ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි

ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි


ළමයින් පැහැර ගැනීමට පැමිණි බව සිතා උතුරේ වැසියන් නාදුනන පුද්ගලයන්ට පහරදෙයි

(17.05.2023 – 20:29 +0530 – hirunews.lk/sinhala)

උතුරේ ප්‍රදේශ කිහිපයක ළමයින් පැහැරගන්නා බවට වාර්තා පළවීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ තත්ත්වයක් පවතින බව පොලිසිය පවසනවා.

එවැනි සිද්ධියක් කිලිනොච්චිය – භාරතීපුරම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසින් වෑන් රථය ලුහුබැඳගොස් එහි සිටි පුද්ගලයින්ට පහරදී ඔවුන් පොලිසිය වෙත භාර දී තිබෙන බවයි වාර්තා වී ඇත්තේ.

ඒ අනුව වෑන් රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඔවුන් භාණ්ඩ අලෙවිය කිරීම සඳහා පැමිණීමේදී ප්‍රදේශවාසින් මෙලෙස පහරදී ඇති බවයි.

එමෙන්ම යාපනය – නාවන්තුරෛයි ප්‍රදේශයේ දී සැක කටයුතු පුද්ගලයෙකු ළමයින් පැහැරගැනීමට උත්සහ දරා ඇති බව පවසමින් ඔහුට පහරදී වවුනියාව පොලිසිය වෙත භාර දී තිබෙනවා.

එහිදී ද අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යම් මානසික අබාධයකින් පෙළෙන අයෙකු බවටයි.

මීට පෙර මන්නාරම ප්‍රදේශයේ පාසල් ළමයින් පැහැර ගැනීමේ උත්සහයක් ගැන වාර්තා වූ අතර පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආකර්ෂාවද එම ප්‍රදේශවලට යොදවා තිබුණා.

+


ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි – ජනාධිපති

(17.05.2023 – 19:07 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ අද (17) දින ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී මෙම අදහස් පලකළ බව‍යි ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බවයි.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට පසුගිය කාලයේ අමාත්‍යාංශවලට සිදු වුණා. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.
දේශපාලනඥයින්, පරිපාලන නිළධාරින් අප සියලුදෙනා ඊට පිළිතුරු දිය යුතුයි. වුණ දේ වුණා. නමුත් මෙය අපට ආපසු හැරවිය හැකියි.
1977 දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10 ක් යනකොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාරගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.”

ප්‍රධාන කාර්යයක් වන්නේ රජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එමෙන්ම සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහය ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා ඉලලා සිටිනවා.

පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඒත් සමඟම ඉදිරියට යා යුතු බවයි ජනාධිපතිවරයා පෙනවා දෙන්නේ.

ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයක් බවත් ඉන් පසුව එම ණය ආපසු ගෙවන්නේ කෙසේදැයි කියා අවධානය යොමු කළයුතු බවත් ජනාධිපතිවරයා පෙනවා දෙනවා.

ඒ සඳහා සීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යාම මෙන්ම ඒ සදහා 2048 වසර ඉලක්ක කරගෙන තිබෙන බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතු බවත් එයින් ජනතා මුදල් අපතේ යාම පමණක් සිදු වූ බවයි පෙනවා දෙන්නේ.

රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණ බවයි මෙම අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත්තේ.

+


ඩෙංගු අවදානම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

(17.05.2023 – 22:53 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළේ දින දෙකකට (2) වඩා උණ පවතින්නේ නම් දරුවන් අනිවාර්යයෙන් ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

මේ අතර අදත් දිවයිනේ විවිධ ස්ථානවල ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කෙරුණා.

පසුගිය සතිය තුළ පමණක් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2000 ක් වන අතර ඉන් 50% කට අධික සංඛාවක් වාර්තා වුණේ බස්නාහිර පළාතෙන්.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

පසුගිය දිනවල පැවැති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ආරම්භ වූ ඩෙංගු රෝගය මේ වන විට අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසන්නේ .

මේ අතර බස්නාහිර පළාතේ දූමායනය ඇතුළු ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වූ අයුරුයි.

මේ අතර කළුතර , බණ්ඩාරගම ඇතුළු ප්‍රදේශ කිහිපයක නිවෙස් සහ අනෙකුත් ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන පරීක්ෂාවක් අද (17) පැවැත්වුණා.

එහිදී ඩෙංගු කීටයින් බෝ වන ස්ථාන හමුවූ දේපළ හිමි කරුවන්ට දැඩි අවවාද කළ අතර දඩ මුදල් අය කිරීමට ද පියවර ගැණුනා.

පළමුවැනි සැරේ නිසා අපිට පුළුවන් මේකට ස්ථානීය දඩයක් නියම කරන්න. මේ තියෙන සෑම දෙයකටම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබතුමා දන්නවා මේ වන විට දැනට බස්නාහිර පළාත තුළ 30,000 ට අධික රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. මරණ 22 යි.

මේ අතර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 13 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඊයේ (16) දිනය තුළ එම රෝගීන් වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් කොවිඩ් මරණ කිසිවක් ඊයේ (16) දිනය තුළ වාර්තා වී නැහැ.

+


දේවගැති ජෙරම් ප්‍රනාන්දු සහ ඔහුගේ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ගැන බරපතල අනාවරණයන් රැසක්

(17.05.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිඳියාවට බලපෑම් එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගත් නමුත් ඔහු ඒ වනවිටත් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණා.

කෙසේවෙතත්, දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමන් ලබන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බවයි.

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග එය රට තුළ දැඩි කතාබහට ලක්වුණා.

ඒ අදාළ ප්‍රකාශය මගින් බුදුන් වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන බවට විවිධ පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි.

කෙසේවෙතත්, ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා කතෝලික සභාවට කිසිදු ලෙසකින් සම්බන්ධ පුද්ගලයෙකු නොවන බවත් ඔහුගේ ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවා.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව විවිධ සංවිධාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකළ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කළා.

ඒ අනුව, ඊයේ (16) පස්වරුවේ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා රටින් පිටවීම වළක්වාලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ද ලබා ගත්තා.

කෙසේවෙතත්, ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පෙරේදා (15) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවයි ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත්, දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පණිවුඩයක් තබමින් පවසා ඇත්තේ, තමන් ලබන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බවයි.

“හෙලෝ ෆැමිලි, ඔබ සියලුදෙනා දන්නා පරිදි මම දැනට නිල කටයුතු සඳහා ගමන්කරමින් සිටින අතර, ඉරිදා යළි නිවසට පැමිණෙමි” යන්න ඔහු සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළකර තිබූ පණිවුඩයයි.

මේ අතර, දේවගැති ජෙරම් ප්‍රනාන්දු පසුගිය ජනවාරි මාසයේ ඔහුට අයත් කටුනායක ‘මිරැකල් ඩෝම්’ ශාලාවේ පැවති දේවමෙහෙයන් සඳහා අවස්ථා කිහිපයකදීම සිම්බාබ්වේ දේශයෙන් දේවගැතිවරයෙකු ගෙන්වාගෙන තිබෙනවා.

44 හැවිරිදි වියේ පසුවන ‘ඌබට් ඒන්ජල්’ නම් මෙම දේවගැතිවරයා සිම්බාබ්වේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ද කටයුතුකර ඇති බවයි වාර්තා වන්නේ.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය ගුරුවරයා සහ ආධ්‍යාත්මික ශාස්තෘවරයා ලෙස හඳුන්වන්නේ මෙම ඌබට් ඒන්ජල් නම් සිම්බාබ්වේ ජාතික දේවගැතිවරයාවයි.

කෙසේවෙතත්, ඌබට් ඒන්ජල් නම් මෙම දේවගැතිවරයා මහා පරිමාණ රත්‍රං ජාවාරමකට සම්බන්ධ බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පසුගිය මාසයේදී ‘අල්ජසීරා පුවත් සේවය’ කළ විමර්ශනයකදී මේ බව අනාවරණ වී තිබූ අතර, එම අනාවරණයට අනුව ඌබට් ඒන්ජල් නමැති දේවගැතිවරයා රත්‍රං ජාවාරම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් විශුද්ධිකරණයකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ .

ඌබට් ඒන්ජල් සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනන්ගාවාගේ සමීපතමයෙකු ද වන බවත්, ඔහු එරට රජයේ විශේෂ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තර මට්ටමේ රන් ජාවාරම් සහ මූල්‍ය විශුද්ධිකරණයේ යෙදෙන ආකාරයත් අල්ජසීරා පුවත් සේවය ගවේෂණාත්මකව වාර්තාකර තිබුණා.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හා සිම්බාබ්වේ ජාතික දේවගැති ඌබට් ඒන්ජල් අතර ඇති සම්බන්ධය පිළිබඳව ද විමර්ශනය කළයුතු බවත් ඔහුව මෙහෙයවන බලවේග පිළිබඳවද සොයා බැලිය යුතු බවටත් විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ ඒ අනුවයි ෴

+++++++++++

ජෙරොම් දේවගැතිවරයා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

(17.05.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මේ අතර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එළැඹෙන ඉරිදා දින යළිත් දිවයිනට පැමිණෙන බවයි.

ඔහු විසින් බුදුන්වහන්සේට සහ අනෙකුත් ආගමික විශ්වාසයන්ට නිගරුවන අයුරින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

එවන් පසුබිමක ඔහුගේ මෙම ප්‍රකාශ පිළිබඳ විවිධ සංවිධාන සහ පුද්ගලයින් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ද ගොනු කළේ විමර්ශන සිදුකරන ලෙස ඉල්ලමින්.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් ලබාදී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට දැනුම් දෙන ලෙසයි.

කෙසේ වෙතත් කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *