කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර

කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර


කෘත්‍රීම බුද්ධියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර

(16.05.2023 – 17:01 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර අධ්‍යාපනයේ මට්ටමට සමගාමී ව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද නගා සිටු වීමේ අරමුණින් තොරතුරු තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය යන විෂයන් 2024 වර්ෂයේ සිට 6-9 දක්වා සහ 10-13 දක්වා ශ්‍රේණිවල සිසුන්ට ඉගැන්වීම ආරම්භ කර තිබෙනවා.

ජුනි මස අග දී තෝරාගත් පාසල් 20 ක මෙය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය දිනය අනුස්මරණය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබූ රචනා තරගයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එමෙන් ම මෙම නව විෂයන් ඉගැන්වීමට අමතර ව ශිෂ්‍ය ප්‍රජාව අතර ඉංග්‍රීසි භාෂා භාවිතය වඩාත් පුළුල් ව ප්‍රචලිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී ඒ තත්වය තව දුරටත් ප්‍රවර්ධනය කරන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

2023 පාසල් අධ්‍යයන වර්ෂාරම්භයේ දී ම දීපව්‍යාප්ත ව පළමු (1) ශ්‍රේණියේ සිට දරුවන්ට සෑම පාසලක ම ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස කථන භාවිතයෙන් ආරම්භ කළ බවත් සාම්ප්‍රදායික ලෙස 3 වන ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විෂයක් ලෙස ඉගෙනීමේ දී සබකෝලය වැනි හේතු නිසා ඒ සඳහා පවතින උද්‍යෝගය සිසුන් අතර හීන වීමේ ප්‍රවණතාවක් පිළිබිඹු වන බවත් ඔහු පවසා තිබෙනවා.

මෙරට සිසුන් අතර බොහෝ විට ඉංග්‍රීසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත හා වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණ ද ඉංග්‍රීසි බසින් යමක් අන්‍යයන්ට පහදා දීමේ දී දක්වන දුර්වල භාවය මෙම වැඩ සටහන් ක්‍රියාවට නැංවීම මගින් වළක්වා ගැනීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

තවද සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්නා සංකල්පමය දැනුම පන්ති කාමරයේ දී මෙන්ම ඉන් බාහිරවද ප්‍රායෝගික භාවිතයට මුසු කරගන්නා ආකාරය ‘ස්ටීම් අධ්‍යාපනය’ ඔස්සේ පාසල් දරුවන්ට ලබා දීමට අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය පාසල් පද්ධතිය තුළ ක්‍රියාවට නැංවීම ඔස්සේ බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය හා කලාව යන විෂය මූලික කරගෙන ස්ටීම් අධ්‍යාපනය (STEAM – Science, Technology, Engineering, Arts, Mathematics) ක්‍රියාත්මක කිරීම මගින් විභාගවලට දිගු කලක් පීඩාකාරී ලෙස සූදානම් වෙමින් වෙහෙසීමට අවශ්‍ය නොවේ.

වර්ෂ අවසාන විභාගවලට වැඩි ලකුණු ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය නොවන බවත් එදිනෙදා පන්ති කාමරය තුළ සිදු කෙරෙන ‘ප්‍රායෝගික මොඩ්‍යුලර් ක්‍රමවේදය’ හරහා වැඩි ලකුණු ප්‍රමාණයක් සිසුන්ට පහසුවෙන් ලද හැකි බවත් හෙතෙම පවසා තිබෙනවා ෴


මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිසියේ රාජකාරියට,බාධා කළා යැයි වෙඩි

(16.05.2023 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – පෙරියකාර්සල් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය නිළධාරීන්ට පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකුට පොලිසිය වෙඩි තබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 25 හැවිරිදි එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

පෙරියකාර්සල් ප්‍රදේශයේ නිවසක ‘අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක්’ සිදු කරන බවට ලද තොරතුරකට අනුව පොලිසිය ඊයේ (15) වැටලීමක් සිදු කර තිබුණා.

එහි දී එක් (1) පුද්ගලයෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් 2 ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි තවත් පුද්ගලයෙකු (1) ඊට විරෝධය පා පොලිස් නිළධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ෴


කතරගම අවට ප්‍රදේශවලට සුළු භූචලනයක්

(16.05.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කතරගම අවට ප්‍රදේශවලට ඊයේ (15) රාත්‍රියේ සුළු භූචලන තත්වයක් ඇතිව තිබෙනවා. එය රික්ටර් මාපාංකයේ ඒකක 2.5 ක් ලෙස සටහන් වී ඇති බවයි භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සඳහන් කළේ.

කතරගම නගරය, දෙටගමුව, ලුණුගම්වෙහෙර සහ සෙල්ලකතරගම යන ප්‍රදේශවලට මෙම භූ චලනය දැනී තිබෙනවා.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙරටින් සුළු භූ චලන වාර්තා වුණා. ඒ හම්බන්තොට, අම්බලන්තොට, බුත්තල සහ වැල්ලවාය යන ප්‍රදේශවලින්.

මේ අතර නැගෙනහිර පිලිපීනයේ වෙරළට ඔබ්බෙන් ඊයේ (15) රික්ටර් මාපාංකයේ ඒකක 6.2 ක අගයක් ගත් භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් ඉන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ ෴


මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වසරේ දී ඉදිකෙරේ

(16.05.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රුසියානු තාක්ෂණික සහය ඇතිව මෙරට පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වසරේ දී ඉදිකිරීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහි දී මෙරට වෑද්දුම් ශිල්පය හා තාක්ෂණ ක්ෂේත්‍රයේ නිපුණත්වය සහිත වෘත්තිකයන් බිහිකිරීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දැනටමත් මෙම අංශයේ වෘත්තීය පළපුරුද්ද ඇති සහ එම ක්ෂේත්‍රයට අලුතින් ඇතුළත් වන අය සඳහා පුහුණු සහ සහතික කිරීමේ ක්‍රමය මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කරන බව නිලධාරීහු සඳහන් කලා.

එහෙත්, මෙම පුහුණුව පිළිබඳව ජනතාව අතර නිසි දැනුවත් වීමක් නොමැති බැවින් ඒ සඳහා සැලැස්මක් සකස් කර වැඩි වශයෙන් නවකයින් සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස කාරක සභාව විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

සෞදි අරාබියේ ගස් බිලියන 10 ක් සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා ජීවානුහරණය කළ කොහු බත් ශ්‍රී ලංකාවෙන් ලබාගැනීමට සෞදි අරාබිය බලාපොරොත්තු වන බව ද මෙහිදී සාකච්ඡා වුනා.

ජීවානුහරණය සඳහා පහසුකම් ලබාදීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබාගත හැකි බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සඳහන් කළා.

ඒ අනුව, මෙම ජීවානුහරණය පහසුකම සකස් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට උපදෙස් දෙනු ලැබුවා.

මෙම කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, නලින් බණ්ඩාර ජයමහ, යදාමිනි ගුණවර්ධන, ඉසුරු දොඩංගොඩ, උදයකාන්ත ගුණතිලක, එම්. උදයකුමාර්, කුමාරසිරි රත්නායක සහ අකිල එල්ලාවල යන ය සහභාගී වුනා ෴


බණ්ඩි පොහොර මිල පහළට

(16.05.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව පවසා සිටිනවා.

ඒ අනුව, බන්ඩි පොහොර හෙවත් MOP (මියුරියේට් ඔෆ් පොටෑෂ්) පොහොර මිල මෙම යල කන්නයේ දී රුපියල් 4,500 කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් 02 විසින් කිලෝග්‍රෑම් 50 කින් සමන්විත බන්ඩි පොහොර මිටියක් රුපියල් 19,500 ක් බැගින්වූ මිලකට අලෙවි කළ අත‍ර පුද්ගලික අංශය විසින් බන්ඩි පොහොර මිටියක් රුපියල් 22,500 ක් බැගින්වූ මිලකට අලෙවි කිරීම සිදු කළා.

නමුත් මෙවර යල කන්නයේදී ගොවි නිෂ්පාදන වියදම් අඩුකිරීමේ අරමුණ ඇතිව බන්ඩි පොහොර මිල රුපියල් 15,000 දක්වා අඩු කිරීමට තමන් විසින් ඉදිරිපත් කළ යෝජනාවට 2023.05.08 දින රැස්වූ මිල කමිටුව අනුමැතිය ලබාදුන් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ෴


තරුණියක දූෂණය කළ තරුණයින් දෙදෙනෙකු (2) සොයා විමර්ශන

(16.05.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් වැලිඔය ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත කණ්ඩායමක තරුණයින් දෙදෙනෙකු (2) ඔවුන් සමඟ බිම් බෝම්බ ඉවත් කරමින් සිටි තරුණියක්ව බලහත්කාරයෙන් දූෂණය කළ බවට මුලතිව් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

තරුණයින් දෙදෙනා (2) විසින් ඇයව ඔවුන්ගේ නැවතීමේ වාඩියක් අසලට රැගෙන ගොස් අවස්ථා කීපයක්ම දූෂණය කොට ඇති අතර එම සිද්ධිය නිසා ඇය බියට පත්ව දිව යද්දී එක්තරා ස්ථානයක ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව වෙනත් පිරිසක් විසින් ඇයව මුලතිව් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය අදාළ තරුණයින් දෙදෙනා (2) සමඟ පොර බදා ඇති අතර එහිදී ඇගේ සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ පිළිබදව අදාළ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයෙන් තොරතුරු විමසූ විට ඔවුන් සඳහන් කර ඇත්තේ එම කාර්යාලයට ඒ සම්බන්ධයෙන්
කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

මුලතිව් පොලීසිය සැකකාර තරුණයින් දෙදෙනාව (2) අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති අතර එම තරුණයින් දෙදෙනා (2) ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි වාර්තා වී තිබෙනවා ෴


වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

(16.05.2023 – 16:18 +0530 – hirunews.lk/sinhala)

තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව අද (16) ලබාදෙනු ලැබුවේ ඊට අදාළ කරුණු දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුවයි.

කුරුණෑගල පොලිසියේ නිලධාරීන් විසින් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මුදල් විශුද්ධිකරණය යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බව පවසමින් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණා.

සැකකරුගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී සති දෙකකින් (2) පසුව විශාල මුදල් හුවමාරුවීම් සිදුවී ඇති බව පෙනී ගොස් ඇති බවත් විමර්ශකයන් තුළ ඇති වූ සාධාරණ සැකයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මෙහිදී සඳහන් කළා ෴


වෛද්‍ය සිසුන්ට ජල ප්‍රහාර

(16.05.2023 – 16:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු සියලු රාජ්‍ය විශ්විද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් ක්‍රියාත්මක කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය අද (16) පස්වරුවේ ජල ප්‍රහාර එල්ල කළා.

එම විරෝධතාව සංවිධාන කර තිබුණේ, රජයේ වෛද්‍ය පීඨවල මතුව ඇති ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරිමට එරෙහිවයි.

කොළඹ නෙළුම් පොකුණ අසළින් ආරම්භ කෙරුණු මෙම විරෝධතාවට සියලු විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීන් එක්ව සිටියා.

විරෝධතාව සංවිධාන කර තිබුණේ, රජයේ වෛද්‍ය පීඨවල උද්ගතව ඇති ගැටලුවලට විසඳුම් ඉල්ලමින් සහ වෛද්‍ය උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදමු යන තේමා පාඨ මුල් කරගෙනයි.

ඒ හේතුවෙන් පොලිසිය, විශේෂ කාර්යය බලකාය, කැරලි මර්දන ඒ්කකය මෙන්ම යුද හමුදාව ද යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබුණා.

විරෝධතාකරුවන් පාගමනින් බොරැල්ල දෙසට ගමන් කිරීමට උත්සහ කළත් පොලිසිය හෝර්ටන් පෙදෙසේදී මාර්ගය අවහිර කළා.

කෙසේ වෙතත් පොලිස් බාධක නොතකා විරෝධතාකරුවන් ඉදිරියට යාමට උත්සහ කළ අතර එහිදි පොලිසිය විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාර එල්ල කළා.

අනතුරුව එම ස්ථානයේදී විරෝධතා රැලියක් පැවැත්වූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසිර ගියා.

+

+


හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ විත්තිකරුවෙකු (1) නිදොස් කොට නිදහස්

(16.05.2023 – 17:06 +0530 – hirunews.lk/sinhala)

2006 වසරේ එවක ආරක්ෂක ලේකම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් මෝටර් රථයට කොල්ලුපිටිය – පිත්තල මංසන්ධියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, කොළඹ මහාධිකරණයේ දී අද (16) ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි.

මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවෙකු බවට පත්ව සිටියේ සිවලිංගම් ආරුරන් නැමැත්තායි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ විත්තිකරුට එල්ල කර තිබූ චෝදනා පහක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්වී ඇති බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන බවයි.

එමෙන්ම විත්තිකරු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහකාර පොලිස් අධිකාරීවරයාට ලබා දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් සිදු කරන ලද්දක් නොවන බවට ද අධිකරණය මෙහිදී තීන්දු කර තිබෙනවා.

එමෙන්ම මෙම නඩුවේ චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවෙකු වන පොන්නසාමි සිවාජි නැමැත්තාට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණයේ අංක එක විනිසුරුවරයා වෙත යොමුකරන ලෙස ද මෙහිදී නියෝග කෙරුණා ෴


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සුබවාදී අපේක්ෂාවක

(16.05.2023 – 17:18 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ දී ශ්‍රී ලංකාව 1.5% ක ආර්ථක වර්ධන වේගයත් අත් කර ගනු ඇතැයි යන සුබවාදී අපේක්ෂාවේ තමන් සිටින බව පසුගිය දා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත පිරිස පැවසූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2022 වසරේ දී 7.8% ක් ව තිබූ ආර්ථික වර්ධන වේගය 2023 වසරේ දී 3% ක් බවට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා හොඳ රුකුලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවයි.

මෙම තත්ත්වය මෙරට දේශපාලඥයන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු ජනතාව අවබෝධ කර ගත යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *