කැඳවීමෙන් අනතුරුවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මෙම නියෝගය සිදුකර ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික තරුණ සේවා සභාව සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුළු මීට අදාළ ආයතනවල ප්‍රධානීන් මෙම කෝප් කමිටු රැස්වීම සඳහා සහභාගිවූ බවයි.

එම ආයතන පද්ධතිය සතුව කිසිදු පිළිගත හැකි දත්ත පද්ධතියක් නොමැති වීමද ගැටලුවක් බව මෙහිදී අනාවරණය වුණා.

මෙම ආයතන මගින් සිදුකරන පාඨමාලාවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව, සාර්ථකව පුහුණුව අවසන් කරන්නන් රැකියාවල නිරතවන සංඛ්‍යාව වශයෙන් විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

රැකියා වෙළඳපළ ඉලක්ක කරගෙන විද්‍යානුකූල පදනමක් යටතේ පාඨමාලා සිදුකළ යුතු අතර ඒ සඳහා වෙළදපළ සමීක්ෂණයක අවශ්‍යතාවයද කෝප් කමිටුවේ අවධාරණයට ලක්වුණා ෴


කොස්ලන්දේ ගන්ජා හේනක් වටලයි

(18.05.2023 – 11:40 +0530 – hirunews.lk/sinhala)

කොස්ලන්ද ප්‍රදේශයට අයත් බලහරුව මව්ආර ප්‍රදේශයේ පර්චස් 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ වගාකර තිබු අඩි 6 කට වඩා උසින් යුත් ගන්ජා ගස් 225 ක ප්‍රමාණයක් හපුත්ලේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ගන්ජා ගස් එම වගා භූමිය තුළ දී පුලුස්සා විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉදිරි නීතිමය කටයුතු සඳහා කොටසක් කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත යවා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *