‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක්

‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක්


‘එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වාහන’ ගැන කැබිනට් මණ්ඩලයෙන් අලුත් තීරණයක්

(16.05.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන්.

මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශකර සිටියා.

විද්‍යුත් වාහන ආනයනය සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාලසීමාව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ හිමිවුන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

https://sinhala.dgi.gov.lk/cabinet-decisions-sri-lanka/6014-2023-05-15

++

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට රජයෙන් නිවාස ව්‍යාපෘති

(16.05.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරමින්, ඔවුන් සදහා වන නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරිම සදහා වන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විදේශ ගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සදහා වන මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිත බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ සමග අද (16) දින පැවති අතර විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සදුදා (22) දිනයේදී ආරම්භ කිරීමට එහිදී තීරණය වී තිබෙනවා.

සති දෙකක් (2) තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත අතර දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන්, තානාපති කාර්යාල හරහා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිතව බව සඳහන්.

විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගෙන පවත්වනු ලබන සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විශ්ලේශනය කිරීමෙන් පසුව ඉදිකරනු ලබන නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රදේශ හදුනාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


අයහපත් කාලගුණයෙන් තවත් පුද්ගල අතුරුදන් වීමක්

(16.05.2023 – 09:45 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් අද (16) ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙනු ඇති.

මේ අතර, අකුරැස්ස පහල අතුරලිය ප්‍රදේශයේ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරේ විනෝදකාමී කටයුතු වල යෙදුන පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතරුදහන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම මාතර – රොටුඹ – ඉදිගල්ගොඩ කන්ද නායගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් අවට පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක්

(16.05.2023 – 11:09 +0530 – hirunews.lk/sinhala)

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇති වූ ජල ගැලීම් තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 08 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 34 කට බලපෑම් එල්ලවී ඇති අතර ඉන් පුද්ගලයින් 10,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු (02) ගංවතුරට හසුවී අතුරුන්දව ඇති අතර තවත් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලැබුවා.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කඹුරුපිටිය, අකුරැස්ස, අතුරලිය, තිහගොඩ, කද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයක තවදුරටත් ජලය රැදී පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඊයේ (15) දිනයේදී සුළු ගංවතුර මට්ටමක පැවති කොටපොළ සහ මාවරල යන ප්‍රදේශවල ජලය බැසයමින් පවතිනවා.

මේ අතර අයහපත් කාලගුණයෙන් මාතර දිස්ත්‍රික්කයේ වසා දමා තිබූ පාසල් අද යළි විවෘත කෙරුණු අතර ඇතැම් ගුරුවරුන් පාසල් වෙත ගමන් කිරීමේදී දැඩි අපහසුතාවට පත්ව තිබුණා.

ගාල්ල – මාපලගම, සිරි සුනන්ද ජාතික පාසලේ ගුරුවරුන් බෝට්ටු මගින් පාසලට පැමිණ තිබුණේ මාර්ගවල තවදුරටත් ජලය රැදී පැවතීම හේතුවෙන්.

එමෙන්ම ඇතැම් පාසල්වල තවදුරටත් ජලය රැදී තිබීම හේතුවෙන් එහි පිරිසිදුකිරීම් කටයුතු ගුරුවරුන් සහ දෙමාපියන් එක්ව සිදුකර තිබුණා.

එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රාධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් මේ වන විට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

මේ අතර මෝඛා සුලි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම සුළි කුණාටුවෙන් මියන්මාරයට සහ බංග්ලාදේශයට දැඩි බලපෑම් එල්ලවුණා.

එම රටවල් දෙකෙහි ලක්ෂයකට ආසන්න සරණාගතයින් රැදී සිටින තාවකාලික කූඩාරම් විශාල සංඛාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

+++++++++

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

(16.05.2023 – 15:25 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම, නියාගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිංගඟ නිම්නයේ හෙට (17) දින පවස්වරු 2 දක්වා වු කාලය තෙක් පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි‍ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එහිදී ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

එම ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් ගන්නා රියදුරන් ද මේ පිළිබඳ දැනුවත් වීම වැදගත් බවයි එහි සඳහන් වන්නේ ෴

+++++++++++

ඩෙංගු සහ මී උණ රෝග ඉහළ යාමේ අවදානමක්

(16.05.2023 – 23:10 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු සහ මී උණ රෝග තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 22 ක්.

එමෙන්ම අදාළ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511 ක් වාර්තා වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

මේ අතර, බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා හතලිහකට (40) ආසන්න ප්‍රමාණයකින් ඩෙංගු කීටයින් හඳුනාගත් බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය පවසනවා.

එහිදී දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද එම ආයතනය පියවර ගත්තා ෴

+++++++++

රට පුරා ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ

(16.05.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු මර්දන කාර්ය සාධක බලකාය සමඟ ඒකාබද්ධව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දීප ව්‍යාප්තව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

පසුගිය වසරේ මුල් කාර්තුව හා 2023 වසරේ මේ දක්වා කාලය සංසන්දනය කරන විට මේ වන විටත් ඩෙංගු රෝගීන් 2000 ක පමණ වැඩි වීමක් වාර්තා වන බැවින් එම තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න සඳහන් කළා.

පසුගිය වසරේ ජුනි – ජූලි මාසවල දී රෝගීන් 11,000 බැගින් වාර්තා වූ අතර මේ වසරේ දී එම සංඛ්‍යාව ඉක්මවා යාමට ඇති හැකියාව පාලනය කිරීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරතව සිටින බව ද ඒ මහතා පවසා තිබෙනවා.

ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා සෑම සිකුරාදා දිනයක්ම පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය ආමාත්‍යාංශය මේ වන විට යෝජනා කර තිබෙන්නේ.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනෙහි නවතම දත්තවලට අනුව මෙම වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගල මරණ 22 ක් වාර්තා වන අතර, 2023 ජනවාරි මස සිට මැයි 16 වැනිදා වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 34,511 ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම ගණන 17,049 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 7,797 ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 7,219 ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 2,033 ක් ද වශයෙන් රෝගීන් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 2463 ක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කරන අන්දමට මේ වන විටත් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙසයි නම් කර ඇත්තේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ආයතන පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරනවා ෴


ආර්ථික අර්බුදයෙන් මිදීමට ලෝක බැංකුවේ පූර්ණ සහය

(16.05.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සිය පූර්ණ සහය ලබාදෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සමග මුදල් අමාත්‍යාංශයේ ඊයේ (15) පැවති හමුවකට එක්වෙමින්.

එහිදී මෙරට සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා ෴


කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ කාන්තාවන් 32 ක් යළි දිවයිනට

(16.05.2023 – 09:52 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස්, එරට නීතිරීති උල්ලංඝනය කරමින් අනීතිකව එරට රැදී සිටියදී එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික කාන්තාවෝ 32 දෙනෙක් අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පිරිස ගිවිසුම් ගත රැකියා ස්ථානයෙන් හෝ නිවසෙන් පළාවිත් කුවේට් රාජ්‍යයේ පිටස්තර ප්‍රදේශවල රැකියා කරමින් සිටින අතරතුර තමන්ගේ කැමැත්තෙන්ම ශ්‍රී ලංකා බලා යෑමට තානාපති කාර්යාලය වෙත පැමිණ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙසේ ශ්‍රී ලංකාව වෙත එවා තිබූ කාන්තාවන් අනුරාධපුරය, වව්නියා, ගම්පහ, කින්නියා, කොළඹ, කුරුණෑගල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

කුවේට් ඩිනාර් 250 ක් වැනි වැඩි වැටුප් ලබා ගැනීමට, නීත්‍යානුකූල නොවන සම්බන්ධතා හෝ තම පෞද්ගලික නිදහස වෙනුවෙන් මෙම කාන්තාවන් පිරිස එසේ තම සේවා ස්ථානවලින් පළා විත් තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් එරට පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සමග සාකච්ඡා කොට මැදිහත් වී කටයුතු කිරීමෙන් පසු මෙම පිරිස තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *