දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට


දැරියක අපයෝජනය කළ වල්සාදුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

(17.05.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේ විහාරස්ථානයක ලැග සිටි වල්සාදුවෙක් විසින් 11 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අදාළ වල්සාදු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අපයෝජනයට ලක්වූ දැරියගේ මව සමඟ අනියම් සම්බන්ධයෙන් පවත්වා ඇති 62 හැවිරිදි අදාළ වල්සාදු ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ දී දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

36 හැවිරිදි දැරියගේ මව විසින් එම ස්ථානයට දැරිය රැගෙන ගොස් ඇති අතර එහි දී මවට අධික ලෙස මත්ද්‍රව්‍ය ලබා දී නිදාගැනීමට සලස්වා දැරිය අපයෝජනය කර තිබෙනවා.

දින දෙකක් (2) මෙලෙස දැරිය අපයෝජනයට ලක් වී තිබුණ ද මව විසින් දැරියට මෙම සිද්ධිය කිසිවෙකුට නොපවසන ලෙස තර්ජනාත්මකව බැන වැදී තිබෙනවා.

කෙසේ වෙතත් 11 හැවිරිදි දැරිය සිය පියාට හා මිත්තණියට සිද්ධිය පැවසීමෙන් පසු පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුවයි ‘ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය’ අදාළ වල්සාදු සහ සිද්ධියට අනුබලදුන් මව අත්අඩංගුවට ගනු ලැබුවේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාර වල්සාදු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, මව ඇප මත නිදහස් කර තිබෙනවා ෴


අතුරුදන් ධීවරයින් 39 දෙනා සොයන්න චීනය ශ්‍රී ලංකාවෙන් සහය ඉල්ලයි

(17.05.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියන් සාගරයේ අනතුරට ලක්වූ චීන යාත්‍රාවේ සිටි ධීවරයින් 39 දෙනා සෙවීම සඳහා චීනය, ශ්‍රී ලංකාවෙන් සහය ඉල්ලා තිබෙනවා.

අද (17) පෙරවරුවේ මෙම බහුදින ධීවර යාත්‍රාව අනතුරට ලක්ව ඇති අතර, අතුරුදන්වූ ධීවරයින් අතරට චීන ජාතිකයින් 17 ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 17 ක් සහ පිලිපීන ජාතිකයින් පස්දෙනෙකු (5) අයත්.

ඔවුන් සෙවීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඔස්ට්‍රේලියාව, මාලදිවයින, ඉන්දුනීසියාව, පිලිපීනය ඇතුලු රටවලින්ද චීනය මෙලෙස සහය ඉල්ලා ඇත්තේ එරට ජනාධිපති ෂී ජින්පින්ගේ උපදෙස්වලට අනුවයි ෴


මහනුවර ප්‍රදේශයේ රිය අනතුරකින් පියා සහ පුතු ජීවිතක්ෂයට

(17.05.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශයේ ඊයේ (16) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පියෙකු සහ පුතෙකු බවයි සඳහන් වන්නේ.

මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු පැදවූ ජිප් රථයක ගැටී මොවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්‍රික සම්පත් රුද්‍රිගු (41) සහ විමන්ත රුද්‍රිගු (10) වන අතර කිසියම් අවශ්‍යතාවයක් සඳහා පියපුතු දෙදෙනා (2) මාර්ගය හරහා ගමන් ගනිද්දි මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (17) දිනයේ මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


යුද හමුදා හතරවන (4) කාන්තා බලකායේ සෙබළියන් පිරිසක් උද්ඝෝෂණයක

(17.05.2023 – 11:28 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා හතරවන (4) කාන්තා බලකායේ සෙබළියන්ට ලබාදුන් ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලා එම බලකායේ සෙබළියන් සහ පනහකට (50) ආසන්න ඔවුන්ගේ ඥාතීන් ප්‍රමාණයක් කොකාවිල් 4 වන කාන්තා බළකා කඳවුරේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඊයේ (16) උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

එම කඳවුරේ රාජකාරි කරන යුදහමුදා කාන්තා සෙබලියන් 104 දෙනෙකුට වවුනියාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරකට ලබාදුන් ස්ථාන මාරුවීම් අවලංගු කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පවත්වා තිබෙනවා.

පැය දෙකක (2) පමණ කාලයක් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බව මාන්කුලම් පොලිසිය සඳහන් කළා ෴


රුමේනියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

(17.05.2023 – 11:34 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා සඳහා යවන බව පවසා මුදල් වංචා කළ බව කියන පිරිසට අයත් මුන්දලම ප්‍රදේශයේ කාන්තාවක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අදාළ කාන්තාව විදේශගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇය හඳුනාගෙන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත භාරදී ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින්.

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසමින් කුරුණෑගල ප්‍රදේශයේ විදේශ නියෝජිතායතනයක සේවය කරමින් රුපියල් ලක්ෂ 1 කට අධික මුදලක් ලබාගත් අත්අඩංගුවට ගත් කාන්තාව සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට (2) එරෙහිව කාර්යාංශයට පැමිණිලි 48 කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

අත්අඩංගුවට පත් කාන්තාව සහ අනිත් දෙදෙනා (2) රුමේනියාවේ හෝටලයක මාසික වැටුප රුපියල් ලක්ෂ 2 ක රැකියාවක් ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා ඇති බව සඳහන්.

සැකකරු මීට මාස කිහිපයකට පෙර මැලේසියාවට ගොස් ඇති අතර, ඔහු ඊයේ (16) යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර කාන්තාව එදින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, සැකකාරිය රුපියල් ලක්ෂ 3 ක ශරීර ඇප දෙකක් (2) සහ රුපියල් 10,000 ක මුදල් ඇප දෙකක් (2) මත මුදාහැරීමටත්, නඩුව සැප්තැම්බර් 06 වැනිදා විභාගයට ගැනීමටත් විනිසුරුවරයා නියෝග කළා ෴


අලුත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකුට (3) ජනපති අතින් පත්වීම්

(17.05.2023 – 11:39 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයාගේ නියමය පරිදි එම ධුරවලින් ඉවත් කෙරුණා.

පුරප්පාඩු වු එම තනතුරු සදහායි නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණේ. ඒ අනුව අද (17) පෙරවරුවේ ජනාධිපති රනිල් විකමසිංහ මහතා ඉදිරියේදී උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ ‍පී.එස්.එම්. චාල්ස් මහත්මිය යි. ඇය මිට පෙරද උතුරු පළාත් ආණ්ඩුකාරධුරයේ කටයුතු කර ඇති අතර ඇය මැතිවරණ කොමිසමේ සාමාජිකාවක ලෙසද කටයුතු කළා.

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණේ සෙන්දිල් තොන්ඩමන් මහතා යි. සෙන්දිල් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නායකයා වන අතර ඌව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද ඔහු කටයුතු කළා. ඔහු සැළකෙන්නේ මෙරට ආණ්ඩුකාර ධුරයකට පත් වූ පළමු ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයා ලෙසයි.

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණේ හිටපු අමාත්‍යවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා යි. මේ අතර වයඹ පළාත් නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හුනුපිටිය ගංගාරාම විහාරස්ථාකයට ගොස් ආශිර්වාද ලබා ගත්තා.

නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පත්වු සෙන්දිල් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීය.

+


ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

(17.05.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායන ශිල්පී ටෝනි හසන් අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළක සිට අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියයනවිට 73 වන වියේ පසුවූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) පස්වරුවේ මාළිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.

ගායන ශිල්පී ටෝනි හසන්ගේ දේහය මේ වනවිට දෙමටගොඩ මල්ලිකාරාම මහල් නිවාස මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා ෴

+++++++++

Sujatha Aththanayaka and Tony Hassan – Best Songs Collection (17.05.2021)

+


වන අලි ප්‍රහාරයකින් එක් දරු මවක් ජීවිතක්ෂයට

(17.05.2023 – 12:37 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර තලාව, ඉහළ වැව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් එක්(1)දරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එසේ මියගොස් ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු මවක් බව සඳහන්.

දරුවන් බලාගැනීම එම කාන්තාවගේ රැකියාව වන අතර ඇය අද (17) උදෑසන 06:30 පමණ තම රැකියාව සඳහා නිවසින් පිටව ගොස් තිබුණු අතර අනුරාධපුර තලාව ප්‍රධාන මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉහළ වැව ප්‍රදේශයේදී ඇය මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එහිදී එම කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ ෴


රුපියල තවදුරටත් ශක්තිමත්

(17.05.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අද (17) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42 යි; විකුණුම් මිල රුපියල් 316.18 යි ෴


මාතර – අකුරැස්ස මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට

(17.05.2023 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ගංවතුර තත්ත්වයත් සමඟ අවහිර වූ මාතර – අකුරැස්ස ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා මේ වන විට විවෘත වී තිබෙනවා.

පරදූව – කඳවල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට තිබුණා.

කෙසේ වෙතත් අකුරැස්ස – මාලිම්බඩ, අතුරලිය යන ප්‍රදේශවල පහත්බිම්වල තවදුරටත් ජලය රැදී පවතිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *